2020 පාසල් මහා තරග වීරයෝ – ශලින් ද මෙල්

252

සෑම වසරකම වගේ පෙබරවාරි අන්තිම වගේ ඉඳන් අප්‍රේල් මුල වගේ වෙනකන් ලංකාවේ පාසල් බොහෝමයක් සැණකෙළියක ස්වභාවයක් ගන්නේ පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වීම නිසයි.

මේ වසරේ දීත් ඉතාමත් උණුසුම් ලෙස මාර්තු උන්මාදය (March Madness) ආරම්භ වුනත් Covid-19 වයිරසය නිසාවෙන් මේ උණුසුම එක්වරම අවසන් වුනේ තරග රැසක් දින නියමයක් නොමැතිව කල් දමමින්. 

ඒ කොහොම වුනත් මේ වසරේ මෙතෙක් පැවති තරගවල දී ද ක්‍රීඩකයින් රැසක් ඔවුන්ගේ සුපුරුදු දස්කම් අතරට පැමිණ දස්කම් දැක්වීමට සමත් වුනා. සාන්ත තෝමස් විද්‍යාලයේ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම දක්ෂ පන්දු රකින්නෙකු ද වන ශලින් ද මෙල් කියන්නෙත් අන්න ඒ වගේ දස්කම් අතරට පැමිණි දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

කොරෝනා නිසා අසරණ දෑත් ශක්තිමත් කරන්න මහානාම, වාස් එක්වෙයි

COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිය ජනතාව මේ වන විට දුෂ්කර කාල පරිච්ඡේදයකට…

ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගය ලෙස ඉතිහාසයට එක්ව තිබෙන්නේ 1878 දී ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර දී ආරම්භ වූ සාන්ත පීතර සහ ප්‍රින්ස් ඇල්ෆර්ඩ් විදුහල් අතර පැවැත්වෙන මහා තරගය වුනත්, 1879 වසරේ සිට කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවැත්වෙන “නිල් මහා සංග්‍රාම ක්‍රිකට් ගැටුම” ලොව මෙතෙක් නොකඩවා පවත්වනු ලැබූ එකම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලෙස ඉතිහාසයට එක්වනවා. 

නිල් මහා සංග්‍රාමයේ 141 වැනි දිග හැරුම පසුගිය මාර්තු මස 12, 13 සහ 14 යන දින 3 පුරාවට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේ දී පැවැත්වුණු අතර පන්දුවාර 280කුත් පන්දු 5ක් තිස්සේ ඉනිම් තුනක් පුරාවට ඇදී ගිය මේ තරගයේ දී ලකුණු 778ක් රැස්කර ගන්නට ඊට සහභාගී වුන ක්‍රීඩකයින් සමත් වුනේ කඩුලු 23ක් බිඳ වැටෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජකීය නායක තෙවිඳු සේනාරත්න පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව සාන්ත තෝමස් ඉනිම ආරම්භ කළේ ශලින් ද මෙල් සහ දිල්මින් රත්නායකයි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 49ක සබඳතාවයක් වාර්තා කිරීමට සමත් වුනා. 

Video – පිට පිට නිල් මහා සටන ජය ගැනීමට සැරසෙන සාන්ත තෝමස් විද්‍යාලය – Cricket Team Preview 2019/20

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ….

ශලින් මේ තරගයේ දී පළමු ඉනිම තුල ලකුණු 85ක් සමඟින් මුළු ලකුණු 90ක් සහ දක්ෂ උඩ පන්දු 2ක් රැකගෙන 141 වැනි නිල් මහා සටනේ තරගයේ වීරයා ලෙස අභිෂේක ලැබුවා. ඔහු ඊට පෙර ක්‍රීඩා කළ මහා තරග දෙකේ දී ම තරගයේ දක්ෂතම පන්දු රකින්නා බවට සම්මාන දිනා ගත්තා.

141 වැනි නිල් මහා සටනේ තරගයේ වීරයා වූ ශලින් ඒ සඳහා වන සම්මානය ලබා ගනිමින්

වයස අවුරුදු 18ක් වන මේ වමත් පිතිකරුවා නැත්නම් තුන් ඉරියව් ක්‍රීඩකයා දැනට පාසල් මහා තරග තුනක් ක්‍රීඩා කරලා තියෙනවා. පාසලේ තවත් වසරක් ක්‍රීඩා කිරීමට හැකියාව ඇති ශලින්, රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටන් ඉතිහාසය තුල වසර 99ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට පසුගිය වසරේ (2019) දී සමත් වුනේ උඩ පන්දු 7ක් රැකගෙනයි.

නිල් මහා ක්‍රිකට් ඉතිහාසයේ දැනට තහවුරුව තිබෙන දත්තවලට අනුව, එක් ඉනිමක දී උඩපන්දු 5ක් රැකගෙන තිබෙන ක්‍රීඩකයින් දෙදෙනෙක් වාර්තා වෙනවා. ශලින් 2019 වසරේ පැවති නිල් මහා සටනේ දී උඩපන්දු 5ක් ලබා ගත් අතර අනෙක් ක්‍රීඩකයා වන්නේ 1920 දී රාජකීය විදුහල නියෝජනය කළ C. T. Van Geyzel ය.

පිතිකරණයෙන් ද ඉතාමත් හොඳ දස්කම් දක්වා තිබෙන ශලින් රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටන් ඉතිහාසය තුල දැනට අර්ධ ශතක 3ක් වාර්තා කරගෙන තිබෙනවා. 2018 වසරේ තමාගේ මුල්ම පාසල් මහා තරගයට ක්‍රීඩා කරපු ශලින් එම තරගයේ දී ලකුණු 57ක් ලබා ගත්තා.

ශලින් ද මෙල්ගේ මහා තරග දස්කම් (2018-2020)

පිතිකරණය

තරග ඉනිම් ලකුණු පන්දු ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය අර්ධ ශතක 4 පහර 6 පහර  වැඩිම ලකුණු 
3 6 250 421 50.00 3 30 3 85

පන්දු යැවීම,

තරග ඉනිම් පන්දුවාර නිලකුණු පන්දුවාර ලබා දුන් ලකුණු කඩුලු පන්දුවාරයකට දල ලකුණු 
3 4 24 7 45 1 1.87

පන්දු රැකීම,

තරග ඉනිම් උඩ පන්දු 
3 6 10

ශලින්ගේ ක්‍රිකට් දිවියේ ආරම්භය

2001 නොවැම්බර් 22 වැනිදා මෙලොව එලිය දකින ශලින්, ද මෙල් පවුලේ දෙවැනි සහ බාලම පුත්‍රයා. කුඩා කල සිටම ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ගිය ශලින් තුන වසරේ දී පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු වන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වෙන සනේෂ් ද මෙල්ගේ අඩි පාරේ යමින්. 

“පොඩි කාලේ ඉඳන් මම අයියා සෙල්ලම් කරන තරග බලන්න ගියා. ඒ තරගවල දී අයියා සෙල්ලම් කරන විදිහ දැකලා මටත් පාසලේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න ආසාවක් ආවා. මම ඒක නිසා අයියාගේ තරග බලන්න යනකොට බැට් එකක් බෝලයක් අරගෙන ගහින් එතන ඉන්න යාළුවෙක් එක්ක මම සෙල්ලම් කළා.” යැයි ශලින් ThePapare.com වෙත පවසා සිටියා.

කුඩා කාලයේ දී සාන්ත තෝමස් විද්‍යාලයේ ධජය සමඟ සිටින ශලින්

ශලින්ට පවුලෙන් ලැබෙන සහය

ක්‍රිකට් ක්‍රීඩාව තුලින් සාර්ථක වී ඉදිරියට පැමිණෙන්න යම් ක්‍රීඩකයෙක් සිදු කරන කැපවීම් වගේම ඔහු වටා සිටින සියලුම දෙනාගේ කැප කිරීම් ද ඒ ක්‍රීඩකයාගේ අනාගතය සාර්ථක කරගන්න ලොකු පිටිවහලක් වන බවට කිසිම සැකයක් නැහැ.

ශලින් සිය පවුලේ සාමාජිකයින් සමඟ

පොඩි කාලේ ඉඳන් අයියයි, මමයි ගෙදර සෙල්ලම් කරනකොට බැට් එක අල්ලන විදිහ බොලේ අල්ලන විදිහ වගේ මගේ තිබ්බ අඩුපාඩු අයියා ගොඩක් හැදුවා. ලොකු වෙද්දීත් වුනත් එහෙම අඩුපාඩු හදන එක පොඩ්ඩක්වත් නැවැත්තුවේ නැහැ. 

ඒ වගේම තමයි මගේ තාත්තා පොඩි කාලේ ඉඳන් මාව පුහුණුවීම් වලට/තරග වලට වෙලාව නොබලා ගිහින් දැම්මා දැම්මා. ඒ වගේම තමයි අම්මයි, ආච්චියි මම සෙල්ලම් කරල මඩ වුනු ඇඳුම් හෝදලා මට ඊළඟ දවසට පුහුණුවීම් යන්න ලෑස්ති කරලා දෙනවා. ඒ වගේම මගේ කෑම බීම ගැනත් පවුලේ අය ගොඩක් සැලකිලිමත් වුනා. ඒ ගොල්ලෝ මේ ලබා දුන්න සහය ඉස්සර ඉඳන් තාමත් මට ලබා දෙනවා. ඒක මට මගේ ක්‍රිකට් දිවියේ මේ ඉන්න තැනට එන්න ගොඩක් උදව් වුනා.”  

සිය වැඩිමහල් සහෝදරයා වන සනේෂ් ද මෙල් සමඟින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ශලින්

පාසලෙන් සහ පුහුණුකරුවන්ගෙන් ලැබෙන සහය

දෙමව්පියන් ඇතුළු පවුලේ උදවියගේ සහ ක්‍රීඩකයාගේ කැපවීම කොපමණ තිබුණ ද  පුහුණුකරුවන් සහ පාසලෙන් ලැබෙන සහය ද ක්‍රීඩකයෙකුගේ සාර්ථකත්වයට අත්‍යාවශ්‍ය සාධකයක්.

මම පුහුණුවීම් කරන වෙලාවට මගේ 100%ක් දෙනවා. මගේ පුහුණුකරුවන් ඔක්කොම මට පොඩි කලේ ඉඳන් මේ දක්වාම ලොකු සහයක් වුනා. අපේ යෝගා ගුරුවරයා ලබාදෙන පුහුණුවීම් මගේ මනස සැහැල්ලු කරගන්න උදව් වෙලා තියෙනවා. 

දිනේෂ් කුමාරසිංහ සර් ඇතුළු පුහුණුකරුවන් වගේම පොඩි කාලේ ඉඳන් වචනෙකින් හරි උදව් කරපු හැම සර් කෙනෙක්වම මතක් කරන්න කැමතියි. 

ඒ වගේම මගේ ගමනේ සාර්ථකත්වයට උදව් කරපු පාසලේ විදුහල්පති පියතුමන් වන මාර්ක් බිලිමෝරියා, නියෝජ්‍ය විදුහල්පති අසංග පෙරේරා වගේම රොෂාන් මෙන්ඩිස් සහ අමල් ප්‍රනාන්දු යන දේවගැතිවරුන්, පාසලේ ගුරුවරුන්, කණ්ඩායමේ ක්‍රීඩකයින්, මාත් එක්ක ළඟින්ම පාසලේ මිතුරන් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. 

ඒ වගේම අපේ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් වෙන රොමේෂ් නල්ලපෙරුම, සචිත ජයතිලක, ඩෙලෝන් පීරිස්, සිතර හපුහින්න සහ තෙවින් ඊරියගම යන ක්‍රීඩකයින් වත් මතක් කරනවා.”

ශලින් ඇතුළු සාන්ත තෝමස් විද්‍යාලයීය U15 ක්‍රිකට් කණ්ඩායම් 2016 දී ඔවුන්ගේ පුහුණුකරුවන් සමඟ

ක්‍රිකට් දිවියේ සොඳුරු මතකයන්

ඇත්තටම 140 වැනි නිල් මහා සටන මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද අපි අවුරුදු 7කට පස්සේ ඩී. එස්. සේනානායක අනුස්මරණ කුසලාන පලිහ නැවතත් අපේ පාසලට ගෙනාවා. ඒකට පොඩි හරි දායකත්වයක් දෙන්න මට පුළුවන් වුනු එක ගැන මම සතුටු වෙනවා.” 

අවුරුදු 99ක වාර්තාවක් අලුත් කරලා ඒ තරගයේ දී දක්ෂතම පන්දු රකින්නා වෙන්න මට අවස්ථාව ලැබුණා. මම ඒ තරගයේ දෙවන ඉනිමේ පිතිකරණයට ගියේ තරගය අවසන් වෙනකන් කඩුල්ලේ ඉන්නවා කියන අරමුණ ඇතිවයි. ඒ අරමුණ වෙත මම ගියේ අර්ධ ශතකයකුත් ලබාගෙන. ඉතින් මගේ ක්‍රිකට් දිවියේ ඒ 140 වැනි නිල් මහා සටන කවදාවත් අමතක වෙන්නේ නැහැ.” 

140 වැනි නිල් මහා සටනේ දක්ෂතම පන්දු රකින්නා වූ ශලින් ඒ සඳහා වන සම්මානය ලබා ගනිමින්

ශලින්ගේ අනාගත බලාපොරොත්තුව

“මම තුන් ඉරියවෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙක්, මම මගේ පුහුණුවීම්වල දී වගේම ෆිට්නස් වලදී මගේ 100%ක් ඒකට දෙනවා. පන්දු රකින්න මම ගොඩක් ආසයි, විශේෂයෙන් slip එකේ. එහෙම දස්කම් පෙන්වලා පාසල් මට්ටමින් ශ්‍රී ලංකා 19න් පහළ මට්ටමටත්, අන්තර් සමාජ, ශ්‍රී ලංකා දෙවන පෙළ ජාතික ක්‍රිකට් කණ්ඩායමත් ක්‍රීඩා කරලා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරලා රට වෙනුවෙන් දෙයක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.”

අවසන් වශයෙන්,

“මම මේ දැන් ඉන්න තැනට එන්න උදව් කරපු මගේ අම්මා, තාත්තා, අයියා, ආච්චි, නෑදෑ හිතමිතුරන්, කුඩා කාලයේ ඉඳන් දැන් වෙනකන් මට වචනෙකින් හරි උදව් කරපු හැම පුහුණුකරුවෙක්වම, පාසලේ විදුහල්පති පියතුමා ඇතුළු සියලුම ගුරුවරුන්, පාසලේ ආදී ශිෂ්‍ය සංගමය, අපේ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ පරණ හිටපු නායකයින්, මාත් එක්ක එකට ක්‍රීඩා කරපු කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයින්, පාසලේ මගේ ළඟින්ම හිටපු මිතුරන් වගේම නන් අයුරින් මට උදව් කරපු හැමෝටම ස්තූති කරන්න මේක අවස්ථාව කර ගන්න කැමතියි.” 

මෙවර පාසල් මහා තරගවල විශිෂ්ට දස්කම් දක්වපු ක්‍රීඩකයින් ගැන තවත් විශේෂාංග ලිපි කිහිපයක්ම නුදුරු දින කිහිපය තුල ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. ඔබේ පාසලේ දක්ෂතමයත් ඒ අතර ඉන්න පුළුවන්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<