Kohli තම පැරණි රිද්මය සොයා ගනිද්දී, Pandya ඉතිහාස ගත වෙයි!

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2348

අද (23) ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඉතාම උද්වේගකර අවසානයක් වෙත ඇදී ගිය අතර, එහි දී නැවතත් සිය පැරණි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ Virat Kohli සහ තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya ඉන්දියාවේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුනා.

පාකිස්තානය විසින් ලබා දුන් ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කය හඹා යමින් සිටි ඉන්දීය කණ්ඩායම වරෙක ලකුණු 31කට කඩුලු 4ක් දැවී අසරණ වී සිටි මොහොතක පිටියේ එකතු වූ Virat Kohli සහ Hardik Pandya විසින් නොතිබූ ජයග්‍රහණයක් ඉන්දියාව වෙත සමීප කිරීමට සමත් වුනා.

එහි දී කලක පටන් සිය පෙර පැවති ක්‍රීඩා රටාවට අවතීර්ණ වීමට මාන බලමින් සිටි Virat Kohli විසින්, සමාජ මාධ්‍ය ඔස්සේ පවා දැඩි ලෙස කතා බහට ලක්වූ ඔහුගේ වර්තමාන පිතිකරණයේ කිසිදු අඩු පාඩුවක් නොවන බවත්, තමන් පෙර සිටි Virat Kohliම බවත් පසක් කරන ඉනිමක් දියත් කිරීමට සමත් වූයේ පන්දු 53කින් නොදැවී ලකුණු 82ක් රැස් කරමිනුයි.

ඉතා සෙමෙන්, තමන් වටා තිබූ පීඩනය අවශෝෂණය කර ගනිමින් දියත් වූ මෙම ඉනිම නිසාවෙන් ඔහු තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීමට සමත් වුනා.

Kohli විසින් සිය ඉනිමට හතරේ පහර හයක් සහ හයේ පහර හතරක් එකතු කිරීමට සමත් වූ අතර, ඉන් හයේ පහර දෙකක්ම Haris Raufගේ 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකට එල්ල කරමින් තරගයේ වැඩි වාසි ඉන්දියාව දෙසට හැරවීමට සමත් වූ ඒවා වීම විශේෂත්වයක්.

“අද වෙනකම් මොහාලිවල දී ඕස්ට්‍රේලියාවට එරෙහිව දියත් කළ ඉනිම තමයි මගේ හොඳම ඉනිම වෙලා තිබුණේ, නමුත් අද මම මේ ඉනිම ඊට ඉහළින් තියනවා!” යනුවෙන් තරගය අවසානයේ Kohli  විසින් පවසා සිටියා.

එමෙන්ම මෙහි දී Kohli සමඟ ඉන්දීය ඉනිම වැටී තිබූ අගාධයෙන් ගොඩ ගැනීමට ලකුණු 113ක සබඳතාවයක් ගොඩනැගීමට දායක වූ Hardik Pandya පන්දු 37කින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වන්නේ තම ඉනිම එක් හතරේ පහරකින් සහ හයේ පහර දෙකකින් වර්ණවත් කර ගනිමිනුයි.

එහි දී Pandyaගේ මෙම ඉනිමත් සමඟින් ඔහු තවත් විශේෂ කඩඉමක් අද දිනයේ දී පසු කිරීමට සමත් වන්නේ විස්සයි විස්ස තරග ඉතිහාසයේ ඉන්දියාව වෙනුවෙන් ලකුණු දහසක් සහ කඩුලු 50ක් බිඳ හෙළු ප්‍රථම ඉන්දියානුවා බවට පත්වෙමිනුයි.

පිත්තෙන් දස්කම් දැක්වීමට පෙර පාකිස්තාන ඉනිමේ කඩුලු තුනක් බිඳ හෙළීමට ද Pandya සමත් වන්නේ සිය පන්දු වාර හතර තුල දී ලකුණු 30ක් පමණක් පාකිස්තානයට ලබා දෙමිනුයි.

එමෙන්ම පාකිස්තානයට එරෙහිව ලද මෙම ජයග්‍රහණයත් සමඟින් ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ තම කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගැනීමට ද ඉන්දියාව සමත් වුනා.

  • පාකිස්තානය – 159/8 (20) Shan Masood 52*, Iftikhar Ahmed 51; Hardik Pandya 3-30, Arshdeep Singh 3-32
  • ඉන්දියාව – 160/6 (20) Virat Kohli 82*, Hardik Pandya 40; Haris Rauf 2-36

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<