හිටපු නායකයා ලෝක කුසලානයට යන පාකිස්තාන කණ්ඩායමට අනතුරු අඟවයි!

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1147

එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය අභියස සිටිය දී පාකිස්තාන කණ්ඩායමේ මානසිකත්වය ව්‍යාකූල නොකරන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ නායක Babar Azamට හිටපු නායක Younis Khan විසින් දැඩි ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

එළඹෙන ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අනෙකුත් කණ්ඩායම් වලට ප්‍රභල අභියෝගයක් වේවිද යන කරුණ පිළිබඳව මේ වන විට විවිධ සැක සංකා මතුවෙමින් පවතිනවා. පසුගිය වසරේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ලෝක ශූරයන් බවට පත්වූ ඕස්ට්‍රේලියාව හමුවේ අනපේක්ශිත පරාජයක් හිමි කරගත් පාකිස්තානුවන්ට අවසන් පූර්ව වටයෙන් ඉදිරියට යාමට නොහැකි වූ අතර මෙවර පැවති ආසියානු කුසලානයේ දී ද ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ දැක්වූ දුර්වල ක්‍රීඩා රටාව නිසාවෙන් තරගාවලියේ කුසලානය අහිමි කරගත්තා.

මෙවැනි වටපිටාවක් තුළ කරච්චි හිදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ හිටපු පාකිස්තාන නායක Younis Khan විසින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Ramiz Rajaට සහ වත්මන් පාකිස්තාන නායක Babar Azamට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරමින් ප්‍රකාශ කර තිබුනේ ලෝක කුසලානයට පෙර කණ්ඩායමේ වෙනත් කිසිඳු වෙනස්කමක් නොකරන ලෙසයි.

“හැම තැනකින්ම ඇහෙන්නේ කණ්ඩායමේ වෙනස්කම් කළ යුතුයි කියනා හඬා වැටීම් විතරයි, අපි මේක ගිය වතාවෙත් කළා. මම හිතන්නේ මේ පාරවත් අපි කණ්ඩායමේ හදිසි වෙනස් කිරීම් කරලා ඔවුන්ව අපහසුතාවයට පත් නොකර සිටිය යුතුයි. අපේ පාලක මණ්ඩලය, පුහුණුකරු සහ නායකයා විසින් මෙම ක්‍රීඩකයින් හරි ආකාරයෙන් භාවිත කළ යුතුයි. මේ අය තමයි ඔබට ඉන්න එකම ක්‍රීඩකයින් පිරිස, වෙන කොහෙන්වත් කවුරුවත් එන්නේ නැහැ. මේ තමයි ඔබට ඉන්න හොඳම කණ්ඩායම.”

එමෙන්ම Younis Khan විසින් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට විශේෂ සඳහන් කිරීමක් කරමින් ප්‍රකාශ කළේ තරගයේ ස්වභාවය අනුව ඔවුන්ගේ ක්‍රීඩා ශෛලිය ඔවුන් විසින් වෙනස් කරගත යුතු බවයි.

“ක්‍රිකට් කියන්නේ කැපකිරීම් කරමින් කළ යුතු ක්‍රීඩාවක්. ඔබ රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා නම් ‘මේ තමයි මම ක්‍රීඩා කරන විදිහ’ කියලා දෙයක් නැහැ. ඔබ ඔබේ රට වෙනුවෙන්, ඔබ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න මිලියන සංඛ්‍යාත ප්‍රේක්ශකයින් වෙනුවෙන් ඔබේ තරග රටාව වෙනස් කළ යුතුයි. ඔබට හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ නැහැ පාකිස්තානය කිසිවෙකුට හෝ නතර කළ හැකි කණ්ඩායමක් කියලා.”

මේ වන විට පාකිස්තාන කණ්ඩායම එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග 7කින් යුත් තරග සංචාරයක නිරත වන අතර තරග හතරක් අවසානයේ දෙපිළම තරග දෙක බැගින් ජයගෙන සම මට්ටමේ පසු වනවා. පසුගිය ඉරිදා දිනයේ පැවති සිව්වැනි තරගයෙන් ලකුණු තුනක තියුණු ජයක් ලැබීමට පාකිස්තානය සමත් වුනා. එහි දී නැවතත් විශිෂ්ඨ අන්දමින් පිතිකරණයේ යෙදුනු Mohammad Rizwan පන්දු 67කින් ලකුණු 88ක් රැස් කළ අතර Babar Asam විසින් පන්දු 28කින් ලකුණු 36ක් රැස් කරගැනීමට සමත් වෙමින් පාකිස්තාන ලකුණු පුවරුව නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 166ක් දක්වා ගෙන යෑමට සමත් වුනා.

පිළිතුරු ඉනිම දියත් කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19.2ක දී ලකුණු 163ක් රැස් කරගන්නා විට ඔවුන්ගේ සියලු කඩුළු බිඳ හෙළමින් ලකුණු 3ක තියුණු ජයක් හිමි කරගැනීමට පාකිස්තානය සමත් වුනා. එහි දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ Haris Rauf සහ Mohammad Nawaz විසින් කඩුළු 3 බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<