ජයග්‍රහණයේ වැඩි ගෞරවය දඟපන්දු බල ඇණියට – දසුන්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1983
Dasun gives the credit to spinners

ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් අද (23) අයර්ලන්තයට එරෙහිව ලද කඩුලු 9ක ජයග්‍රහණයේ වැඩි ගෞරව කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ට ලබා දෙමින් පවසා සිටියේ, ඔවුන් අයර්ලන්ත ඉනිමේ අග භාගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට සමත් වූ බවයි.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුලු 2ක් ද, වනිඳු හසරංග ලකුණු 25කට කඩුලු 2ක් ද බිඳ හෙළීමට සමත් වන්නේ, අයර්ලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 128ක් පමණක් ලබා ගැනීමට සමත් වන අතරේ දීයී.

“අපි තරගය ක්‍රීඩා කළ විදිහ ගැන ගොඩක් සතුටුයි, අපි සූදානම් වෙලා හිටපු දේවල් හොඳින් කරන්න අපිට පුළුවන් වුනා. අපි දැනගෙන හිටියා දඟපන්දුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් බව, මොකද එයාලා (අයර්ලන්තය) වේගපන්දු වලට මුහුණ දෙන්න කැමැත්තෙනුයි හිටියේ. අපි ඒ නිසා ඉනිමේ අවසාන භාගයේ දී වැඩියෙන් දඟපන්දු යවන්නන් භාවිතා කළා,” තරගයෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වූ දසුන් එලෙස ප්‍රකාශ කළා.

සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ පළමු ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට පිතිකරණයෙන් දායක වූ කුසල් මෙන්ඩිස් පන්දු 43කින් ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් කඩුලු 9ක් මෙන්ම, පන්දුවාර පහක් ද ඉතිරි කරමිනුයි.

“ඔහු (කුසල් මෙන්ඩිස්) මේ අවුරුද්ද පුරාවටම දිගින් දිගටම සාර්ථක වුනා, ඒ වගේම අවස්ථාව අනුව හොඳින් පිතිකරණයේ යෙදුණා. එය ඉතාම ඉහළ මට්ටමේ පිතිකරණයක්. මේ සාර්ථකත්වය තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් කල් ඉඳන්ම අවශ්‍ය වෙලා තිබුණේ. එය අපිව ඉතාම සුව පහසු තැනකට ගෙන එන්න සමත් වුනා.

අවසන් පන්දුවාර කිහිපයේ පන්දු යැවීම ඉතාම වැදගත් දෙයක්, අපි අද එය හොඳින්ම කළා. ඉදිරියටත් මේ විශ්වාසය පවත්වා ගෙන යා යුතුයි,” යනුවෙන් තවදුරටත් දසුන් සිය අදහස් ප්‍රකාශ කළා.

දසුන් තම කණ්ඩායමේ දස්කම් පිළිබඳ සතුටු වන අතරේම, අයර්ලන්ත නායක Andrew Balbirnie තම කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ කනස්සල්ලෙන් යුතුව අදහස් ප්‍රකාශ කර සිටියා.

“අපි දැනගෙන හිටියා ඔවුන් අපිට ලොකු තර්ජනයක් වෙන බව. අද පිටියේ ලොකු දඟ කැවීමක් නොතිබුනත්, පිත්තට අභියෝග කළ හැකි මට්ටමෙන් දඟ කැවීම තිබුණා.

අපිට ලකුණු 160ක් හෝ ඊට වඩා ලබා ගැනීමට අවශ්‍ය වුනා, මොකද දෙවැනි ඉනිම ක්‍රීඩා කරද්දී ඔවුන්ට දඟපන්දුවෙන් තර්ජනයක් එල්ල කළ හැකිව තිබුණ නිසා. පළමු ඉනිම හෝ දෙවැනි ඉනිම වේවා ඔබ හොඳින් පිතිකරණයේ යෙදිය යුතුයි.”

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වීමට හතරේ පහර දෙකක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් පන්දු 42ක දී ලකුණු 45ක් රැස් කළ Harry Tector සමත් වුනා.

“Tector අපේ හොඳම ක්‍රීඩකයින්ගෙන් කෙනෙක්, ඔහු අපේ මැදපෙළට ඉතාමත් වටින ක්‍රීඩකයෙක්,” යනුවෙන් සිය පිතිකරුවා පිළිබඳ අයර්ලන්ත නායකයා පවසා සිටියා.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත් කුසල් මෙන්ඩිස් තරග ජයග්‍රහණයේ ගෞරවය පන්දු යවන්නන්ට ලබා දෙමින් පවසා සිටියේ, එම ඉලක්කය පන්දුවාර 17කින් හඹා යාමට ඔවුන් බලාපොරොත්තු වූ බවයි.

“අපේ පන්දු යවන්නන් ඔවුන්ව (අයර්ලන්තය) අඩු ලකුණු ගණනකට සීමා කරමින් ඉතාම හොඳින් පන්දු යැවුවා, මම මගේ විදිහට තරඟය ක්‍රීඩා කළා.

මට මුලින්ම උපදෙස් ලැබුණේ ඉනිමේ මුල් පන්දුවාර 6 ක්‍රීඩා කිරීම සහ ඉන්පසුව එම ඉනිම දිගටම පවත්වා ගෙන යාමයි. ඒ විදිහට පන්දුවාර දහයක් ක්‍රීඩා කිරීම තමයි මූලික අරමුණ වුනේ.

නමුත් අපි අඩු ලකුණු ප්‍රමාණයක් තමයි හඹා ගෙන ගියේ. අපි පන්දුවාර 17කින් තරගය අවසන් කරන්න බලාපොරොත්තු වුනා, නමුත් චරිත් අසලංක මට කිව්වා පීඩනයක් දාගන්නේ නැතුව ක්‍රීඩා කරන්න කියලා.”

තරගයෙන් අනතුරුව තරගයේ වීරයා බවට සම්මාන හිමි කරගනිමින් කුසල් විසින් එලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියා.

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය ලබන අඟහරුවාදා (25) ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත් හිදී පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<