බටහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන සංචිතය නම් කරයි

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

894

මේ වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය (ICC Men’s T20 World Cup 2022) වෙනුවෙන් නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් Andre Russell ප්‍රමුඛ ප්‍රබල නම් කිහිපයක් ඉවත් වී, නවක නම් කිහිපයකට ඉඩ විවර වෙයි.

15 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට 2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එක්වීමෙන් අනතුරුව නැවත එකතු වීමට ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන Evin Lewisට ද ඉඩ ලැබී ඇත.

එමෙන්ම තවමත් විස්සයි විස්ස ක්‍රිකට් වරම් නොලැබූ Yannic Cariah සහ Raymon Reifer යන ක්‍රීඩකයින් දෙදෙනා ද මෙම සංචිතයේ ඉඩ විවර කර ගෙන තිබෙනවා.

විස්සයි විස්ස පිටියේ වැඩිම ඉල්ලුමක් පවතින ක්‍රීඩකයින් ලෙස සැලකෙන Andre Russell, Sunil Narine වැනි නම්වලට මෙම සංචිතයේ ඉඩ විවර නොවීම ද මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වන කරුණක් බවට පත් වී තිබෙනවා.

මෙම තේරීම් සම්බන්ධයෙන් තම අදහස් පල කළ බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටු ප්‍රධානී Desmond Haynes,

“අපි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අත්දැකීම් සහිත සහ නවක ක්‍රීඩක සම්මිශ්‍රණයකින් යුත් ක්‍රීඩකයින් පිරිසක් තෝරාගෙන තිබෙනවා. මේ දිනවල පැවැත්වෙන CPL තරගාවලියට අපි අවධානය යොමු කරගෙන සිටියා, ඒ වගේම එහි දී හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිළිබඳ අපි මේ තේරිම්වල දී විශේෂයෙන් සලකා බැලීමක් ද සිදු කරා.

මම මේ වගකීම බාර ගත් දිනයේ පටන්ම කියපු දෙයක් තමයි ක්‍රීඩකයින්ට ලැබිය යුතු අවස්ථාවන් ලබා දෙන්න මම ක්‍රියා කරන බව, ඒ වගේම මේ දක්වා මම නොකඩවාම ඒ දේ හරි ආකාරයෙන් සිදු කරා කියලත් විශ්වාස කරනවා.

ඒ වගේම මේ සංචිතයට එක් නොවුනු දක්ෂ ක්‍රීඩකයින් රැසක් එළියේ ඉන්නවා, නමුත් මම විශ්වාස කරනවා ඔවුනුත් CPL තරගාවලියේ වගේම, ඉදිරියට පැවැත්වීමට නියමිත CG United Super 50 Cup තරගාවලියේ දීත් දිගින් දිගටම කැපවීමෙන් ක්‍රීඩා කරාවි කියලා. මොකද අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ, ආබාධ ඇති වීමක් නිසා හෝ වෙන මොනයම් හේතුවක් නිසා හරි අපිට මේ සංචිතයට ක්‍රීඩක ආදේශයක් සිදු කරන්න වේවි ද කියලා.”

බටහිර ඉන්දීය කොදෙව්වන්, විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තම පළමු තරගය ලෙස ඔක්තෝබර් 19 වැනි දින සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග කිරීමට නියමිත අතර, ඉන්පසුව පිළිවෙළින් ස්කොට්ලන්තය සහ අයර්ලන්තය සමඟ ක්‍රීඩා කරනු ඇත.

මූලික වටයේ B කාණ්ඩය නියෝජනය කරමින් පැවැත්වෙන මෙම තරගවලින් අනතුරුව, එම කාණ්ඩයේ මුල් ස්ථාන දෙක ලබා ගන්නා කණ්ඩායම් ලෝක කුසලානයේ මීළඟ වටය ක්‍රීඩා කිරීමට නියමිත සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වනු ඇත.

එමෙන්ම ඔවුන් විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට පෙර ඔක්තෝබර් 5 සහ 7 යන දින දෙකේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස ක්‍රිකට් තරග දෙකකට මුහුණ දීමට ද නියමිතයි.

  • බටහිර ඉන්දීය කොදෙව් සංචිතය: Nicholas Pooran (c), Rovman Powell, Yannic Cariah, Johnson Charles, Sheldon Cottrell, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Evin Lewis, Kyle Mayers, Obed Mccoy, Raymon Reifer, Odean Smith

නුදුරේ දී ම පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<