ICC ආදායමින් 38.5%ක් ඉන්දියාවට!

285

2023-2027 කාලසීමාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආදායමෙන් ඉන්දියාවට ඩොලර් බිලියන 1.15 (ඉන්දියන් රුපියල් බිලියන 9ක්) ආදායමක් උපයා ගැනීමට හැකියාවක් ඇතැයි වාර්තා වෙනවා.

කෙසේ නමුත් මෙය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වූවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එය කාලය පිළිබඳ ගැටලුවක් බවයි. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආදායමෙන් 38.5%ක් හිමි වන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයටයි.

“එය තවමත් යෝජිත ආකෘතියක් වන අතර එයට අනුව කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම, ගෝලීය තරගාවලිවල දක්වන දස්කම් සහ වාණිජ දැන්වීම් ආදියෙන් ලැබෙන ආදායම මත පදනම් වෙනවා. දැනටමත් ඉන්දියාව වාණිජ අංශයෙන් විශාල දායකත්වයක් ලබා දෙනවා,” යැයි ඉන්දීය ක්‍රිකට්‍ බලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඉන්දියාවට පසු වැඩිම ආදායම එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමි වෙන (ඩොලර් මිලියන 41.33) අතර ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයට ඩොලර් මිලියන 37.53ක් සහ පාකිස්තානයට ඩොලර් මිලියන 34.51ක් හිමි වෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය වසර පහක කාලය තුළ ඩොලර් මිලියන 405ක ආදායමක් ඉපයීමට සමත් වුනා. පසුගිය කාලසීමාව තුළ ද වැඩිම ආදායම් කොටස ඉන්දියාවට හිමි වූ අතර ආදායම් ප්‍රතිශතයෙන් 7.8%ක් එංගලන්තයට සහ 7.2%ක කොටසක් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය හිමි වීම විශේෂත්වයක්.

ඉන්දීය ක්‍රිකට් ලේකම් Jay Shah ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය තවත් වැඩි වූ අතර ඔවුන්ට එම නිසා සිය ආදායම දෙගුණ කර ගැනීමට හැකිව තිබෙනවා.

“පසුගිය කාලසීමාවේ ඉන්දියාවට බලවත් කෙනෙක් හිටියේ නැහැ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරන්න. ඒත් දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා,” යැයි ඉන්දීය ක්‍රිකට් බලධාරියා ප්‍රකාශ කර තිබුණා.

නව ආකෘතියෙන් සම්පූර්ණ සාමාජිකයන් නොවන කණ්ඩායම් සඳහා පසුගිය කාලසීමාවේ හිමි වූ 14%ක කොටස 11%ක් දක්වා අඩුව තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<