වෝනර් සාර්ථකත්වයේ රහස හෙළි කරයි

253

2019 ක්‍රිකට් ලෝක කුසලානය මේ වන විට එංගලන්තයේ දී පැවැත්වෙනවා. මේ වන විට තරගාවලියේ දෙවන සතිය අවසන් වී ඇති අතර ලකුණු සටහනේ ප්‍රබල තරගකාරී බවක් මේ වන විට ඇතිවී තිබෙනවා.

තරගාවලිය තුල වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කර ඇත්තේ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් විසින් වන අතර දෙවන ස්ථානය හිමිවී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් හටයි. පන්දුව පළුදු කිරීමේ චෝදනා මත තරග තහනමකට ලක්වී සිටි වෝනර් ඕස්ට්‍රේලියානු ආරම්භ පිතිකරුවෙක් ලෙස එක්වූයේ මෙම ලෝක කුසලාන තරගාවලියේ දී වන අතර පසුගිය දා පාකිස්තානය සමගින් පැවති තරගයේ දී ඔහු ලබා ගත් ලකුණු 107 එම තහනමින් පසුව ඔහු ලබාගත් පළමු ශතකය විය.

වෝනර් හා කමින්ග්ස් කැන්ගරුවන්ට ජය ගෙනෙයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව …………

ජාත්‍යන්තර තරගයක දී මින් පෙර ඔහු විසින් ශතකයක් වාර්තා කළේ 2017 වසරේ එංගලන්තයට එරෙහි අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දී ය. පාකිස්තානය සමඟින් පැවති ලෝක කුසලාන තරගය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේ ලකුණු 41කිනි.

මෙම සුවිශේෂී ශතක ඉනිම පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් වෝනර් තම ආදරණීය බිරිඳ වන කැන්ඩිස් තමන්ට ලබා දුන් සහයෝගය සිහිපත් කලා.

“මම අවස්ථාව ලැබුනොත් නැවතත් ජාත්‍යන්තර පිටියට එනවා” මාස 12 ක්‍රිකට් තහනම අවසන් වූ පසු වෝනර් තමන් සහභාගි වූ පළමු මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

“මම මේ විදිහට සාර්ථක වුනේ මගේ බිරිඳ හා දරුවන් නිසා. මගේ බිරිඳ තමයි මාව දිරිමත් කළේ. ඇය අදහාගත නොහැකියි. ඇය ධෛර්‍යමත්, විනීත, පරාර්ථකාමී කාන්තාවක්. ඇය ශක්තිමත් කාන්තාවක්. තරග තහනමෙන් පස්සේ මම සති 12ක් විතර ඇඳට වෙලා හිටියේ. ඇය තමයි මාව පුහුණුවීම් වලට යොමු කළේ. මට පුළුවන් උපරිමයෙන් ව්‍යායාම, පුහුණුවීම් කරන්න ඇය තමයි මට ශක්තියක් වුනේ. ”

ඩේවිඩ් වෝනර්ගේ බිරිඳ වන කැන්ඩිස් වෝනර් මේ වන විට ගැබිනියක් වන අතර ඔවුන් දෙදෙනාට දැනටමත් දරුවන් දෙදෙනෙකු සිටී. ඇය ද මේ වන විට එංගලන්තයට පැමිණ සිටී. ඕස්ට්‍රේලියා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය ශ්‍රී ලංකාව සමඟින් එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. මේ වන විට ලෝක කුසලානයට සහභාගි වන ක්‍රීඩකයන් සඳහා ‘ family time ‘ ලෙස තම පවුලේ සමාජිකයන් සමග රැඳී සිටීමට කාලයක් ලැබී ඇත.

“අපි වාසනාවන්තයි අපේ පවුලේ සාමාජිකයන් එක්ක ඉන්න ලැබීම ගැන. අපිට ටික කාලයක් එංගලන්තයේ ඉන්න සිදුවෙන නිසා.” වෝනර් පවසා සිටියා. බොහෝ කලකට පසුව ඕස්ට්‍රේලියා එංගලන්ත අළුබඳුන ටෙස්ට් තරගාවලිය ලෝක කුසලානයට පසුව ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලානයෙන් අනතුරුව එංගලන්තයේ රැඳී සිටිනු ඇත.

2018 වසරේ සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීම නිසා ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත් හා කැමරූන් බෑන්ක්‍රොෆ්ට් හට ද මාස 9ක තරග තහනමක් හිමි විය. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පැවති ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔවුන් තිදෙනා කණ්ඩායමෙන් ඉවත් කළ අතර එම තහනමෙන් පසුව සිඩ්නි ගුවන්තොටුපොළේ පැවති මාධ්‍ය හමුවක දී ඩේවිඩ් වෝනර් නිහඬව එයට මුහුණ දුන් අතර “මට මුකුත් කියන්න අවශ්‍ය නෑ” යනුවෙන් ඔහු මාධ්‍යවේදීන්ට පවසා තිබුණි.

“මාධ්‍ය හමුවල දී මම කියන්න අවශ්‍ය දේ කිව්වා. දැන් තියෙන්නේ ඉදිරි වැඩ කරන එක ”

ඊයේ තරගයේ වීරයා කුසලානයට ඩේවිඩ් වෝනර් කළ දේ

ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ (12) දිනයේ……

‘විශිෂ්ටයා’

පාකිස්තානයට එරෙහිව වෝනර් වාර්තා කළ ශතකයත් සමඟින් ඔහු තම අවසන් තරග 4 දී අර්ධ ශතක දෙකක් හා එක් ශතකයක් ලබා ගැනීමට සමත්ව ඇත. ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව මුහුණ දුන් පළමු තරගයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව වෝනර් ලකුණු 89ක් ලබා ගත් අතර ප්‍රබල ඉන්දීය පන්දු බලඇණිය හමුවේ තරමක මන්දගාමී ලකුණු 56ක් වාර්තා කිරීමට වෝනර් සමත් විය. ඒ සඳහා ඔහුට පන්දු 84ක් වැයවී තිබිනි.

“පෞද්ගලිකව මේක විශිෂ්ට දෙයක්. මේක දීර්ඝ කාලීන උත්සාහයක ප්‍රතිඵලයක්. ඇෆ්ගනිස්තානය එක්ක තරගයේ දී මට තේරුණා මගේ රිද්මය නෑ කියලා. ඉන්දීය තරගයේ දී ඔවුන් හොඳින් පන්දු ‍යැවුවා. මේ තරගයේ දී මම නැවතත් රිද්මයට ආවා. මට දන්නවා මට හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා.” වෝනර් පවසා සිටියා. පාකිස්තානය හමුවේ ලබාගත් ලකුණු 107 සඳහා ඔහුට වැයවී තිබුණේ පන්දු 111ක් පමණි.

පාකිස්තාන තරගයේ දී ආරම්භක සම්බන්ධතාවය සඳහා වෝනර් හා ෆින්ච් ලකුණු 146ක් එක්කිරීමට සමත්වූ අතර එය මෙවර ලෝක කුසලානයේ දී ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා වූ ඉහලම ලකුණු සංඛ්‍යාව වේ. එහි දී ඒරන් ෆින්ච් ලකුණු 82ක් වාර්තා කළේය.

පාකිස්තාන පන්දු යැවීම ද ප්‍රබල මට්ටමක පැවති අතර ආරම්භක පන්දු ‍යවන්නා වූ මොහොමඩ් අමීර් තම ක්‍රීඩා දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 30කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

“ඔහු ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙක්. ඔහුගේ දෝලනය එක්ක පහර දෙන්න අමාරුයි. මම ගොඩක් උත්සාහ කලා පහරවල් වලට යන්න. නමුත් සාර්ථක වුනේ නෑ.”

“ඉන්දීය සටනට කලින් පන්දු රැකීම හදාගන්න ඕන” – සෆ්රාස් අහමඩ්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු ……………..

පාකිස්තාන ඕස්ට්‍රේලියා තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී පාකිස්තාන නායක සෆ්‍රාස් අහමඩ්, වෝනර් හා ස්මිත්ට විරෝධය දැක්වීමෙන් වැළකී ඔවුන් ධෛර්‍යමත් කරන ලෙස තම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටි අතර පාකිස්තාන ප්‍රේක්ෂකයන් ද එයට ගරු කරමින් වෝනර් දැවී ගිය පසු ඔහුට අත්පොළසන් දෙමින් ප්‍රතිචාර දැක්විය.

ඕස්ට්‍රේලියාව සමග පැවති තරගවල දී ස්මිත්ට හා වෝනර්ට ප්‍රේක්ෂකයන්ගේ අප්‍රසාදය හිමි වූ අතර එළඹෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දී ද ඔවුන්ට එලෙස අප්‍රසාදය හිමිවනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

“අපි ක්‍රීඩාංගණයේ ඉද්දී එළියේ ශබ්ද ඇහෙන්නේ නෑ. මම මේ වගේ සිදුවීම් වලට මගේ ක්‍රීඩා ජීවිතය පුරාවටම මුහුණ දීලා තියනවා. ඒ වගේ දේවල් ලකුණු ලබා ගන්න අපිට ධෛර්‍යමත් කරනවා”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<