පාසල් කණ්ඩායම් 8ක් අපරාජිතයි

1423

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (01) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී සහ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වූ අතර තරගාවලියේ පළමු දිනය අවසානයේ අපරාජිතව රැඳෙන්නට කණ්ඩායම් 8ක් සමත් විය.

ඉසිපතනය පරාජය කළ ජෝසප් ක්‍රීඩකයෝ ජය පැන් බොති

25 වන වරටත් මයිලෝ ආයතනයේ සවිබල ගැන්වීම යටතේ පැවති “මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ” අවසන් මහා තරගයෙන්, ගියවර ශූරතාවය…

කණ්ඩායම් 31ක් කාණ්ඩ 08කට බෙදා දක්වා තිබූ අතර තරගාවලිය පෙ. ව. 8.20ට ආරම්භ විය. ‘A’ කාණ්ඩයේ සිට ‘D’ කාණ්ඩය දක්වා පැවති කාණ්ඩවල තරග රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දීත්, ‘E’ කාණ්ඩයේ සිට ‘H’ කාණ්ඩය දක්වා තරග තුරඟ තරග ක්‍රීඩාංගණයේ දීත් පැවැත්විය.

ගියවර තරගාවලියේ ශූරයන් වූ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම ‘A’ කාණ්ඩයේ පෙරමුණ ගන්නට සමත් වූ අතර ඔවුන් පෙරළිකාර සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 22-17ක් ලෙස පරාජයට පත්කරන්නට ද සමත් විය. ඒ අනුව පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරයින් වූ ජෝසප් කණ්ඩායම බඳුන කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව තරග වටයට යොමු විය.

ගියවර තරගාවලියේ අනුශූරයින් වූ ඉසිපතන විද්‍යාලය එක් තරගයක් පමණක් ක්‍රීඩා කළ අතර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය තරගාවලියට සහභාගී නොවීම හේතුවෙන් ඔවුන්ට නිතරඟයෙන් එම තරග දෙකේ ද ජයග්‍රහණය හිමි විය.

2015 වසරේ තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළ සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම ද සහභාගී වූ තරග 3ම ජයග්‍රහණය කළ අතර ඊට අමතරව ත්‍රිත්ව විද්‍යාලය මෙන්ම රාජකීය විද්‍යාලයත් ඔවුන්ට අදාළ කාණ්ඩවල පෙරමුණ ගන්නට සමත් විය.

සහිරා විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ පැවති තරගයේ දී කණ්ඩායම් දෙකම ලකුණු 14 බැගින් ලබා ගනිමින් තරගය ජය-පරාජයෙන් තොරව නිමා වූ අතර ඔවුන් සහභාගී වූ ඉතිරි තරග දෙකේ දී අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයින් සහිරා ක්‍රීඩකයින්ට වඩා ලකුණු ලබා ගැනීම හේතුවෙන් කුසලාන ශූරතාවය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව සහිරා කණ්ඩායමට අහිමි විය. ඒ අනුව එම කාණ්ඩයෙන් කුසලාන ශූරතාවය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ සාන්ත අන්තෝනි විද්‍යාලය යි.

කෙසේ වුවත් පළමු දිනයේ වැඩි අවධානයක් දිනා ගත් කණ්ඩායම බවට පත්වන්නට සමත් වූයේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායම යි. ඒ ඔවුන් ප්‍රබල වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 33-00ක් ලෙස පරාජයට පත්කිරීමත් සමඟයි.

කුසලාන ශූරතාවය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අවසන් කණ්ඩායම බවට පත් වූ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය කණ්ඩායම ඒ සඳහා සුදුසුකම් ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 36-00ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමත් සමඟයි.

පළමු දිනයේ ප්‍රතිඵල

පළමු කණ්ඩායම ලකුණු ලකුණු දෙවන කණ්ඩායම
සාන්ත තෝමස් විද්‍යාලය 22 00 සාන්ත ඇලෝසියස් විද්‍යාලය
සාන්ත පීතර විද්‍යාලය 45 00 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
මහානාම විද්‍යාලය 29 10 රිච්මන්ඩ් විද්‍යාලය
ත්‍රිත්ව විද්‍යාලය 38 00 ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය 19 10 පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
සාන්ත ජෝසප් විද්‍යාලය 43 00 සාන්ත ඇලෝසියස් විද්‍යාලය
සාන්ත පීතර විද්‍යාලය 65 00 රිච්මන්ඩ් විද්‍යාලය
මහානාම විද්‍යාලය 19 19 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
ත්‍රිත්ව විද්‍යාලය 31 05 පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය 45 00 ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
සාන්ත තෝමස් විද්‍යාලය 22 17 සාන්ත ජෝසප් විද්‍යාලය
සාන්ත පීතර විද්‍යාලය 36 00 මහානාම විද්‍යාලය
රිච්මන්ඩ් විද්‍යාලය 12 05 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
ත්‍රිත්ව විද්‍යාලය 28 14 විද්‍යාර්ථ විද්‍යාලය
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය 31 07 ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
රාජකීය විද්‍යාලය 17 00 තර්ස්ටන් විද්‍යාලය
වෙස්ලි විද්‍යාලය 31 00 සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය
විද්‍යා විද්‍යාලය 50 00 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය 61 00 මොරටු මහා විද්‍යාලය
සහිරා විද්‍යාලය 31 00 ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය
කිංස්වුඩ් විද්‍යාලය 27 05 සී. ඩබ්. ඩබ්.කන්නංගර විද්‍යාලය
ධර්මරාජ විද්‍යාලය 42 07 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය 66 00 ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය
සහිරා විද්‍යාලය 36 00 මොරටු මහා විද්‍යාලය
ඉසිපතන විද්‍යාලය 31 14 ලුම්බිණි විද්‍යාලය
වෙස්ලි විද්‍යාලය 00 33 කිංස්වුඩ් විද්‍යාලය
විද්‍යා විද්‍යාලය 36 00 ධර්මරාජ විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය 14 14 සහිරා විද්‍යාලය
ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය 12 24 මොරටු මහා විද්‍යාලය

ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (02) පෙ. ව. 8.20 ට ආරම්භ වනු ඇත. ඒ අනුව එම තරගවල දී සාන්ත තෝමස් සහ සාන්ත පීතර, රාජකීය සහ ත්‍රිත්ව, කිංස්වුඩ් සහ විද්‍යා, ඉසිපතන සහ සාන්ත අන්තෝනි විදුහල් තරග වැදීමට නියමිත ය.

ශූරතා කුසලානය සඳහා වන අවසන් මහා තරගය අද ප. ව. 5.30 ට ආරම්භ වීමට නියමිත ය.

අද පැවැත්වෙන තරග සියල්ලම පැවැත්වෙන්නේ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීය.

තරගාවලියේ සජීවී විකාශය සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<