චාමිකට දකුණු අප්‍රිකාවෙන් රුපියල් මිලියන 35ක් ඉක්මවූ ඉල්ලුමක්

SA20 League

34299

2023 වසරේ පළමු වරට පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු ලීග් T20 තරගාවලියේ (SA20) ඉහළම ලංසුගත ක්‍රීඩක ලැයිස්තුවට චාමික කරුණාරත්නගේ නම ද ඇතුළත් කර තිබෙනවා.

මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරාගැනීම සඳහා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියට තෝරාගෙන ඇති ක්‍රීඩකයින් සහ එම ක්‍රීඩකයින් ඉල්ලුම් කර ඇති මූලික මුදල අනුව ක්‍රීඩකයින් 318 දෙනෙකුගේ ලැයිස්තුවක් සංවිධායකයින් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි දී ඉහළම මූලික මුදල (Base price) ලෙස දකුණු අප්‍රිකානු රෑන්ඩ් (ZAR) 1,700,000ක මිලක් යටතේ ක්‍රීඩකයින් අට දෙනෙකුගේ නම් ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ නම ද ඇතුළුව Jason Roy, Eoin Morgan, Tymal Mills, Adil Rashid, Jimmy Neesham, Odean Smith සහ Jayden Seales යන ක්‍රීඩකයින් මෙම ඉහළම මූලික මුදල් කාණ්ඩය යටතේ ලැයිස්තු ගත වී තිබෙනවා. මෙම මුදල ශ්‍රී ලාංකික මුදලින් රුපියල් මිලියන 35කට අධික මුදලක් වනු ඇති.

එමෙන්ම මෙම මුදල වෙන්දේසිය පැවැත්වීමේ දී මෙම ක්‍රීඩකයින්ගේ වෙන්දේසිය ආරම්භ කිරීමට නියමිත මුදල පමණක් වන අතර වෙන්දේසිය අතරතුර ක්‍රීඩකයාට ලැබෙන ඉල්ලුම අනුව මෙම මුදල තවත් ඉහළ නැංවෙනු ඇති.

SA20 ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි ඉහළම මූලික මිල ගණන යටතේ ක්‍රීඩකයින් 52ක් ලැයිස්තු ගත කර ඇති අතර එම මුදල ZAR 850,000ක් ලෙස සටහන්ව තිබෙනවා. එම ක්‍රීඩකයින් 52 අතරේ දනංජය ද සිල්වා, චරිත් අසලංක, පැතුම් නිස්සංක ඇතුළු 11 දෙනෙකුම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක්.

මීට අමතරව එම ක්‍රීඩකයින් 52 අතරට එංගලන්ත ක්‍රීඩකයින් 13ක්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 10ක්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් 7ක්, ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් 6ක්, නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙන්ම එක් අයර්ලන්ත ක්‍රීඩකයෙක් ඇතුළත් වනවා.

මෙම වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 158 දෙනෙකු සිය නම් ලබා දී ඇති අතර ඉන් වැඩිම ක්‍රීඩකයින් පිරිසක් එංගලන්තයෙන් (54) එක් වී ඇති අතර ඉන්පසුව වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් එක්වී ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලිනි (31).

මෙම ක්‍රීඩක ලැයිස්තුවේ තෙවැනියට වැඩිම ක්‍රීඩකයින් පිරිසක් (30ක්) ශ්‍රී ලංකාවෙන් එක් වී ඇත. මීට අමතරව නවසීලන්තය,ඕස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ, අයර්ලන්තය, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය, හොංකොං, නැමීබියා යන රටවල් වලින් ක්‍රීඩකයින් වෙන්දේසියට එක් වී තිබෙනවා.

මෙම ක්‍රීඩක ලැයිස්තුවේ එකදු පාකිස්තාන ක්‍රීඩකයකු හෝ ඇතුළත් නොවීම විශේෂත්වයක්.

SA20 තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හයක් තරග බිමට පිවිසීමට නියමිත අතර මෙම කණ්ඩායම්වල හිමිකාරිත්වය IPL කණ්ඩායම්වල හිමිකාරිත්වය දරන අය අතරේම බෙදී ගොස් තිබෙනවා.

මෙම හේතුව නිසා කිසිදු පාකිස්තාන ක්‍රීඩකයකු මෙම ලැයිස්තුවට ඇතුළත් වී නැති බවට අදහස් පැන නැගුනත් තරගාවලියේ  සංවිධායකයින් ප්‍රකාශ කර තිබුණේ පාකිස්තාන ක්‍රීඩකයින්ගේ තරග කාලසටහනේ ඇති කාර්‍යබහුල බව නිසා මෙයට සහභාගී නොවී ඇති බවයි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශාම ගත් ඉන්දීය ක්‍රීඩක Unmukt Chand පමණක් මෙම ලැයිස්තුවට එක් වී ඇති අතර ඔහු ද ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් තම නම ලැයිස්තුවට එකතු කර ඇත.

ඊට අමතරව කිසිදු ඉන්දීය ක්‍රීඩකයකු මෙම ලැයිස්තුවට එක් නොවී ඇත්තේ විදේශ ක්‍රිකට් ලීග සඳහා සහභාගී වීම ඔවුන්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තහනම් කර ඇති බැවිනි.

මෙම කණ්ඩායම් හයම මේ වන විට ක්‍රීඩකයින් සිව්දෙනා බැගින් තම කණ්ඩායම්වලට වෙන්දේසියකින් තොරවම ඉහළ මිල ගණන් යටතේ එකතු කරගෙන ඇති අතර, Johannesburg super kings විසින් ශ්‍රී ලාංකික ක්‍රීඩක මහීෂ් තීක්ෂණව ද එලෙස තම කණ්ඩායමට කළින්ම එකතු කර ගනු ලැබීය.

මෙම ක්‍රීඩක ලැයිස්තුවට තරගාවලියට තරග කිරීමට නියමිත කණ්ඩායම් හයේ  එකඟතාව ලැබීමෙන් අනතුරුව මෙම මස 19 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හීදී ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

“මේ තරගාවලිය සඳහා ලැබුණු අවධානය පිළිබඳ අපිට ඉතාමත් සතුටුයි, වෙන්දේසිය සඳහා ලැබී ඇති ක්‍රීඩක ලැයිස්තුවත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරුවල නම්වලින් පිරිලා ගිහින්. මෙය නැගී එන නවක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට ලෝක මට්ටමේ ක්‍රීඩකයින් හා මුසුවීමට ලැබෙන ඉතාම වටිනා අවස්ථාවක්. පළමු වරට පැවැත්වීමට නියමිත SA20 ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් බලාපොරොත්තු සහගතව මග බලාගෙන ඉන්නවා.”

පැවැත්වීමට නියමිත තරගාවලිය සහ ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක සහ SA20 තරගාවලියේ ප්‍රධානියකු වන Graeme Smith සිය අදහස් ප්‍රකාශ කර සිටියා.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<