මතීෂ දිල්ලියේ කොඳු නාරටිය බිඳ හෙළයි!

IPL 2023

1433
Chennai Super Kings vs Delhi Capitals

2023 IPL තරගාවලියේ 55 වැනි තරගය Chennai Super Kings සහ Delhi Capitals කණ්ඩායම් අතර ඊයේ (10) දිනයේ පැවැත්වුණා.

මෙම තරගයේ දී ද චෙන්නායි නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ තරගයට ක්‍රීඩා කළ අතර ඔවුන් සුපුරුදු පරිදි පන්දුවෙන් දක්ෂතා පෙන්වීමට ද සමත් වුනා.

චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි නායක MS Dhoni විසින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසුණු චෙන්නායි ආරම්භක පිතිකරණ යුගලය වන Devon Conway සහ Ruturaj Gaikwad විසින් සුපුරුදු පරිදි ම ඉනිමට හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුවත්, ඔවුන් දෙදෙනා ම එම සබඳතාව වැඩි වේලාවක් පවත්වා ගැනීමට සමත් වුනේ නැහැ.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 10ක් ලබා සිටි Conway ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 32ක් වන විට දැවී ගීය අතර, ඉනිමේ 12 වැනි පන්දුවාරයේ පළමු පන්දුව වන විට චෙන්නායි ඉනිමේ සිව්වැනි කඩුල්ල ද දවා ගැනීමට දිල්ලි පන්දු යවන්නන් විසින් සමත් වී තිබුණා.

නමුත්, ඉන්පසුව චෙන්නායි ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් Ambati Rayudu සහ Shivam Dube කඩුල්ලේ එක් වූ අතර Dube විසින් ඇල් මැරී තිබූ චෙන්නායි ඉනිමට යම් ජීවයක් ගෙන එමින් පන්දු 12කින් ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වුනේ දැවැන්ත හයේ පහර 3ක් ද සමඟයි. එමෙන් ම Rayudu විසින් පන්දු 17කින් ලකුණු 23ක් ලබා ගනිමින් ඉනිමට සිය දායකත්වය ලබා දුන්න ද, ඔවුන් දෙදෙනා ම ඉනිමේ 17 වැනි පන්දුවාරය නිමා වීමට ප්‍රථම දවා ගැනීමට නැවත ක්‍රියාත්මක වූ දිල්ලිය විසින් සමත් වුනා.

එතැන් පටන් චෙන්නායි ක්‍රිකට් රසිකයින් විසින් පුන පුනා බලා සිටි Ravindra Jadeja සහ MS Dhoni එකතුව විසින් චෙන්නායි ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමේ සටන ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා විසින් පන්දු 18කින් ලකුණු 38ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා.

විශේෂයෙන් ම මෙම තණතීරුව දඟ පන්දුවට යම් සහයක් ලබා දෙමින්, තරමක් සෙමෙන් හැසිරුණු අතර එම නිසා ම චෙන්නායි ඉනිමේ අවසානය වෙනුවෙන් Jadeja-Dhoni යුගලය විසින් ලබා දුන් වේගවත් අවසානය ඉතා ම වටිනා එකක් වුනා. මෙහි දී Jadeja විසින් පන්දු 16කින් ලකුණු 21ක් ලබා ගනිද්දී, නායක Dhoni විසින් පන්දු 9කට පමණක් මුහුණ දෙමින් ලකුණු 20ක් ලබා ගත්තේ හයේ පහර දෙකක් ද සිය ඉනිමට එක් කර ගනිමිනුයි.

එමෙන් ම මෙහි දී Dhoni විසින් දියත් කළ කෙටි ඉනිම Chidambaram ක්‍රීඩාංගණය පුරා අතුරු සිදුරු නැතිව පිරී සිටි චෙන්නායි රසිකයින්ට තවත් එක් සොඳුරු මතකයක් වූ බව එම ඉනිම නැරඹූ ඕනෑම අයෙක් සැකයකින් තොර ව පිළිගනී වී.

ඒ අයුරින් චෙන්නායි ඉනිමේ පන්දුවාර 20ම අවසන් වූ අතර, ඉනිම අවසන් වන විට චෙන්නායි කණ්ඩායම විසින් කඩුලු 8ක් දැවී ලකුණු 167ක් වාර්තා කිරීමට සමත් වුනා. මෙම චෙන්නායි ඉනිම වෙනුවෙන් පිතිකරුවන් 6 දෙනෙකු ලකුණු 20 සීමාව ඉක්මවා ගිය නමුත් ඒ කිසිවකුත් ලකුණු 30 සීමාවට හෝ ළඟා වීමට සමත් වුනේ නැහැ. මෙහි දී චෙන්නායි වෙනුවෙන් වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව Dubeගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 25 වීම විශේෂ සිදුවීමක්.

එමෙන් ම දිල්ලි පන්දු යවන්නන් ද චෙන්නායි පිතිකරුවන් සම්පූර්ණයෙන් ම පාහේ පාලනය කිරීමට සමත් වූ අතර Lalit Yadav විසින් යැවූ තරගයේ 14 වැනි පන්දුවාරයේ දී Dube සහ Rayudu විසින් ලබා ගත් ලකුණු 23 දිල්ලිය අතින් සිදු වූ විශාලතම වරද බව අනුමාන කළ හැකියි.

එම ලකුණු 23 ලබා ගත් පන්දුවාරයෙන් පසුව චෙන්නායි පිතිකරුවන් හසු වී සිටි පීඩනයෙන් යම් පමණකට හෝ මිදීමට සමත් වූ බව පෙනී ගියා.

මෙහි දී දිල්ලිය වෙනුවෙන් තරගාවලිය පුරාවට ම සාර්ථක ම පන්දු යවන්නා වූ Mitchell Marsh විසින් ඊයේ දිනයේ ද සිය වගකීම අකුරට ම ඉටු කරමින් ලකුණු 18කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර, Axar Patel විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව චෙන්නායි විසින් ලබා දුන් ලකුණු 168ක ඉලක්කය හඹා යාමේ අරමුණින් යුතු ව දිල්ලි ආරම්භක පිතිකරුවන් ලෙස David Warner සහ Phil Salt පිටියට පිවිසුනත්, සුපුරුදු පරිදි මෙවරත් දිල්ලියේ ආරම්භය නම් අතිශය අසාර්ථක එකක් වුනා.

දිල්ලි ඉනිමේ මුල් කඩුලු 3ම ලකුණු 25ක් තුල බිඳ දැමීමට චෙන්නයි වේගපන්දු යවන්නන් විසින් සමත් වූ අතර, ඉන්පසුව පිටියේ එක් වූ Rilee Rossouw සහ Manish Pandey විසින් දිල්ලියට ජයග්‍රහණය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ලබා දෙමින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.

මෙහි දී දිල්ලි ඉනිමේ 13 වැනි පන්දුවාරයෙන් සිය පන්දු යැවීම ආරම්භ කළ මතීෂ පතිරණ විසින් යොමු කළ පළමු පන්දුවට ම Pandey විසින් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින්, චෙන්නායි වෙනුවෙන් Dube විසින් කළ දේ දිල්ලිය වෙනුවෙන් තමන් සිදු කිරීමට සූදානම් බවට ඉඟි කළා.

නමුත් මතීෂ විසින් ඉන්පසුව යැවූ පන්දු 4 තුල දී ලකුණු දෙකක් පමණක් ලබා දෙමින් දිල්ලි පිතිකරුවන් දෙදෙනා ව යම් පීඩනයකට හසු කර ගැනීමට සමත් වූ අතර, ඔහු විසින් පැයට කිලෝමීටර 149ක වේගයෙන් Pandeyගේ දෙපා මුලට යැවූ සිය අවසන් පන්දුවෙන් Pandeyව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට සමත් වුනා.

ඒත් සමඟින් දිල්ලිය විසින් බලාපොරොත්තු තබා සිටි ජයග්‍රහණය පිළිබඳ ආශාව අත්හැර ගැනීමට ඔවුන්ට සිදු වූ අතර දිල්ලියේ කොඳු නාරටිය බිඳ දැමීමේ සම්පූර්ණ වගකීම බාර ගත් මතීෂ පතිරණ විසින් සිය පන්දුවාර 4 තුල දී ලකුණු 37ක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් බිඳ වැටුණු දිල්ලිය විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 140ක් පමණයි. මෙහි දී තරගයේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වීමට සමත් වූ Rilee Rossouw විසින් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ හැරුණු කොට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට හෝ සමත් වුනේ දිල්ලි පිතිකරුවන් දෙදෙනෙකු පමණයි.

චෙන්නායි වෙනුවෙන් මතීෂට අමතරව පන්දු යැවීමෙන් සාර්ථක වූ Deepak Chahar විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන් ම මෙම තරගයේ දී මහීෂ් තීක්ෂණ විසින් යොමු කළේ පන්දුවාර 2ක් පමණයි. නමුත් ඔහු එහි දී  කඩුලු දවා ගැනීමට සමත් වුනේ නැහැ.

  • Chennai Super Kings167/8 (20) Shivam Dube 25, Mitchell Marsh 3/18, Axar Patel 2/18
  • Delhi Capitals140/8 (20) Rilee Rossouw 35, Matheesha Pathirana 3/37, Deepak Chahar 2/28

තරගයේ වීරයා ලෙස පිත්තෙන් ලකුණු 21ක් සහ පන්දු යැවීමෙන් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වූ Ravindra Jadeja විසින් සම්මාන දිනා ගත්තා.

ඒ අනුව චෙන්නායි විසින් දිල්ලියට එරෙහිව ලද මෙම ලකුණු 27ක ජයග්‍රහණයෙන් පසුව මෙවර IPL ලකුණු සටහනේ දෙවන ස්ථානයේ (ලකුණු 15) තවදුරටත් රැඳී සිටීමට ඔවුන් සමත් වී ඇති අතර, ලද පරාජයත් සමඟින් දිල්ලිය ලකුණු සටහනේ අවසන් ස්ථානයේ අභියෝගයකින් තොරව ම රැඳී සිටිනවා.

එමෙන් ම මෙම පරාජයත් සමඟින් තරගාවලියේ ඉදිරියට (Play-Off වටය සඳහා) යාමට දිල්ලියට ඇති හැකියාව බොහෝ දුරට අහිමි ව යනු ඇති.

මෙවර IPL තරගාවලියේ 56 වැනි තරගය අද (11) Kolkata Knight Riders සහ Rajasthan Royals කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය ද ඇතුළුව මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<