Kohli යලි අළු ගසා දමා නැගිටිනවා – අනාවැකියක්!

868

පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව හිටපු ඉන්දීය නායක Virat Kohli නැවතත් තම සුපුරුදු රිද්මයට පැමිණෙමින් සිටින බවත්, ඔහු විශාල ආත්ම විශ්වාසයකින් ක්‍රීඩා කරන බවත් හිටපු ඉන්දීය ක්‍රීඩක Sanjay Manjrekar විසින් පවසනවා.

පසුගිය ඉරිදා Rohit Sharmaගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම, ඕස්ට්‍රේලියාවට එරෙහිව තවත් විස්සයි විස්ස තරග ජයග්‍රහණයක් කරා ගෙන යෑමට සුපිරි පිතිකරු Virat Kohliට හැකි වීම පිළිබඳ Sanjay Manjrekar විසින් ඉතාම උද්දාමයට පත් වී සිටිනවා.

දින 1020ක ශතක ඉඩෝරයට තිත තබමින් පසුගිය ආසියානු කුසලානයේ ඉන්දියාව මුහුණ දුන් අවසන් විස්සයි විස්ස තරගයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව ශතකයක් රැස් කළ Kohli තමන් නැවතත් තම සුපුරුදු රිද්මය සොයා ගත් බවට ඉඟි පළ කර සිටියා.

එමෙන්ම එම තරගාවලියෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව හා පැවති පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහණය ද ඉන්දියාව සතු කර දීමට Kohli විසින් විශාල දායකත්වයක් සැපයූවා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාවේ රජීව් ගාන්ධි පිටියේ දී පැවති විස්සයි විස්ස තරගයේ දී අර්ධ ශතකයක් රැස් කරමින් ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණයේ අඩිතාලම සකසා දීමට Kohli සමත් වුනා.

මෑත කාලයේ Kohliගේ තරග වෙනස් කරවන සුළු ක්‍රීඩා රටාව පිළිබඳ Manjrekar විසින් SPORTS18 පුවත් සේවය සමඟින් සාකච්ඡාවක නිරත වෙමින් සිය අදහස් පළ කර සිටියා.

“බලන්න, ආසියානු කුසලානයේ පටන් ඔහු සෑම තරගයකම වාගේ ලකුණු ලබා ගත්තා විතරක්ම නෙවෙයි ඔහුගේ පෙරට වඩා යම් දියුණුවක් පවා පේන්න තියෙනවා. ඔහු නැවතත් ඔහුගේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවට අවතීර්ණ වී තිබෙනවා, මම හිතන්නේ ඔහු නැවතත් ඒ පිළිබඳ විශ්වාස කරන්න පටන් අරගෙන. කාලයක් තිබුණා ඔහු ලකුණු ලබා ගත්තා වුනත්, ඒ ආක්‍රමණශීලී බව ඔහුගෙන් ගිලිහිලා ගිහින් තිබුණු. නමුත් දැන් එය නැවත ඔහු කරා පැමිණ තිබෙනවා.”

මෙහි දී Manjrekar විසින් Kohli සතු ‘හොඳ පන්දුවලට හයේ සහ හතරේ පහර ලබා ගැනීමේ හැකියාව’ ගැනත් විශේෂයෙන්ම සඳහන් කළා.

“ඔහු තමන්ට ලැබෙන හොඳ පන්දුවලට හතරේ සීමාවෙන් එහාට යන සේ විශාල පහරවල් එල්ල කරනවා. එහෙම දෙයක් කරන්න පුළුවන් වෙන්නේ ආත්ම විශ්වාසය නිසා, මේ මනුස්සයා තමන් ගැන පුදුම ආත්ම විශ්වාසයක් තියාගෙන ක්‍රීඩා කරන්නේ. ඔහු අනිවාර්යයෙන්ම තවත් විශිෂ්ටත්වයට පත් වෙනවා. කාලයක් තිස්සේම ලකුණු නැතිව සිටි ඔහුගේ ආත්ම විශ්වාසය දිය වී ගොසිනුයි තිබුණේ.”

පසුගිය ඉරිදා හයිද්‍රාබාද් හීදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 48කින් ලකුණු 63ක් ලබා ගනිමින් ඉන්දියාවට කඩුලු හයක ජයක් ලබා දීමට ද Kohli පෙරමුණ ගත්තා. 33 වියැති Kohli පසුගිය ආසියානු කුසලානයේ ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු (තරග පහක දී ලකුණු 276) ලබා ගනිමින් සාර්ථක ආසියානු කුසලානයක් ද නිමා කරා.

“ආසියානු කුසලානයේ දී සෙමෙන් නමුත් ස්ථාවරව දේවල් වෙන්න පටන් ගත්තා. ඔහු පුල් පහරවල් එල්ල කරන්න පටන් ගත්තා, හයේ පහරවල් සීමා ඉර යාන්තමින් ඉක්මවා නොයා ප්‍රේක්ෂකාගාරය දක්වාම ඇදී යන්න පටන් ගත්තා. දැන් හැමදේම හරි විදිහට වෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ විදිහටම ප්‍රධාන තරගාවලියකත් ක්‍රීඩා කරලා පෙන්නන එක විතරයි,” Manjrekar විසින් Kohli ගැන සිය  අදහස එලෙස ප්‍රකාශ කළා.

තවත් මෙවැනිම නවතම ක්‍රීඩා තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<