ඕස්ට්‍රේලියාව සමඟ තරගයෙන් දසුන් සහ මතීෂ ඉවතට!

ICC Cricket World Cup 2023

9577
ICC Cricket World Cup 2023

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ එළඹෙන සඳුදා (16) ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරගයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ ආබාධ නිසා කණ්ඩායමෙන් ඉවත් කර ඇති බව ThePapare.com වෙත වාර්තා වනවා.

මෙවර ලෝක කුසලානයේ දී සිය පළමු තරග ද්විත්වය ම පරාජය වූ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ ලක්නව් හිදි මුණ ගැසීමට නියමිත මෙම තරගයට පෙර අද (14) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියක් පැවැත්වුනා.

අද සවස පැවැත්වුණු මෙම පුහුණු සැසියට නායක ශානක සහ මතීෂ සහභාගී නොවූ අතර ඉන් පැයකට පමණ පසුව කණ්ඩායම් කළමණාකාරිත්වය විසින් මොවුන්ගේ ආබාධ තත්ව පිළිබඳ තහවුරු කර තිබුණා.

පසුගිය කාලවකවානුව පුරාම පිත්තෙන් එතරම් දස්කම් පෙන්වීමට සමත් නොවූ දසුන් ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුණු තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනත්, එය ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් කරා යාමට ප්‍රමාණවත් වුනේ නැහැ.

එමෙන්ම මතීෂ පතිරණ ද තරගාවලියේ මුල් තරග ද්විත්වයේ ම සිය පන්දුවාර තුළ ප්‍රතිවාදීන්ට පිළිවෙළින් ලකුණු 95ක් සහ 90ක් බැගින් ලබා දෙමින් බිඳ හෙළීමට සමත් වුනේ එක් කඩුල්ලක් පමණයි.

කෙසේ වෙතත්, මොවුන් දෙදෙනා තරගාවලියේ ඉදිරි තරග සඳහා සහභාගී වනවා ද, නැද්ද යන්න තවමත් අවිනිශ්චිතයි. එමෙන්ම මොවුන් දෙදෙනා වෙනුවට සඳුදා තරගය වෙනුවෙන් ලහිරු කුමාර සහ කසුන් රාජිත කණ්ඩායමට එක්වීමට ඉඩ ඇති බවයි ThePapare වෙත වාර්තා වන්නේ.

කණ්ඩායමේ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සිය වගකීම ඉටු කළ නායක දසුන්ගේ ස්ථානයේ ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති චාමික කරුණාරත්න කණ්ඩායමේ අතිරේක (Travelling Reverse) ක්‍රීඩකයෙකු ලෙස රැඳී සිටිනවා.

මේ අතර පාකිස්තානය සමඟ තරගයේ දී ආබාධයක් නිසා කඩුලු රැකීම සඳහා පිටියට පිවිසීමට නොහැකි වූ කුසල් මෙන්ඩිස් දැන් සම්පූර්ණ සුවය ලබා සිටින අතර ඔහු ඕස්ට්‍රේලියාව සමඟ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.

එමෙන්ම මීට පෙර වාර්තා වූ පරිදි ආබාධයකින් පීඩා විඳිමින් සිටි කුසල් පෙරේරා ඕස්ට්‍රේලියාව සමඟ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇති බවත් ඉන්දියාවෙන් වාර්තා වනවා.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති එසැණින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<