කුසල් සහ සදීර ශතක රැස් කිරිමෙන් ඉනික්බිතිව

ICC Cricket World Cup 2023

285

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) පාකිස්තානය සමඟ නිමා කළ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම තම ලෝක කුසලාන කුළුදුල් ශතක ඉනිම් ඊයේ වාර්තා කළා.  

එම ඉනිම් අවසානයත් සමඟ කුසල් මෙන්ඩිස්, උදරයේ මස්පිඬු පෙරළීමකට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත වූ අතර කුසල්ගෙන් හිස් වූ කඩුලු රැකීමේ කාර්යය සදීර සමරවික්‍රම සතු වුනා.  

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය 

8 වැනි තරගය (දිවා/රාත්‍රී) Hyderabad, ඔක්තෝබර් 10, 2023, ICC Cricket World Cup 

  • කාසියේ වාසිය – ශ්‍රී ලංකාව 
  • තරගයේ වීරයා – Mohammad Rizwan (පාකිස්තානය)  

ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී 344 (50) පැතුම් නිස්සංක 51, කුසල් මෙන්ඩිස් 122, සදීර සමරවික්‍රම 108, ධනංජය ද සිල්වා 25, Hasan Ali 4/71, Haris Rauf 2/64 

පාකිස්තානය – කඩුලු 4ක් දැවී 345 (48.2) Abdullah Shafique 113, Mohammad Rizwan නොදැවී 131, Saud Shakeel 31, Iftikhar Ahmed නොදැවී 22, ඩිල්ශාන් මධුශංක 2/60 

පාකිස්තානයට කඩුලු 6ක ජයක්.  

මෙම තරගය ද නිමා වෙන්නේ ලෝක කුසලාන ඉතිහාසයට තවත් වාර්තා කිහිපයක් ම එක් වෙමින් වීම විශේෂත්වයක්. 

  • 100×4: ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයන් 4 දෙනෙක්ගේ කෝඩුකාර ශතක 4ක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. ඒ කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, Mohammad Rizwan සහ Abdullah Shafiqueගේ පිතිවලින්.  
  • Kusal Mendis: ලකුණු 122ක් වූ ඔහුගේ ඉනිම පන්දු 124කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් ඇතුලත් වුනා. මෙය කුසල්ගේ 9 වැනි ලෝක කුසලාන තරයයි.  

ඊට පෙර ඔහුගේ හොඳම ඉනිම බවට පත් ව තිබුණේ ඊට පෙර පැවති දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයේ දී ලබා ගත් ලකුණු 76යි.  

  • 65: කුසල් මෙන්ඩිස් මෙම තරගයේ දී තම ශතකය 65 වැනි පන්දුවේ දී වාර්තා කරන ලද අතර එය කුමාර් සංගක්කාර සතු වාර්තාවක් ඩැහැ ගැනීමක්. සංගක්කාර 2015 වසරේ දී එංගලන්තයට එරෙහිව පන්දු 70ක දී ලබා සිටි ශතකය මීට පෙර මෙම වාර්තාවේ රැඳී තිබුණා.  

කුසල්ගේ මෙම ශතකය ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලෝක කුසලාන තරගයක දී පාකිස්තානයට එරෙහිව වාර්තා කරන ලද මංගල ශතකය බවට පත් වුනා. ඊට පෙර ලෝක කුසලානයක දී පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබා සිටි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ රොෂාන් මහානාම 1987 දී ලබා ගත් ලකුණු 89යි.  

  • Sadeera Samarawickrama: ලෝක කුසලාන තරගවල තම දෙවැනි තරගයට සහභාගී වූ සදීර සමරවික්‍රම පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 108ක් ලබා ගනිමින්  මෙම ලැයිස්තුවට එක් වුනා.   
  • Mohammad Rizwan: තම දෙවැනි ලෝක කුසලාන තරගයට සහභාගී වූ Rizwan නොදැවී ලබා ගන්නා ලද ලකුණු 131ක තම ඉනිම වෙනුවෙන් පන්දු 121ක් වැය කළ අතර ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුළත් කළා. 

එය පාකිස්තාන ලෝක කුසලාන ඉතිහාසයේ කෝඩුකාරයෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.  

  • Abdullah Shafique: තම මංගල ලෝක කුසලාන තරගයට සහභාගී වූ පාකිස්තානයේ ආරම්භක දකුණත් පිතිකරු වූ Shafique මෙම තරගයේ දී පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 113ක් රැස් කිරීමට සමත් වුනා.   

එය පාකිස්තානය වෙනුවෙන් කෝඩුකාර ක්‍රීඩකයෙක් තම මංගල තරගයේ දී වාර්තා කරන ලද පළමු ශතකය බවට ද පත් වුනා.  

  • 51: ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ලෝක කුසලාන මංගල අර්ධ ශතකය වූයේ මෙම තරගයේ දී පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 1ක් සමඟින් ලබා ගත් ලකුණු 51යි. 
  • 4/71 (10.0): පාකිස්තානයේ දකුණතින් මද වේගපන්දු යවන Hasan Ali මෙම තරගයේ දී තම ලෝක කුසලාන තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වුනා.  

ඊට පෙර ඔහුගේ හොඳම දක්ෂතාව වී තිබුණේ ඔහුගේ පෙර තරගය වූ නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 33කට දවා ගත් කඩුලු 2යි.  

345/4 (48.2): ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් හඹා ගොස් ජය ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව, පාකිස්තානය මෙම තරගයේ දී තමන් සතුකර ගත්තා.  

ඊට පෙර මෙම වාර්තාව හිමි ව තිබුණේ 2011 ලෝක කුසලානයේ දී එංගලන්තය විසින් කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 327ක් හඹා ගොස් ජයග්‍රහණය කළ අයර්ලන්තයයි. ඔවුන් පන්දුවාර 49.1ක දී කඩුලු 7ක් දැවී ලකුණු 329ක් ලබා ගනිමින් එම වාර්තාවේ රැඳී සිටියා.  

පාකිස්තානය විසින් කළ හඹා යෑම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරගයක දී වාර්තා වූ හොඳම හඹා යෑම බවට ද පත් වුනා. මෙම වාර්තාවේ මිට පෙර රැඳී සිටියේ ඉන්දියාවයි. ඒ 2012 වසරේ දී Hobart හි දී පැවැති තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලබා ගත් ලකුණු 320ට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයෝ පන්දුවාර 36.4ක දී කඩුලු 3ක් දැවී ලබා ගත් ලකුණු 321ක ඉනිමයි.  

8-0: එක්දින ලෝක කුසලාන තරග මාලාවන් හී එකිනෙකා හමු වූ කණ්ඩායම් අතර වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම ලෙස පාකිස්තානය මෙම තරගයේ දී පත් වුනා.

ඊට පෙර මෙම වාර්තාව සතු කර ගෙන සිටියේ ඉන්දීය කණ්ඩායමයි. ඒ 1992 වසරේ සිට 2019 වසර දක්වා වූ සහභාගී වූ තරග 7ක දී පාකිස්තානයට එරෙහිව ජයග්‍රහණ 7ක් වාර්තා කරමිනුයි. 

6: දසුන් ශානක මෙම තරගයේ දී පරාජය වීමට පෙර පාකිස්තානයට එරෙහිව එක්දින තරගයකට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට නායකත්වය දී ඇති අතර එම තරග 6 ම ජයග්‍රහණය කර තිබුණා.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<