වනිඳුගෙන් ගැලවුණු සෝල්ට් දිල්ලිය ලකුණු සටහනේ පතුලෙන් ඉහළට ඔසවයි

3613
Credit : BCCI

මෙවර Indian Premiere League තරගාවලියේ පරාජයන් රැසකට උරුමකම් කියමින් ලකුණු සටහනේ පතුලටම ඇද වැටී සිටි Delhi Capitals ඉන් ගලවා ගැනීමට ඊයේ (06) Philip Salt ක්‍රියාත්මක කළ විශිෂ්ට ඉනිමට හැකි වුනා.

දිල්ලියේ Arun Jaitley ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය ජය ගත් Faf Du Plessis මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගත්තා. ඒ අනුව ඔවුන් පළමු කඩුල්ලට ලකුණු 82ක් එකතු කරන්නේ දිල්ලියට තවත් අමිහිරි තරගයක පෙරනිමිති පහළ කරමින්.

නමුත් මෙම නව පන්නයේ විස්සයි විස්ස තරගවල ලකුණු ලබා ගැනීමෙන් නොසෑහී සුපිරි ලකුණු වේගයක් රඳවා ගැනීමේ අවශ්‍යතාවය ඊයේ Royal Challengers Bangalore කණ්ඩායමට මග හැරුණා. ඉනිම ඇරඹූ Virat Kohli පන්දු 46කින් ලකුණු 55ක් ලබා ගැනීම අතීතයේ සුපිරි ඉනිමක් ලෙස සැලකුව ද දැන් දැන් එවන් ඉනිම් හැඳින්වෙන්නේ ආත්මාර්ථය පදනම් කර ගත් ඉනිම් ලෙසයි.

සාපේක්ෂව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Faf Du Plessis පන්දු 32කින් ලකුණු 45ක් රැස්කළේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟයි. 11 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Mitchell Marsh මෙම සබඳතාවය නිමා කරන්නේ Bangalore නායකයාව ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි. එතකින් නොනැවතුනු ඔහු ඊලඟ පන්දුවේ දී ම අභිනව පිතිකරු Glenn Maxwell දවා ගැනීමටත් සමත් වුනා.

මේ නිසා ඔවුන්ට පසුවට ලකුණු වේගය වර්ධනය කර ගැනීම ද සෑහෙන දුරකට අපහසු වුනා. ඒ සාමාන්‍යයෙන් Maxwell යනු ප්‍රහාරයටම හුරුවූ පිතිකරුවෙක් වන නිසයි. කෙසේ නමුත් මෙම තණතිල්ලේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් විශාල ලකුණක් අවශ්‍ය බව ඉවෙන් මෙන් වටහා ගත් 23 හැවිරිදි යොවුන් පිතිකරු Mahipal Lomror තමන්ට ලැබුණු අවස්ථාවල දී ලකුණු වේගය ඉහළ දැමීමට කටයුතු කළා.

පන්දු 29කට මුහුණ දුන් ඔහු එහි දී ලකුණු 54ක් නොදැවී ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහර ත්‍රිත්වයක් එල්ල කරමින්. මේ අනුව Royal Challengers Bangalore කණ්ඩායමට තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 181ක් ලබා ගැනීමට හැකි වුනා. ඔවුන් David Willey වෙනුවට කණ්ඩායමට ආදේශ කර ගත් Kedar Jadhavට ඊයේ පන්දුවට පහර දීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඉක්මන් කඩුලු කිහිපයක් ලබාගෙන මෙම ලකුණ ආරක්ෂා කිරීමේ අදහසින් පිටියට පිවිසි RCB කණ්ඩායමට එම සැලසුම් ක්‍රියාත්මක කරන්නට දිල්ලිය ඉඩ ලබා දුන්නේ නැහැ. තමන්ව මෙල්ල කිරීමට එවන සතුරාට හිතේ හැටියට පහර දුන් ඔවුන් පළමු කඩුල්ලටම ලකුණු 60ක් එකතු කළා. ඒ පන්දුවාරයකට ලකුණු 12ක පමණ වේගයක් ද රඳවා ගනිමින්.

Mohommed Siraj ක්‍රියාත්මක කළ 5 වැනි පන්දුවාරයට Delhi Capitals ලකුණු 19ක් උදුරා ගැනීමට සමත් වූ අතර එහි දී ඔහු Philip Salt සමඟ වචන හුවමාරුවකට ද පැටලුණා. ඉන් අනතුරුව David Warner දැවී ගියේ පන්දු 14කින් ලකුණු 22ක් ලබා ගැනීමෙන් පසුවයි. නැවතත් දෙවැනි කඩුල්ලට ඒ හා සමානම සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට Salt දායක වන්නේ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Mitchell Marsh සමඟ එක්වෙමින්.

තම කණ්ඩායම් සගයාගේ අඩිපාරේ ගිය Marsh ඊයේ පන්දු අපතේ හැරීමකින් තොරවම ලකුණු 26ක් ලබා ගත්තා. මේ අතරේ තරග දිනවන විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Philip Salt 16 වැනි පන්දුවාරය දක්වාම කඩුල්ලේ රැඳී සිටීමෙන් පසු පිටිය හැර ගියේ තම කණ්ඩායමට පහසු ජයක් සඳහා අවශ්‍ය මාවත එලිපෙහෙළි කිරීමෙන් අනතුරුවයි.

පන්දු 45කට මුහුණ දුන් ඔහු එහි දී ලකුණු 87ක් ලබා ගන්නේ හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් එල්ල කරමිනුයි. දකුණු අප්‍රිකානු සුපිරි ප්‍රහාරකයෙකු වන Rilee Rossouw පන්දු 22කින් නොදැවී ලකුණු 35ක් ලබා ගනිමින් දිල්ලිය ජයග්‍රහණය කරා ගෙන ගියා. ඒ පන්දුවාර 16.4ක් පමණක් වැය කරමින්. Delhi පිතිකරුවන් සියලු දෙනාම 150කට වැඩි ප්‍රහාරක වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දීම මෙම සුපිරි හඹා යාමේ රහස වුනා.

Royal Challengers පන්දු යවන්නන් සියලු දෙනාම දරුණු ප්‍රහාරයකට ලක් වෙද්දී අඩුම ලකුණු ලබා දීමේ වේගයක් පෙන්නුම් කළේ ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන්නා වන වනිඳු හසරංගයි. ඔහු ලකුණු 32කට තම පන්දුවාර 4 නිමා කළා. වනිඳු තම පළමු පන්දුවාරයේ දී ම Philip Salt දවා ගැනීමට උදාකර දුන් අවස්ථාවක් කඩුලු රකින Dinesh Karthik බිම අත හැරීම අවසානයේ සමස්ථ කණ්ඩායමටම දැවැන්ත පාඩුවක් ගෙන ආවා.

Royal Challengers Bangalore – කඩුලු 4ක් දැවී ලකුණු 181 (පන්දුවාර 20): Virat Kohli 55, Mahipal Lomror 54*, Du Plessis 45, Dinesh Karthik 11, Mitchell Marsh 2/21, Mukesh Kumar 1/30.

Delhi Capitals – කඩුලු 3ක් දැවී ලකුණු 187 (පන්දුවාර 16.4): Philip Salt 87, Rilee Rossouw 35, Mitchell Marsh 26, David Warner 22, Josh Hazlewood 1/29, Harshal Patel 1/32, Karn Sharma 1/33.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත පිතිකරු Philip Salt සමත් වුනා. Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ අද (07) තරග දෙකක් ක්‍රියාත්මක වන අතර Gujarat Titans සහ Lucknow Super Giants අතර තරගය සවස 3.30ටත්, Rajastan Royals සහ Sunrisers Hyderabad අතර තරගය රාත්‍රී 7.30ටත් ඇරඹීමට නියමිතයි. එහි සජීවී රූප රාමුවල උණුසුම විඳගන්න රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<