Rossouwගේ ගිනිකෙළි නිසා පංජාබයටත් ඉදිරි වටය අහිමි වන ලකුණු!

506

2023 Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ Play-offs වටයට පිවිසීමට තිබූ අවස්ථා මේ වන විට Punjab Kings කණ්ඩායමෙන් සෑහෙන දුරකට ගිලිහී ගොස් තිබෙනවා.

ඒ වේලාසනින්ම තරගාවලියෙන් ඉවත් වී සිටි Delhi Capitals ලබා දුන් ලකුණු 214ක දැවැන්ත ඉලක්කය හඹා යාමට නොහැකි වීම නිසයි.

ඊයේ තරගය පැවැත්වුනේ ඉන්දියාවේ ඇති මනස්කාන්තම ක්‍රීඩා පිටියක් වන ධරම්සාලා හිදීයි. කාර්යබහුල පරිසරයෙන් මිදී ගම්බද ප්‍රදේශයක වඩාත් උස්ව පිහිටා ඇති එය ක්‍රිකට් රසිකයෙකුගේ නෙත සිත නිරායාසයෙන්ම පැහැර ගන්නට සමත් වෙනවා. ඊයේ තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට Shikhar Dhawan සමත් වූ අතර ඔහු Delhi Capitals කණ්ඩායමට මුලින් පන්දුවට පහර දීමට යෝජනා කළා.

ඊයේ දිනයේත් ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ Punjab කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 දෙනාට ඇතුළත්ව තිබුණේ නැහැ. භානුක මෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වීමට අපොහොසත් වූ Sikandar Razaත් ඊයේ කණ්ඩායමෙන් ඉවත් කර තිබූ අතර ඒ වෙනුවට දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන්නෙකු වන Kagiso Rabada කැඳවා තිබුණා.

ඊයේ දිනයේ සුපිරි ආරම්භයක් ලබා ගත් David Warner සහ Prithvi Shaw පළමු කඩුල්ලටම ලකුණු 94ක් එක් කරන්නට සමත් වුනා. සුපුරුදු පරිදි තම පිත්තෙන් ගලා එන ලකුණු ප්‍රමාණයෙන් Delhi ඉනිම පෝෂණය කළ නායක David Warner ලකුණු 46ක් රැස් කළා. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟයි. ඔහුට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ Prithvi Shaw අර්ධ ශතකය පසුකර ගියේ පන්දු 38කින් ලකුණු 54ක් ලබා ගනිමින්.

Shawගේ ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. ආරම්භක පිතිකරුවන් දෙදෙනා කොතරම් හොඳ ඉනිම් ක්‍රීඩා කළත්, ඉනිමේ අවසන් පන්දුවාර 10 තුල දී පිටියට පිවිසි Heinrich Klaasen දිල්ලියේ දෛවය වෙනස් කළ පිතිකරුවායි. ඔහු තමන්ට ලැබුණු පන්දු 37 උපරිමයෙන්ම භාවිතා කරමින් නොදැවී ලකුණු 82ක් ලබා ගත්තා. ඒ හතරේ පහර සහ හයේ පහර දුසිම් භාගය බැගින් එල්ල කරමින්.

මේ නිසාම දිල්ලියට මුළු ලකුණු 213ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට හැකි වුනා. එසේ නොවන්නට එතරම් දිගු හතරේ සීමා නොමැති ධරම්සාලා පිටියේ Delhi Capitals කණ්ඩායමට ජයග්‍රහණයක් ලබා ගැනීම සිහිනයක් වන්නට තිබුණා. අලුතින් කණ්ඩායමට කැඳවීම් ලද Kagiso Rabada ඇතුළු සියලු පන්දු යවන්නන් අසාර්ථක වෙද්දී Sam Curran දිල්ලි ඉනිමේ බිඳ වැටුණු කඩුලු 2ටම හිමිකම් කිව්වා.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ කළ Punjab Kings කණ්ඩායමේ පළමු පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් ලෙස අවසන් කරන්නට Khaleel Ahmedට හැකි වුනා. ගොඩ නැගුණු පීඩනය හමුවේ වාසි ගත් අනෙක් අන්තයෙන් පන්දු යැවූ Ishant Sharma පංජාබ් නායක Shikhar Dhawanව පළමු පන්දුවෙන්ම පිටියෙන් ඉවත් කරන්නට සමත් වුනා.

එතැන් පටන් දෙවැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවයක් ගොඩ නැගෙන්නේ Prabshimran Singh සහ Atharva Taide අතරයි. තවමත් 23 හැවිරිදි වියේ පසුවන Atharva Taide සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 42කින් ලකුණු 55ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟයි. Prabshimran Singh ලකුණු 22කට දැවී ගියා. පන්දුවාර 16.3ක් අවසානයේ පංජාබ් ඉනිම ලකුණු 147ක් ලෙස සටහන් වෙද්දී පස්වැනි පිතිකරුවාත් දැවී ගිය නිසා බොහෝ දෙනා සිතුවේ තරගය වේලාසනින්ම අවසන් වනු ඇති බවයි.

නමුත් එක් අන්තයක නොසැලී රැඳී සිටිමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ Liam Livingston පන්දු 48කින් ලකුණු 94ක් ලබා ගැනීම නිසා පංජාබය ජයග්‍රහණය පෙනෙන මානයටම ගමන් කළා. කෙසේ නමුත් අවසන් පන්දුවාරයට ලකුණු 33ක් අවශ්‍ය කෙරූ අතර එය සපුරා ගන්නට Liam Livingston සමත් වුනේ නැහැ. අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට Livingston දැවී යන විට ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහර 9ක් එල්ල කර තිබුණා.

මේ අනුව Delhi Capitals තරගය ජය ගත්තේ ලකුණු 15කිනුයි. සාර්ථක පන්දු යැවීමක යෙදුණු Ishant Sharma සහ Anrich Nortje කඩුලු 2 බැගින් දවා ගත්තා. තරගයේ වීරයා සම්මානය විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Rilee Rossouwට හිමි වුනා. මේ අනුව Punjab Kings කණ්ඩායමට ආශ්චර්යකින් මිස ඉදිරි වටයට යාමේ අවස්ථාවක් ඉතිරි වී නැහැ.

Delhi Capitals – කඩුලු 2ක් දැවී ලකුණු 213 (පන්දුවාර 20): Rilee Rossouw 82*, Prithvi Shaw 54, David Warner 46, Philip Salt 26*, Sam Curran 2/36.

Punjab Kings – කඩුලු 8ක් දැවී ලකුණු 198 (පන්දුවාර 20): Liam Livingston 94, Atharva Taide 55, Prabshimran Singh 22, Sam Curran 11, Ishant Sharma 2/36, Anrich Nortje 2/36, Khaleel Ahmed 1/20.

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ Sunrisers Hyderabad සහ Royal Challengers Bangalore කණ්ඩායම් දෙක අතර තරගය අද (18) රාත්‍රී 7.30ට හයිද්‍රාබාද් හිදී ක්‍රියාත්මක වෙනවා.

මෙම තරගය Bangalore කණ්ඩායමට අතිශයින්ම වැදගත් වන්නේ ඉදිරි වටයට පිවිසීමට නම් ඔවුන් මෙම තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතු නිසයි. එහි සජීවී දර්ශන ඔබට ThePapare.com තුලින් නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<