Jadeja ඉහළින් එවීම ගැන ඉන්දීය නායකයා කතා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

2505

ඉන්දියානු තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja ඊයේ (24) පැවැත්වුණු ඉන්දු – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ දී කලකට පසු නැවත ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

එම තරගය ඉන්දියාව ලකුණු 62කින් ජය ගත් අතර Jadeja පිතිකරණ ලැයිස්තුවේ සිව්වැන්නා ලෙස පන්දුවට පහර දීමට පැමිණීම විශේෂත්වයක් වුනා. 18 වැනි පන්දුවාරයේ දී පන්දුවට පහර දෙන්නට පැමිණියත්, Jadeja මුහුණ දුන්නේ පන්දු හතරකට පමණයි. Shreyas Iyer ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි නිසා Jadeja හැකි තරම් පන්දුවට පහර දීමේ අවස්ථාව Iyer වෙත ලබා දුන්නා.

Jadeja පිතිකරණ ලැයිස්තුවේ ඉහළින් පැමිණීම ගැන විමසූ විට නායක Rohit Sharma පවසා සිටියේ ඉදිරියටත් එය එසේ විය හැකි බවයි.

“Jadejaගේ නැවත පැමිණීම ගැන ගොඩක් සතුටුයි. අපිට ඔහුගෙන් තව ගොඩක් දේවල් අවශ්‍යයි. ඒ නිසා තමයි අපි ඔහුට කිව්වේ ඉහළින් පන්දුවට පහර දෙන්න කියලා. ඉන්දියාව වෙනුවෙන් ඔහු ක්‍රීඩා කරන තරගවල දී එය ඉදිරියටත් දැකගන්න පුළුවන් වෙයි. මට ඕනේ ඔහුව ඉහළින් පන්දුවට පහර දෙන්න එවන්න”, Rohit Sharma පවසා සිටියා.

“ඔහු පිතිකරුවෙක් ලෙස දියුණු වෙලා තියෙනවා. අපි බලමු අපිට ඔහුව ඉදිරියෙන් පන්දුවට පහර දෙන්න එවන්න පුළුවන් ද කියලා.”

දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල ද දවා ගත් Jadeja සිය පන්දුවාර හතරේ දී ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ලකුණු 28ක් පමණයි.

ඉන්දු – නවසිලන්ත ටෙස්ට් තරගාවලියේ දී ආබාධයකට ලක්වූ Jadejaට දකුණු අප්‍රිකානු හා බටහිර ඉන්දීය කොදෙව් සංචාර අහිමි වුනා.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 26 වැනිදා ධර්මසාලා හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

HindustanTimes ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<