“මුම්බායට මාලිංග සේ, චෙන්නායි වලට මතීෂ ඉන්නවා” – Pathan

IPL 2023

554
Irfan Pathan believes that matheesha is perfect replacement

මතීෂ පතිරණ යනු අතීතයේ Chennai Super Kings සතුව සිටි Dwayne Bravo වෙනුවට හොඳම ආදේශකය බව හිටපු සුපිරි ඉන්දීය වේගපන්දු යවන්නකු වන Irfan Pathan විසින් සඳහන් කරනවා.

පසුගිය බදාදා (10) Delhi Capitals සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවැත්වුණු IPL තරගයේ දී ලකුණු 27ක පහසු ජයග්‍රහණයක් චෙන්නායි වෙත ලබා දීම වෙනුවෙන් මතීෂ පතිරණ විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනා. එමෙන් ම මෙම තරග වාරය පුරාවට ම මතීෂ විසින් ඉනිමේ අවසන් පන්දුවාර වල දී (Death Overs) පිතිකරුවන්ව ඉතා හොඳින් පාලනය කිරීමට ද සමත් වී තිබෙනවා.

නිමා වූ තරගය පිළිබඳ ව Star Sport රූපවාහිනී නාලිකාව සමඟ සිදු කළ සාකච්ඡාවක් අතර තුර හිටපු ඉන්දීය වේග පන්දු යවන්නා විසින් මතීෂගේ මෙම විශිෂ්ට පන්දු යැවීම පිළිබඳ මෙසේ අදහස් පළ කළා.

“හැම කණ්ඩායමක් ම තරගයේ අවසන් පන්දුවාර යැවීමට පන්දු යවන්නන් සොයනවා. Mumbai Indians කණ්ඩායමට මාලිංග හිටියා, ඒ වගේ ම ඔවුන්ට Bumrah ඉන්නවා. KKR විසින් ජයග්‍රහණය කළ IPL ශූරතා දෙකේ ම ඔවුන්ට Sunil Narine විසින් ඒ දේ කරලා දුන්නා. CSK කණ්ඩායමට Bravo හිටියා, දැන් ඔවුන්ට පතිරණ ඉන්නවා. ඔහු ඉතා ම හොඳ ආදේශයක් (Bravo වෙනුවට), ඒ වගේ ම ඔහුට හොඳ වේගයකුත් තියෙනවා.”

නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Adam Milne වෙනුවට චෙන්නායි විසින් ඉන්දියානු රුපියල් ලක්ෂ 20ක මුදලකට මිල දී ගත් පතිරණ විසින් මෙතෙක් IPL තරගාවලියේ තරග 8ක් පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 13ක් බිඳ හෙළීමට සමත් වී තිබෙනවා.

එමෙන් ම පසුගිය දා දිල්ලිය සමඟ පැවැත්වුණු තරගයේ දී මතීෂ විසින් කඩුලු 3ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දක්වද්දී චෙන්නායි නායක MS Dhoni පිත්තෙන් සාර්ථක වෙමින් වේගවත් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනේ දැවැන්ත හයේ පහර 2ක් ද සමඟයි.

එම තරගයෙන් අනතුරුව තරගයේ වීරයා සම්මානය හිමි කර ගත් Ravindra Jadeja විසින් පැවසූ කාරණයක් Irfan Pathan විසින් ද මෙම සාකච්ඡාව අතරතුර දී නැවත වරක් මතක් කළා.

“සත්කාරක කණ්ඩායමේ කඩුල්ලක් බිඳ වැටෙද්දී ප්‍රේක්ෂකයින් ඔල්වරසන් ලබා දෙන ලොව එක ම ක්‍රීඩාංගණය තමයි Chepauk (M.A.Chidambaram ක්‍රීඩාංගණය) කියන්නේ. හේතුව තමයි MSD පිතිකරණය සඳහා පිටියට පිවිසීම. ඔවුන් සිය ආදරණීය නායකයාව උණුසුම් අයුරින් පිළිගන්නවා, ඒ වගේ ම ඔහුගෙන් හයේ පහර බලාපොරොත්තු වෙනවා.”

එදා තරගයෙන් අනතුරුව Jadeja විසින් ද මේ සිදුවීම හාස්‍යමුසු ව සඳහන් කළා.

එමෙන් ම මෙවර තරගාවලියේ ඉනිමේ අවසන් භාගයේ දී පිතිකරණයට පිවිසෙන Dhoni විසින් ඉක්මන් ලකුණු කිහිපයක් හෝ ලබා ගැනීමට බොහෝ විට සමත් වුනා.

මේ අතර මතීෂ – Dhoni නවක-ප්‍රවීණ සුසංයෝගය පිළිබඳ ව ද බොහෝ දෙනෙකු ඉතා ප්‍රශංසාත්මක සහ ධනාත්මක අදහස් පළ කරමින් පවසන්නේ Dhoniගේ අත්දැකීම් සමඟින් මතීෂ අනාගතයේ තවත් විශිෂ්ට ලෙස ක්‍රීඩා කරනු ඇති බවයි.

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<