“දුක වැඩි කමට හිස මුඩු කළා” – Suyash Sharma

IPL 2023

577
Suyash Sharma

මෙවර IPL තරගාවලියේ Kolkata Knight Riders කණ්ඩායම නියෝජනය කරමින් පන්දුවෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වීමට නවක ක්‍රීඩක Suyash Sharma විසින් සමත් වී තිබෙනවා.

තවමත් 19 හැවිරිදි වියේ පසු වන Suyash විසින් මෙතෙක් තරගාවලියේ ක්‍රීඩා කළ තරග 9 තුළ දී කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වී ඇති අතර, ඔහුගේ පන්දුවාරයකට ලකුණු ලබා දීමේ අගය 8 සීමාවේ රැඳී තිබෙනවා.

ඊයේ දිනයේ Rajasthan Royals සමඟ පැවැත්වුණු තරගයේ දී ද Yashasvi Jaiswal විසින් කොල්කටා පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන්නත්, Suyash විසින් තමන් යැවූ පන්දුවාර තුන තුල දී ලකුණු 22ක් පමණක් ලබා දෙමින් සිය ජාමය බේරා ගැනීමට සමත් වුනා.

මෙවර තරගාවලියේ දී කොල්කටාව විසින් සිදු කළ හොඳම සොයා ගැනීම ලෙස තවමත් ජාතික වරම් පවා නොලද මෙම ක්‍රීඩකයාව හඳුන්වා දිය හැකි අතර, ඔහු පසුගිය අප්‍රේල් 6 වැනිදා Royal Challengers Bangalore කණ්ඩායමට සමඟ සිය ප්‍රථම IPL තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කර ගත්තා.

නමුත් විශේෂතම කරුණ වන්නේ IPL වරම් දිනා ගැනීමට ප්‍රථම එකඳු පළමු පෙළ තරගයකට හෝ ඔහු ක්‍රීඩා කර නොතිබීමයි. එමෙන් ම පසුගිය වසරේ වයස අවුරුදු 19න් පහළ ඉන්දීය සංචිතයට තමන් ව තෝරා නොගැනීම නිසා තමන් බොහෝ වෙලා කඳුළු සැලූ බවත්, ඒ දුක නිසාම සිය හිස පවා මුඩු කළ බවත් Suyash විසින් පවසා තිබුණා.

“ගිය අවුරුද්දේ (2022) මම 19න් පහළ සංචිතයේ තෝරා ගැනීම් වලට සම්බන්ධ වුනා. නමුත් මම ඒකට තේරුණේ නැහැ. එදා රෑ 12.30 – 1.00ත් අතර වගේ තමයි ඔවුන් ලැයිස්තුව දාලා තිබුණේ, නමුත් මම නිදාගෙනයි හිටියේ. මම උදේ 3ට විතර ඇහැරිලා පැය දෙකක් පමණ ඇඬුවා.

ඔවුන් පසුව මට කිව්වා මම පන්දු යවන ආකාරය බලන්න අවශ්‍යයි කියලා. මම ඔවුන් හමුවට ගියා, නමුත් ඔවුන් කිව්වේ සෑහීමකට පත් වෙන්න බැරි වුනා කියලා. මම ආයෙත් අඬන්න ගත්තා, ගෙදර ඇවිත් හිස බූ ගෑවා. මම ගොඩක් කලකිරිලා හිටියේ. ඒ තරම් හොඳින් කරද්දිත්, මට එහෙම වෙන්නේ ඇයි කියලා විශ්වාස කරන්න බැරි වුනා.”

සිය බලාපොරොත්තු බිඳී ගිය ආකාරය පිළිබඳ Suyash ඒ ආකාරයෙන් විස්තර කළා.

නමුත් පමා වී හෝ Suyashට සිය දස්කම් පෙන්වීමට අවස්ථාවක් IPL තරගාවලිය නිසා හිමි වූ අතර ඔහු ඉන් උපරිම ප්‍රයෝජනය ලබා ගත්තේ තමන්ට හිමි වූ පළමු තරගයේ දී ම බැංගලෝරයේ කඩුලු 3ක් දවා ගනිමිනුයි. ඔහුගේ මෙම දක්ෂතාව කොල්කාටාවට විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන ඒමට පවා ඉවහල් වූ අතර, එතැන් පටන් ඔහු කොල්කටා කණ්ඩායමේ නිත්‍ය තෝරා ගැනීමක් බවට පත් වී තිබෙනවා.

“ඔවුන් යම් දිනක මට කතා කරා වී කියන බලාපොරොත්තුවෙන් මම මගේ දක්ෂතා වෙනුවෙන් කැප වී වැඩ කළා. කොණ්ඩයත් නැවත වැවෙන්න පටන් ගත්තා, ඒ වගේ ම මගේ දක්ෂතාත් දිනෙන් දින ම දියුණු වුනා. දිගටම වැවුණු කොණ්ඩා විලාසිතාවත් මට ගැළපෙන එකක් බව සිතුණු නිසා මම ඒකට ඒ විදිහට ම වැවෙන්න ඉඩ දුන්නා.”

Suyashගේ දක්ෂතා නිසා මෙන් ම දිගු කොණ්ඩා විලාසිතාව නිසා ද මේ වන විට ඔහු වටා යම් රසික පිරිසක් නිර්මාණය වෙමින් පවතිනවා. එමෙන් ම ඉදිරි IPL තරගවල දී ද Suyash විසින් සිය පා දඟපන්දුවෙන් ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරතැයි බලාපොරොත්තු විය හැකියි.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<