වනිඳු හරසංගට CPL අහිමි වෙයි

CPL 2022

24243

2022 CPL තරගාවලියේ St Kitts & Nevis Patriots කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි වනිඳු හරසංග වෙනුවට ඇෆ්ගනිස්තාන පා දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khanව ආදේශ කර තිබෙනවා.

වනිඳු ගියවර CPL (Caribbean Premier League) ශූරයින් බවට පත් වූ St Kitts & Nevis Patriots කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස මෙවර ක්‍රීඩා කිරීමට නියමිතව සිටිය ද, ඊයේ නිමාවට පත් වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සමඟ කාර්‍ය බහුල වූ නිසා වනිඳු වෙනුවට Rashid Khanව ආදේශ කිරීමට එම කණ්ඩායම තීරණය කර තිබෙනවා.

මේ අතර මහීෂ් තීක්ෂණව මෙවර CPL තරගාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා අදාළ අවසරය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබා දෙන තුරු Trinbago Knight Riders කණ්ඩායම ද බලා සිටින බව වාර්තා වනවා.

තමන්ගේ ජාතික කණ්ඩායමට මුල් තැන ලබා දීම නිසාවෙන්  Rashid Khanට ගියවර CPL තරගාවලිය අහිමි වූ අතර, මෙය ඔහුගේ තෙවැනි තරග වාරය සහ මෙම කණ්ඩායම CPL තරගාවලියේ ඔහු විසින් නියෝජනය කරන තෙවැනි කණ්ඩායම වනු ඇති. (මීට පෙර ඔහු Guyana Amazon Warriors සහ Barbados Royals කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා).

එම වාර දෙකේ දී ම ඉතා සාර්ථක ලෙස ක්‍රීඩා කිරීමට සමත් වූ Rashid, 2017 දී Tridents (දැන් Barbados Royals) කණ්ඩායමේ ඉහළම කඩුලු ලාභියා බවට පත් වෙමින් පන්දු වාරයකට ලකුණු 6.85ක දල ලකුණු ලබා දීමේ අගයක් සමඟින් කඩුලු 11ක් බිඳ හෙළීමට සමත්කම් දැක්වූවා. එමෙන්ම Amazon Warriors කණ්ඩායම නියෝජනය කරමින් ඔහු කඩුලු ත්‍රිත්වයක් බිඳ හෙළීමට ද සමත් වූවා.

“වනිදු නැති එක පාඩුවක්, නමුත් රශීඩ් හොඳ ආදේශකයක්. ඒ ගැන සැකයක් නැහැ.”

St Kitts & Nevis Patriots කණ්ඩායමේ පුහුණුකරු වන Malolan Rangarajan විසින් මෙම ආදේශ කිරීම පිළිබඳ සිය අදහස එලෙස සඳහන් කර තිබුණා.

මෙවර තරග වාරයේ දැනට තරග පහක් ක්‍රීඩා කර ඇති St Kitts & Nevis Patriots තවමත් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර සිටින වටපිටාවක අකිල ධනංජය, ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන්නකු වන Izharulhaq Naveed, දේශීය දඟපන්දු යවන්නන් දෙදෙනෙක් වන Jaden Carmichael සහ Jon-Russ Jaggesarගෙන් සමන්විත Patriots දඟපන්දු යැවීම Rashid Khanගේ පැමිණීමෙන් තවත් ශක්තිමත් වනු ඇති.

පන්දුවාරයකට 6.55ක ලකුණු ලබා දීමේ අගයක් රඳවා තබා ගනිමින් මෙවර ආසියානු කුසලානයේ දී තරග පහක දී කඩුලු 6ක් බිඳ හෙලූ රශීඩ් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් දෙවැනියට වැඩිම කඩුලු ලාභියා ලෙස ද සටහන් වූ අතර මෙවර CPL තරගාවලියේ දී Barbados Royals නියෝජනය කරන Mujeeb Ur Rahman විසින් Rashidව අභිබවා යමින් ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා බවට පත් වුනා.

මේ අතර St Lucia Kings නියෝජනය කිරීමට නියමිතව සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Tim David වෙනුවට එංගලන්ත ක්‍රීඩක Adam Hoseව ආදේශ කර තිබෙනවා. Tim David විසින් මෙම මාසයේ ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමි කර ගැනීමට නියමිත නිසා ඔහුව St Lucia Kings කණ්ඩායමට අහිමි වී යාම හේතුවෙන් මෙම ආදේශ කිරීම සිදු කර තිබෙනවා.

160.98ක ප්‍රහාරාත්මක වේගයක් සහ සාමාන්‍ය ලකුණු අගය 55.70ක රඳවා තබා ගනිමින් මෙවර T20 Blast තරගාවලියේ දී ලකුණු 557ක් රැස් කිරීමට සමත් වූ Adam Hose විසින් Northern Superchargers නියෝජනය කරමින් ඉතා සාර්ථක The Hundred තරග වාරයක් ද නිමා කිරීමට සමත්කම් දැක්වූවා.

CPL තරගාවලියේ තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Espncricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<