ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග 59ක පැටිකිරිය

Sri Lanka tour of Pakistan 2026

1

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 9 වැනිදා සිට පාකිස්තානයේ දී ආරම්භ වීමට නියමිතයි. මෙම තරග ද්විත්වය ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් වේ.  

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේ දී ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ 2019 වසරට පසුවයි. 

තරග කාලසටහන 

  1. වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය : නොවැම්බර් 9 වැනිදා සිට 13 වැනිදා දක්වා Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  
  2. වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය : නොවැම්බර් 17 වැනිදා සිට 21 වැනිදා දක්වා Lahore හී Gaddafi ක්‍රීඩාංගණයේ දී.  

වසර 44ක ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග ඉතිහාසයේ දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා ටෙස්ට් තරග 59ක දී මෙතෙක් එකිනෙකා හමුව තිබෙනවා. එහි දී පාකිස්තානය තමන්ගේ රටේ දී තරග 9ක්, ශ්‍රී ලංකාවේ දී තරග 11ක් ද සහ මධ්‍යස්ථ රටවල දී තරග 3ක් ලෙසින් තරග 23ක් ජයග්‍රහණය කර තිබෙන අතර ශ්‍රී ලංකාව තමන්ගේ රටේ දී තරග 8ක්, පාකිස්තානයේ දී තරග 6ක් සහ මධ්‍යස්ථ රටවල දී තරග 3ක් ලෙසින් තරග 17ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඉතිරි තරග 19 අවසන් ව ඇත්තේ නොවිසඳුණ තරග ලෙසයි.  

දෙරට ක්‍රීඩකයෝ මෙවර එකිනෙකා හමුවෙන්නේ 2023 වසරට පසුවයි. ඔවුන් අවසන් වරට මෙරට දී හමු වූ එම වසරේ දී තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියකට මුහුණ දෙන අතර ඉන් තරග 2-0ක ජයග්‍රහණයක් සංචාරක පාකිස්තාන ක්‍රීඩකයෝ සතු කර ගැනීමට සමත් වෙනවා.   

ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහි ව අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කරගෙන ඇත්තේ 2022 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගාවලියේදීයි.  

දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් 

765/6d : දෙරට ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණුලාභී කණ්ඩායම බවට පත් වෙන්නේ පාකිස්තානයයි. ඔවුන් 2009 වසරේ දී Karachi නුවර National ක්‍රීඩාංගණයේ දී මෙම දක්ෂතාව සිදු කරනවා.  

  • එය ශ්‍රී ලංකාවට එරෙහි ව ටෙස්ට් තරගයක දී කණ්ඩායමක් විසින් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

644/7 : ශ්‍රී ලංකාව, පාකිස්තානයට එරෙහි ව ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ ද ඉහත තරගයේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාවයි.  

71 : මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී 1994 වසරේ අගෝස්තුවේ දී පැවැති තරගයේ දී දෙරට ඉතිහාසයේ කණ්ඩායම් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙනවා.  එහි හිමිකරුවන් බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාවයි.  

එය ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි ස්ථානයට පත් ඉනිමයි.  

90/10 : පාකිස්තාන කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙන්නේ 2009 වසරේ දී කොළඹ පී. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී යි.  

1553 : දෙරට ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ එම තරගයේ දී ම එක් කළ මෙම ලකුණු සංඛ්‍යාවයි.  

එම තරගයේ දී ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 644ක් ද සහ 2 වැනි ඉනිමේ දී කඩුලු 5ක් දැවී ලකුණු 144ක් ද, පාකිස්තානය පළමු ඉනිමේ දි කඩුලු 6ක් දැවී ලකුණු 765ක් ද ලබා ගත්තා.  

වාර්තා ගත එම තරගයේ දී දෙරට ක්‍රීඩකයෝ විසින් ත්‍රිත්ව ශතකයක් (Younis Khan 313), ද්විත්ව ශතක ද්විත්වයක් (මහේල ජයවර්ධන 240 සහ තිලාන් සමරවීර 231), ශතකයක් (Kamran Akmal නොදැවී 158) සහ අර්ධ ශතක 6ක් (කුමාර් සංගක්කාර 70 සහ 65, මලින්ද වර්ණපුර 59, Faisal Iqbal 57, Shoaib Malik 56, Yasir Arafat නොදැවී 50) වාර්තා කිරීම කැපී පෙණුනා. 

440 : දෙරට ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ 1986 වසරේ පෙබරවාරියේ දී මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ දී වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාවයි.  

එහි දී ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී ලකුණු 109ක් සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 101ක් ද පාකිස්තානය පළමු ඉනිමේ දී ලකුණු 230ක් ද වාර්තා කරනවා.  

  • ඉහත ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාවන් අතර පෙරමුණ ගත් තරගය බවට ද පත් වෙනවා. 

inns & 222 runs : දෙරට ඉතිහාසයේ ලත් ඉහළ ම ජයග්‍රහණය වාර්තා වෙන්නේ 2023 වසරේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පාකිස්තානය ලත් මෙම ජයග්‍රහණයයි.  

246 : ශ්‍රී ලංකාව 2022 වසරේ දී ජුලි මාසයේ දී  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලත් මෙම ජයග්‍රහණය පාකිස්තානයට එරෙහි ව ලත් ඉහළ ම ජයග්‍රහණයයි.  

2911 : ශ්‍රී ලංකා – පාකිස්තාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර.  

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා 
  Player  Team  Span  M  Ins  NO  Runs  HS  Ave  100  50 
1  කුමාර් සංගක්කාර  ශ්‍රී ලංකාව  2002-2015  23  45  6  2911  230  74.64  10  12 
2  Younis Khan  පාකිස්තානය  2000-2015  29  48  4  2286  313  51.95  8  6 
3  මහේල ජයවර්ධන  ශ්‍රී ලංකාව  1999-2014  29  55  3  1687  240  32.44  2  10 
4  ඇන්ජලෝ මැතිව්ස්  ශ්‍රී ලංකාව  2009-2023  23  42  10  1601  157*  50.03  2  9 
5  Inzamam-ul-Haq  පාකිස්තානය  1994-2006  20  31  5  1559  200*  59.96  5  7 

 

2286 : දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහි ව වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් ව සිටින්නේ Younis Khan. ඔහු තරග 29ක ඉනිම් 48ක දී ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාවට ත්‍රිත්ව ශතකයක්, ශතක 7ක්  සහ අර්ධ ශතක 6ක් ඇතුලත්. 

ඔහු මෙම ලකුණු සංඛ්‍යාව සඳහා එක් කරන ලද ශතකය ඉක් ම වූ ඉනිම් 8, ශ්‍රී ලංකාවට එරෙහි ව වැඩිම ශතක වාර්තා කළ පිතිකරු ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට පත් දක්ෂතාව බවට පත් වුණා.  

313 : දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වෙන්නේ පාකිස්තානයේ Younis Khan.  

ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ 2009 වසරේ පෙබරවාරි මාසයේ දී Karachi නුවර දී පැවැති තරගයේ දී යි. එහි දී ඔහුගේ ඉනිම පන්දු 568කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 27ක් සහ හයේ පහර 4ක් ඇතුලත් වුණා.  

එම ඉනිම ශ්‍රී ලංකාවට එරෙහි ව ටෙස්ට් තරගයක දී පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි ස්ථානයට පත් ඉනිම බවට ද පත් වුණා.  

  • Younis Khan ගේ මෙම ඉනිම, ලකුණු 10099ක් ලබා ගත් ටෙස්ට් තරග 118ක ඉතිහාසයේ හොඳම ඉනිම බවට ද පත් වුණා.

253 : දෙරට ඉතිහාසයේ පාකිස්තානයට එරෙහි ව ඉනිමක දී වැඩිම ලකුණු ලබා ගත් ශ්‍රී ලංකා පිතිකරු බවට පත් වෙන්නේ සනත් ජයසූරිය.  

ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ 2004 වසරේ Faisalabad හී Iqbal ක්‍රීඩාංගණයේ දී පෑ දක්ෂතාවයි. එහි දී ඔහුගේ ඉනිම පන්දු 348කින් සමන් විත වූ අතර ඊට හතරේ පහර 33ක් සහ හයේ පහර 4ක් ඇතුලත් වුණා.  

සනත් ජයසූරිය ගේ මෙම ඉනිම, ලකුණු 6973ක් ලබා ගත් ටෙස්ට් තරග 110ක ඉතිහාසයේ හොඳම ඉනිම් අතර 2 වැනි ස්ථානයට පත් ඉනිමයි.  

516 : දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ තරගාවලියක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ පිතිකරු බවට පත් වෙන්නේ කුමාර් සංගක්කාර. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 2011වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැති තරග 3කින් යුත් තරගාවලියේ දී යි. 

එම තරගාවලියේ දී ඔහු ද්විත්ව ශතකයක්, ශතකයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කරනවා.  

364 : පාකිස්තානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව තරගාවලියක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නේ Misbah-ul-Haq. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 2014 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැති තරග 3කින් යුත් තරගාවලියේ දී යි.  

එහි දී ඔහු ශතකයක් සහ අර්ධ ශතක ත්‍රිත්වයක් සමඟින් මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කරනවා.  

10x100s : දෙරට ඉතිහාසයේ වැඩිම ශතකලාභී පිතිකරු වෙන්නේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර. ඔහු ගේ එම ගිණුමේ ද්විත්ව ශතක 3ක් සහ ශතක 7ක් ඇතුලත්.  

8x100s : පාකිස්තානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව වැඩිම ශතක වාර්තා කළ පිතිකරු වෙන්නේ Younis Khan. ඔහුගේ එම ගිණුමේ ත්‍රිත්ව ශතකයක් සහ ශතක 7ක් ඇතුලත්.  

106 : දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත් වීමට වමතින් දඟ පන්දු යවන රංගන හේරත් සමත් වුණා. 

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් 5 දෙනා 
  Player  Team  Span  M  Ins  Over  Md  Runs  Wkts  Best  5  10 
1  රංගන හේරත්  ශ්‍රී ලංකාව  2000-2017  21  40  1098.3  230  2976  106  9/127  8  2 
2  මුත්තයියා මුරලිදරන්  ශ්‍රී ලංකාව  1994-2009  16  25  782.5  184  2037  80  6/71  5  1 
3  Saeed Ajmal  පාකිස්තානය  2009-2014  14  28  844.4  161  2170  66  5/68  3  0 
4  Wasim Akram  පාකිස්තානය  1985-2000  19  32  545.4  152  1340  63  5/43  3  0 
5  Waqar Younis  පාකිස්තානය  1991-2002  13  22  360.3  53  1273  56  6/34  4  1 

 

9/127 : දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ රංගන හේරත්.  

  • ඔහු 2014 වසරේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පෑ මෙම දක්ෂතාව ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාව ද වූවා. 

8/58 : පාකිස්තානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Imran Khan. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 1982 වසරේ Lahore හී පැවැති තරගයේ දී යි. 

  • මෙය Imran Khan ගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාවය බවට ද පත් වුණා. 

14/184 : දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ එක් තරගයක දී පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතා ලැයිස්තුවේ පළමු අසුන ද වෙන්කර ගෙන සිටින්නේ රංගන හේරත්.  

  • ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ 2014 වසරේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ම වන අතර එය ඔහුගේ ටෙස්ට් තරග 93ක කඩුලු 433ක, තරගයක දැක් වූ හොඳම පන්දු යැවීමයි. 

14/116 : ශ්‍රී ලංකාවට එරෙහි ව පාකිස්තාන පන්දු යවන්නෙක් තරගයක දී පෑ ඉහළ ම දක්ෂතා දක්වන්නේ Imran Khan. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ 1982 වසරේ Lahore හී පැවැති තරගයේ දී යි.  

  • එය ශ්‍රී ලංකාවට එරෙහි ව ටෙස්ට් තරගයක දී පන්දු යවන්නෙක් මෙතෙක් පෑ ඉහළ ම දක්ෂතාවය ද වන අතර එය Imran Khan ගේ 88ක් වන ටෙස්ට් තරග දිවියේ ලබා ගත් කඩුලු 362ක, තරගයක පෑ ඉහළ ම දක්ෂතාවය ද වෙනවා. 

8 : දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා වැඩිම ප්‍රමාණයක් වාර්තා කරන්නේ රංගන හේරත්. 

2 : දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ තරගයක කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු වැනියා වෙන්නේ ද රංගන හේරත්.  

26 : දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ තරගාවලියක දී වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත් වෙන්නේ මුත්තයියා මුරලිදරන්. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 2000 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ දී යි. 

24 : තරගාවලියක දී වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත් වෙන්නේ පාකිස්තානයේ Yasir Shah. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 2015 වසරේ පාකිස්තාන කණ්ඩායමේ මෙරට සංචාරයේ දී යි.  

40 : දෙරට ඉතිහාසයේ වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවට දායක වූ කඩුලු රකින්නා වෙන්නේ පාකිස්තානයේ Moin Khan. ඔහු මේ සඳහා තරග 16ක දී උඩ පන්දු 35ක් සහ කඩුලු බිඳ හෙළීම් 5කට දායක වෙමින් මෙම කඩඉමට පිවිසෙනවා.  

29 : ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට දායක වූ කඩුලු රකින්නා වෙන්නේ නිරෝෂන් දික්වැල්ල. ඔහු මෙම කඩඉමට පිවිසෙන්නේ තරග 8ක දී උඩ පන්දු 22ක් සහ කඩුලු බිඳ හෙලීම් 7කට දායක වෙමින්.  

8 : පාකිස්තානයේ Kamran Akmal ශ්‍රී ලංකාවට එරෙහි ව තරගයක දී වැඩි ම දවා ගැනීම් සංඛ්‍යාවකට දායක වූ කඩුලු රකින්නායි.  

37 : දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයා වෙන්නේ මහේල ජයවර්ධන. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ තරග 29කට සහභාගී වෙමිනුයි.  

33 : Younis Khan තරග 29කට සහභාගී වෙමින් වැඩිම උඩ පන්දු ලබා ගත් පාකිස්තාන ක්‍රීඩකයා බවට පත් වූවා.  

437 : දෙරට ඉතිහාසයේ ඕනෑම කඩුල්ලකට ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සබඳතාව වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ තිලාන් සමරවීර සහ මහේල ජයවර්ධන විසින් 2009 වසරේ දී Karachi නුවර දී 4 වැනි කඩුල්ලට ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි.  

397 : Qasim Umar සහ Javed Miandad එක් ව Faisalabad හි දී 1985 වසරේ පැවැති තරගයක 3 වැනි කඩුල්ල සඳහා රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එරෙහි ව පාකිස්තානය වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

29 : දෙරට ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගී වෙමින් සම අසුන් ගත් ක්‍රීඩකයන් වෙන්නේ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන සහ පාකිස්තානයේ Younis Khan. 

13 : දෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහි ව වැඩිම තරග සංඛ්‍යාවකට නායකත්වය ලබා දුන් ක්‍රීඩකයා වෙන්නේ Misbah-ul-Haq. ඔහුගේ මෙම තරග සංඛ්‍යාව තුළ ජයග්‍රහණ 4ක්, පරාජයන් 4ක් සහ විසඳුමකින් තොරව අවසන් තරග 5ක් ඇතුලත්.   

8 : ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම වාර්තාව උසුලන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු මෙම තරග සංඛ්‍යාව තුළ ජයග්‍රහණ 4ක්, පරාජියන් 3ක් සහ විසඳුමකින් තොරව අවසන් තරගයක් ඇතුලත්.  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<