2021 එංගලන්ත තරග කාලසටහනේ ශ්‍රී ලංකාවටත් ඉඩක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

573
Sri Lanka to tour England

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් 2021 වසර සඳහා ඔවුන් සැලසුම් කර තිබෙන ක්‍රිකට් තරගාවලි ලැයිස්තුව ප්‍රකාශයට පත් කළ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක එක්දින ශූර එංගලන්තය සමඟ එක්දින තරග තුනක් වෙන් කර ඇත.

2020–22 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ තරගාවලියක් (ICC Cricket World Cup Super League) වන මෙම තරගාවලිය සඳහා ලකුණු 30ක් වෙන් වෙන අතර එක් තරග ජයග්‍රහණයක් සඳහා ලකුණු 10 බැගින් වෙන් වේ.

එසේම මෙම තරග සංචාරය අතරතුර විස්සයි විස්ස තරගාවලියක් ද පැවැත්වීම වෙනුවෙන් දෙරටේ ක්‍රිකට් ආයතන සැලසුම් කරමින් තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සංචාරය අවසන් වූ වහාම තවත් ආසියානු කණ්ඩායම් දෙකක් වන පාකිස්තානය සහ ඉන්දියාව ද එංගලන්තය බලා සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2021

  • ජුනි 29 –  පළමු එක්දින තරගය – Emirates Riverside, Durham
  • ජූලි 1 – දෙවන එක්දින තරගය – Kia Oval
  • ජූලි 4  – තෙවැනි එක්දින තරගය – Bristol County Ground

ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන වසරේ ජුනි සහ ජූලි මාස තුල දැඩි ලෙස කාර්යබහුල වීමට සිදු වන්නේ එංගලන්ත සංචාරයට අමතරව ඉන්දියාව සමඟ තරගාවලියක් (එක්දින තරග 3, විස්සයි විස්ස තරග 5) සහ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන නිසාවෙනි. 

ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලිය සහ කණ්ඩායම් 6ක් (Sri Lanka, India, Pakistan, Bangladesh, Afghanistan, 1 Qualifier) සහභාගී වන ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා දැනට සැලසුම් කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්: 

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති කොදෙව් තරගාවලියට පසුව කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී වී නොමැත. කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ දී එංගලන්තය සමඟත්, ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟත් (එක්දින සහ විස්සයි විස්ස), ජූලි මාසයේ දී බංග්ලාදේශය සමඟත් තරග වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණු නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලි සියල්ල කල් දමන ලදි.

ඒ අනුව දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගී වෙමින් ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන්නේ මාස 10කට ආසන්න දිගු විරාමයකට පසුව වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි මාස කිහිපය ඉතාමත් කාර්ය බහුල වන්නේ ඉදිරියේ දී ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි තුනක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරග වදින නිසයි.

ඒ අතර තිබෙන තරගාවලි වන්නේ,

  • ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL): 2020 නොවැම්බර් 26 – දෙසැම්බර් 16
  • ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය: 2020 දෙසැම්බර් 26 – 2021 ජනවාරි 7
  • එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය: 2021 ජනවාරි 14 – ජනවාරි 27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<