Home Sinhala නොකඩවා තරග 4ක් ජයගනිමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

නොකඩවා තරග 4ක් ජයගනිමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

487
Photo by Pankaj Nangia / Creimas for Asian Cricket Council

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ අවසන් තරගය අද (9) පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඩුබායි හිදී පැවැත්වුනා. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ දක්ෂතාවයන් සහ පැතුම් නිස්සංක ලබාගත් සටන්කාමී අර්ධ ශතකය නිසාවෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබාගෙන සුපිරි වටය අපරාජිතව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු රැකීමට තීරණය කළා.

මේ තරගයට අවතීර්ණ වන විටත්, මේ කණ්ඩායම් දෙකම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන තිබූ නිසා ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනා. ඒ අනුව ඉන්දියාවට එරෙහිව පැවති තරගයට ක්‍රීඩා කළ චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු වෙනුවට ධනංජය ද සිල්වා සහ ප්‍රමෝද් මදුශාන් කණ්ඩායමට කැඳවා තිබුනා. මෙය ප්‍රමෝද් මදුශාන්ගේ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයයි.

එසේම පාකිස්තානය Naseem Shah සහ Shadab Khan යන ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවට Usman Qadir සහ Hasan Ali මේ තරගය සඳහා කණ්ඩායමට කැඳවා තිබුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Mendis (w), Dhananjaya de Silva, Danushka Gunathilaka, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Pramod Madushan, Maheesh Theekshana, Dilshan Madushanka
  • පාකිස්තානය – Mohammad Rizwan (w), Babar Azam (c), Fakhar Zaman, Iftikhar Ahmed, Khushdil Shah, Asif Ali, Mohammad Nawaz, Hasan Ali , Haris Rauf, Usman Qadir, Mohammad Hasnain

Powerplay අවස්ථාව තුලදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථක ප්‍රහාරයක් දියත් කරමින් පාකිස්තානු මුල් පෙළ පිතිකරුවන් හොඳ ආරම්භයක් ඔවුන්ට ලබාදුන්නා. එහිදී පළමු පන්දුවාරය 6 තුල කඩුල්ලක් පමණක් දැවී ලකුණු 49ක් ලබාගැනීමට පාකිස්තානය සමත් වුනා.

කෙසේ නමුත් Powerplay අවස්ථාව අවසන් වූ වහාම පන්දු යැවීමට පිටියට පැමිණි වනිඳු හසරංග නැවතත් සිය සුපුරුදු පන්දු යැවීමේ දස්කම් අතරට පැමිණීම නිසාවෙන් පාකිස්තානු මුල් පිතිකරුවන් ඉතාමත් දැඩි අසීරුතාවයකට මුහුණ දුන්නා. එසේම සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ මදුශාන් ද ඉතාමත් හොඳින් සිය පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කළ අතර එහිදී කඩුලු 2ක් දවාගැනීමට ඔහු සමත් වුනා.

පාකිස්තානු මුල් පෙළ පිතිකරුවන් අතරින් තරමක හෝ සාර්ථකත්වයක් ලබාගත් නායක Azam පන්දු 29ක් තුල ලකුණු 30ක් ලබාගත් අතර ඔවුන්ගේ අනෙක් පිතිකරුවන් එක පෙළට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. කෙසේ නමුත් අංක 6 පිතිකරු ලෙස ක්‍රීඩා කළ Nawaz පන්දු 18ක් තුල ලබාගත් ලකුණු 26 නිසාවෙන් පාකිස්තානයට අවසන් පන්දුවාර කිහිපය තුල යම් ලකුණු ප්‍රමාණයක් ලබාගන්නට හැකිවුනා.

අවසානයේ දී පන්දුවාර 19කුත් පන්දුවක් තුල පාකිස්තානු ඉනිම ලකුණු 121කට සීමා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුනා. එහිදී වනිඳු ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර මීළඟ තරගයේ පළමු පන්දුවෙන්ම ඔහුට කඩුල්ලක් දවාගැනීමට හැකියාව ලැබුනහොත් කඩුලු ත්‍රිත්වයක් (මේ තරගයේ වනිඳු අවසන් පන්දු 2ක තුල කඩුලු 2ක් දවාගත්තා) ලබාගැනීමට ඔහුට හැකියාව තිබෙනවා.

එසේම වනිදු හට හොඳ සහයෝගයක් ලබාදුන් මහීෂ්, මදුශාන් කඩුලු 2ක බැගින් දවාගන්නා විට, දකුණතින් පිට දඟපන්දු යවන ධනංජය ද එක් කඩුල්ලක් දවාගත්තා.

නිමා වුනු තරග කිහිපය පුරාවටම තරගකාරී ලකුණු ප්‍රමාණයන් සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකාව ලකුණු 122ක ඉලක්කය පහසුවෙන් හඹා යාමේ අරමුණ අතැතිව පිටියට පිවිසි නමුත්, පාකිස්තානු වේගපන්දු යවන්නන්ගේ වැඩි වේගය හමුවේ ශ්‍රී ලංකා මුල් පෙළ සුන්ව ගියා.

Hasnain සහ Rauf ශ්‍රී ලංකා පළමු කඩුලු 2ක ලෙස මෙන්ඩිස් සහ ගුණතිලක ලකුණු ලබාගැනීමටත් පෙර ක්‍රීඩාගාරයට හරවා දැමුවා. ධනංජය ද සිල්වා ලකුණු 9යි.

ලකුණු 29කට කඩුලු 3ක් බිඳ වැටී තිබුණු මොහොතේ නිස්සංක සමඟ පිටියේ එක්වූ රාජපක්ෂ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39ක් තුල ලකුණු 51ක සබඳතාවයක් ගොඩනංවමින්, ශ්‍රී ලංකා මැදපෙළට යම් ස්ථාවරත්වයක් එක් කළා. එම සබඳතාවය බිඳ දමමින් පන්දු 19ක් තුල ලකුණු 24ක් ලබාගෙන සිටි රාජපක්ෂ පා දඟපන්දු යවන ක්‍රීඩක Qadirගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

කෙසේ නමුත් ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ නිස්සංක සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබාගත් 7 වැනි සටන්කාමී අර්ධ ශතකය නිසාවෙන් අවසානයේ දී පන්දුවාර 17ක් තුල එම ලකුණු 122 ඉලක්කය හඹා ගොස් තරගය පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුනා. ඉනිම පුරාවට කඩුල්ලේ රැඳී සිටි නිස්සංක පන්දු 48කදී නොදැවී ලකුණු 55*ක් ලබාගත් අතර ඔහුගේ ඉනිම 4 පහර 5කින් සහ එක් 6 පහරකින් වර්ණවත් වුනා.

අවසානයේ දී ශ්‍රී ලංකා මැදපෙළ තවදුරටත් සවිමත් කළ නායක ශානක පන්දු 16කදී ලකුණු 21ක් ලබාගෙන දස්කම් දැක්වූ අතර වනිඳු පන්දු 3කදී නොදැවී ලකුණු 10*ක් ලබාගෙන නිස්සංක සමඟ ශ්‍රී ලංකා ජය තහවුරු කළා. පන්දු යැවීමේ දී Hasnain සහ  Rauf යන පාකිස්තානු ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා කඩුලු 2ක බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

  • තරගයේ වීරයා – වනිඳු හසරංග

Result


Sri Lanka
124/5 (17)

Pakistan
121/10 (19.1)

Batsmen R B 4s 6s SR
Mohammad Rizwan c Kusal Mendis b pramod madushan 14 14 0 0 100.00
Babar Azam b Wanidu Hasaranga 30 29 2 0 103.45
Fakhar Zaman c Dhananjaya de Silva b Chamika Karunaratne 13 18 1 0 72.22
Iftikhar Ahmed c Dhananjaya de Silva b Wanidu Hasaranga 13 17 0 1 76.47
Khushdil Shah c Pathum Nissanka b Dhananjaya de Silva 4 8 0 0 50.00
Mohammad Nawaz run out (Kusal Mendis) 26 18 1 1 144.44
Asif Ali c Dhananjaya de Silva b Wanidu Hasaranga 0 1 0 0 0.00
Hasan Ali c Wanidu Hasaranga b Maheesh Theekshana 0 4 0 0 0.00
Usman Qadir c Maheesh Theekshana b Pathum Nissanka 3 6 0 0 50.00
Haris Rauf c Dhananjaya de Silva b pramod madushan 1 2 0 0 50.00
Mohammad Hasnain not out 0 1 0 0 0.00


Extras 17 (b 0 , lb 1 , nb 1, w 15, pen 0)
Total 121/10 (19.1 Overs, RR: 6.31)
Bowling O M R W Econ
Dilshan Madushanka 4 0 35 0 8.75
Maheesh Theekshana 4 0 21 2 5.25
pramod madushan 2.1 0 21 2 10.00
Dhananjaya de Silva 4 0 18 1 4.50
Wanidu Hasaranga 4 0 21 3 5.25
Chamika Karunaratne 1 0 4 1 4.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 55 48 5 1 114.58
Kusal Mendis c Iftikhar Ahmed b Mohammad Hasnain 0 1 0 0 0.00
Dhanushka Gunathilake c Mohammad Rizwan b Haris Rauf 0 4 0 0 0.00
Dhananjaya de Silva c Babar Azam b Haris Rauf 9 12 1 0 75.00
Bhanuka Rajapaksa c Haris Rauf b Usman Qadir 24 19 0 2 126.32
Dasun Shanaka c Hasan Ali b Mohammad Hasnain 21 16 1 1 131.25
Wanidu Hasaranga not out 10 3 2 0 333.33


Extras 5 (b 0 , lb 4 , nb 1, w 0, pen 0)
Total 124/5 (17 Overs, RR: 7.29)
Bowling O M R W Econ
Mohammad Hasnain 3 0 21 2 7.00
Haris Rauf 3 0 19 2 6.33
Hasan Ali 3 0 25 0 8.33
Mohammad Nawaz 4 0 21 0 5.25
Usman Qadir 4 0 33 1 8.25



ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 11 වැනි ඉරිදා ඩුබායි හිදී පැවැත්වෙනවා. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<