නිපන්දුවයි, ලකුණු 6යි; Abdul Samad හයිද්‍රාබාදයට අනපේක්ෂිත ජයක් ගෙනෙයි!

749
Credit : Associated Press

මෙවර Indian Premiere League තරගාවලියේ අතිශයින්ම උණුසුම් තරගයක් ඊයේ (07) අහමදාබාද් හිදී ක්‍රියාත්මක වුනා. අවසන් පන්දුව දක්වාම ඇදී ගිය මෙම තරගයේ දී ප්‍රබල Rajastan Royals කණ්ඩායම පරදවා කඩුලු 4ක තියුණු ජයක් ලබා ගන්නට Sunrisers Hyderabad කණ්ඩායමට හැකිවුනා.

තරගාවලියේ මුල් කොටසේ දිගින් දිගටම ජයග්‍රහණ ලබමින් ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි කුමාර් සංගක්කාර පුහුණුකාරීත්වය දරන Rajastan Royals කණ්ඩායම පසුව තරමක පසුබෑමකට ලක්වුනා. මේ නිසා එතරම් දක්ෂතා අතර නොමැති Sunrisers Hyderabad කණ්ඩායම පරාජය කරමින් නැවතත් රිද්මයට පැමිණීමටයි ඔවුන් අපේක්ෂා කළේ.

ඊයේ තරගයේ කාසියේ වාසිය ජයගත් Rajastan කණ්ඩායම මුලින් පිතිකරණයේ යෙදීමට තීරණය කළ අතර ඊට හොඳ ප්‍රතිචාරයක් මුල්පෙළ පිතිකරුවන්ගෙන් හිමිවුනා. එහිදී පළමු කඩුල්ලටම අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නගන්නට Yashasvi Jaiswal සහ Jos Buttlerට හැකිවුනා. මෙවර නැගී එන තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම නම කියවෙන Jaiswal ඊයේ ලකුණු 35ක් ලබා ගැනීමට වැය කළේ පන්දු 18ක් පමණයි.

ඔහුගේ වේගවත් ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 2කින් හැඩවුනා. හොඳින් පන්දුව තෝරා බේරාගෙන පිටිය සිසාරා පහර එල්ල කළ ඔහු අවසානයේ දැවී යන්නේ Marco Jansenගේ පන්දුවක් ශෝට් තර්ඩ්-මෑන් කලාපයට ඉහලින් හතරේ සීමාවට හරවා යැවීමට ගත් උත්සාහය වැරදී යාමෙනුයි. ඔහුගේ පිතිකරණ සගයා වූ Jos Buttler ඊයේ මන්දගාමී ආරම්භයක් ලබා ගත්තත් පසුව තරගයේ දැවැන්තම ඉනිමට හිමිකම් කිව්වා.

පන්දු 59කට මුහුණ දුන් මෙම සුපිරි එංගලන්ත පිතිකරුවා එහිදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 95ක්. ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් ඇතුලත් වුනා. වැඩිපුරම පිටියේ ඉදිරිපස කලාපයෙන් ලකුණු ලබා ගැනීමටයි ඔහු ප්‍රිය කළේ. ඉනිමේ අවසන් කොටසේදී තම ශතකයට එක් පහරක දුර ඉතිරිව තිබියදී ඔහුව දවා ගැනීමට Bhuvneshwar Kumarට හැකිවුනා. ඒ Buttlerව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින්.

මෙම අවස්ථාවේ පිටියේ විනිසුරු එය නොදැවීමක් ලෙස සටහන් කළත් තීරණය තෙවැනි විනිසුරු හමුවට ගෙන ගිය Sunrisers කණ්ඩායම සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තා. එහිදී පුනරූපන මගින් පැහැදිලි වූයේ පන්දුව කඩුල්ල ආසන්නයෙන්ම බිම පතිත වී කෙලින්ම පා ඉන්න කරා ඇදී යන බවයි. Buttler සමඟ ලකුණු 138ක විශිෂ්ට සබඳතාවයකට දායක වූ නායක Sanju Samson ලකුණු 66ක් ලබා ගත්තා.

ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවත් එල්ල කරන පහරවල් වලින් ක්‍රීඩාංගණයම සලිත කරන ඔහු තම ඉනිමට වැය කළේ පන්දු 38ක් පමණයි. ඒ අතරේ හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් එල්ල කිරීමට Samson සමත් වුනා. නිරන්තරයෙන්ම ලකුණු 10කට වැඩි වේගයක් නඩත්තු කළ රාජස්ථානය ලකුණු 214ක් ලබා ගන්නට සමත් වුනා. ඒ අතරේ බිඳ වැටුනේ Rajastan කඩුලු 2ක් පමණයි.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ කළ Sunrisers කණ්ඩායම පළමු කඩුල්ලටම ලකුණු 51ක් එකතු කරමින් ප්‍රතිවාදීන් ගිය අඩිපාරේම ගමන් කළා. ඉන්දීය ආරම්භක පිතිකරුවන් ද්විත්වයක් වන Anmolpreet Singh සහ Abhishek Sharma එම සබඳතාවයේ හිමිකරුවන් දෙදෙනායි. Abhishek ඊයේ පන්දු 32කට මුහුණ දෙමින් ලකුණු 55ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමින්.

ලඟ ලඟම කඩුලු දැවී යාම පාලනය කරමින් Sunrisers කණ්ඩායම තරගය තුල රඳවාගත් Rahul Tripathi ලකුණු 47ක් ලබා ගැනීමට වැය කළේ පන්දු 29ක් පමණයි. දකුණු අප්‍රිකානු කඩුලු රකින්නා වන Heinrich Klaasen ද පන්දු 12කින් ලකුණු 26ක් ලබා ගනිමින් තම වගකීම් කොටස ඉෂ්ට කළා. මේ වනවිටත් Sunrisers කණ්ඩායම පන්දුවාරයකට ලකුණු 10 බැගින් ලබා ගනිමින් සිටි නිසා තරගය දෙපිළටම විවෘතවයි පැවතියේ.

මේ අවස්ථාවේ 18 වැනි පන්දුවාරය යැවීම භාරගත් Yuzvendra Chahal විසින් Tripathi සහ නායක Markramව පිටියෙන් පිටමං කරමින් පන්දුවාරය ලකුණු 3කට සීමා කරන්නේ තරගය නැවතත් රාජස්ථානය වෙත කැඳවා ගනිමින්. එහිදී Tripathi එල්ල කළ ස්ලොග්-ස්වීප් පහර ඩීප් මිඩ්-විකට් සිට Jaiswal විශිෂ්ට ලෙස රැක ගනිද්දී Markram කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුනා.

මේ අවස්ථාවේ පිටියට පිවිසෙන Glenn Phillips නැවතත් තම කණ්ඩායමට ජයග්‍රහණයට අවස්ථාවක් උදාකර දෙන්නේ Kuldeep Yadav ක්‍රියාත්මක කළ 19 වැනි පන්දුවාරයේ මුල් පන්දු 4ට ලකුණු 22ක් උදුරා ගනිමින්. මෙම ඉනිම නොවන්නට Sunrisers කණ්ඩායමට අවසන් පන්දුවාරයට කිසිසේත්ම හඹා යා නොහැකි ඉලක්කයක් හිමිවීමට ඉඩ තිබුනා. Phillips පන්දු 7කින් ලකුණු 25ක් ලබා දැවී ගියා.

මේ නිසා අවසන් පන්දුවාරය සඳහා අවශ්‍ය වූ ලකුණු 17 ලබා ගැනීමේ වගකීම Abdul Samadට පැවරුනා. මීට පෙර චෙන්නායි කණ්ඩායමට එරෙහිව මෙවැනිම තරගයක් බේරා දුන් Sandeep Sharma යැවූ මෙම තීරණාත්මක පන්දුවාරයේ දෙවැනි පන්දුවට ඔහු හයේ පහරක් එල්ල කලත් ඉතිරි පන්දු වලදී Sunrisers කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 6ක් පමණයි. මේ නිසා අවසන් පන්දුවට ලකුණු 5ක් අවශ්‍ය කෙරුනා.

මේ මොහොතේ Sandeep Sharmaගේ සුරතින් ගිලිහුණු තරගයේ අවසන් පන්දුවට කිසිදු ලකුණක් ලබා ගැනීමට Abdul Samad අසමත් වූ නිසා Rajastan Royals කණ්ඩායම ජයග්‍රහණයේ සතුට භුක්ති විඳින්නට සූදානම් වෙද්දීම ක්‍රීඩාංගණය දෙදරවමින් සයිරන් නලා ශබ්දය නිකුත් වුනේ එය නිපන්දුවක් බව හඟවමින්. මේ අනුව Samadට ඉතිරි ලකුණු 4 ලබා ගැනීමට Free Hit අවස්ථාවක් ද හිමිවුනා.

ජීවිතයේ ඉතාමත් කලාතුරකින් ලැබෙන දෙවැනි අවස්ථාවක් කිසිදා අපතේ නොහැරිය යුතු බව පෙන්නුම් කළ Samad කඩුල්ලේ පිටුපසට ගොස් පන්දුව, පන්දු යවන්නාගේ හිසට ඉහළින් හයේ සීමාව වෙත ගුවන්ගත කළේ නොතිබූ ජයක් Sunrisers Hyderabad කණ්ඩායමට තිලිණ කරමින්. මෙය ඔවුන් හඹා ගිය විශාලම ලකුණු සංඛ්‍යාව ලෙසද IPL ඉතිහාස පොතේ ලියවුනා. පන්දු යැවීමේ දී Yuzvendra Chahal ලකුණු 29කට කඩුලු 4ක් බිඳ හෙලමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා කැටුව යාමට උත්සාහ කළා.

Rajastan Royals – කඩුලු 2ක් දැවී ලකුණු 214 (පන්දුවාර 20)

Jos Buttler 95, Sanju Samson 66*, Yashasvi Jaiswal 35, Bhuvneshwar Kumar 1/44, Marco Jansen 1/44.

Sunrisers Hyderabad – කඩුලු 6ක් දැවී ලකුණු 217 (පන්දුවාර 20)

Abhishek Sharma 55, Rahul Tripathi 47, Anmolpreet Singh 33, Heinrich Klaasen 26, Glenn Phillips 25, Abdul Samad 17*, Yuzvendra Chahal 4/29, Ravichandran Ashwin 1/35.

තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගැනීමට ලකුණු 95ක් ලබාගත් Jos Buttler සහ කඩුලු 4ක් බිඳ හෙලූ Yuzvendra Chahal සැදී පැහැදී සිටියද අවසානයේ අනපේක්ෂිත පරාජය නිසා එය හිමිවුනේ පන්දු 7කට පමණක් මුහුණ දී Sunrisers කණ්ඩායමේ දෛවය වෙනස් කළ Glenn Phillipsටයි.

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ Kolkata Knight Riders සහ Punjab Kings අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වනවා. එහි සජීවී රූපරාමු වෙනුවෙන් පිවිසෙන්න ThePapare.com වෙබ් අඩවියට!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<