මහේල T20 ලෝක කුසලානයට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

658

හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බව ඈෂ්ලි ද සිල්වා විසින් තහවුරු කරනු ලැබූවා.

ඊයේ (15) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා විසින් මේ බව තහවුරු කරමින් ප්‍රකාශ කලේ හිටපු නායක මහේල ජයවර්ධන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති බවයි.

විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔක්තෝබර් 02 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත අතර, මහේල ජයවර්ධන ඔක්තෝබර් 06 වැනිදා කණ්ඩායම සමඟ එක් වීමට නියමිත බව ඔහු විසින් ප්‍රකාශ කළා.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ජයවර්ධන විසින් ලබා දුන් නිහඬ දායකත්වය අගය කිරීමට ද අමතක කළේ නැහැ,

“ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලානය දිනා ගැනීමට ශක්තියක් වෙමින් මහේල විසින් විශාල කාර්‍ය භාර්‍යයක් ඉටු  කරා, ඔහු කණ්ඩායම වෙනුවෙන් සැලසුම් සකස් කිරීමේ දී, කණ්ඩායමේ තේරීම් කටයුතුවල දී වගේම තවත් බොහෝ ආකාරවලින් කණ්ඩායමට සහය දැක්වුවා. මහේලගෙන් ලැබුණු දායකත්වය ජාතික කණ්ඩායම විසින් මේ ලබා ඇති  ප්‍රගතියට ප්‍රධානතම හේතුවක්”, ලෙස ෂම්මි සිල්වා මහේලගෙන් කණ්ඩායමට ලැබුණු දායකත්වය පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියා.

පසුගිය වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ද මහේල විසින් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ උපදේශකයකු ලෙස සහය ලබා දුන් අතර, එම තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තරග පහෙන් තුනක් පරාජයට පත් වීම හේතුවෙන් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් ශ්‍රී ලංකා පිළෙන් ගිලිහී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර සිම්බාබ්වේ සහ අයර්ලන්ත කණ්ඩායම් සමඟ පුහුණු තරග දෙකකට මුහුණ දීමට අවස්ථාව ලැබෙන අතර, ඉන්පසුව ඔවුන්ට මූලික වටයේ පළමු තරගය ලෙස ඔක්තෝබර් 16 දින නැමීබියාව මුණ ගැසීමට නියමිතයි.

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත අතර එම තරගාවලියේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<