රනා – රිංකු සබඳතාවය නිසා කල්කටාව Play-offs සිහිනය රැක ගනී

2303
Credit : Associated Press

ශ්‍රී ලාංකිකයින් ඉතාමත් උනන්දුවෙන් බලා සිටි තරගයක් ඊයේ (14) Chennai Super Kings සහ Kolkata Knight Riders කණ්ඩායම් දෙක අතර චිදම්බරම් පිටියේ දී ක්‍රියාත්මක වුනා. කෙසේ නමුත් Chennai පිතිකරුවන්ගේ අඩුපාඩු හේතුවෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමටයි අවසානයේ ඔවුන්ට සිදු වුනේ.

කාසියේ වාසිය දිනා ගත් Chennai නායක MS Dhoni මුලින් පිතිකරණයේ යෙදීමට තීරණය කළා. නමුත් එය ඔවුන්ට එතරම් සුබ ප්‍රතිඵල ගෙන ආවේ නැහැ. ඉනිම ඇරඹූ Ruturaj Gaikwad සහ Devon Conway පළමු කඩුල්ලට ලකුණු 31ක් එකතු කළත්, එය මන්දගාමී ආරම්භයක් වුනා. Chennai ඉනිමේ මුල් කඩුලු 2ටම හිමිකම් කිව්වේ දකුණතින් පා දඟපන්දු යවන Varun Chakaravarthyයි.

ලකුණු 61 දී දෙවැනි කඩුල්ල බිඳ වැටීමේ සිට ලකුණු 72 දී පස්වැනි චෙන්නායි පිතිකරුවාත් ක්‍රීඩාගාරයට හැරී යන අවස්ථාව තෙක් Kolkata පන්දු යවන්නන් ඇති කළේ ප්‍රබල පීඩනයක්. එහි දී කොදෙව් දඟපන්දු යවන්නා වන Sunil Narine මෙම තණතිල්ලේ වාසිය උපරිමයෙන් උකහා ගනිමින් තම පන්දුවාර 4 ලකුණු 15කට නිමා කළේ කඩුලු 2ක්ද දවා ගනිමින්.

Ambati Rayudu සහ Moeen Ali යන දෙදෙනාම දැවී ගියේ Narineගේ පන්දු කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි. ඉන්පසුව Shivam Dube සහ Ravindra Jadeja ලකුණු 68ක සබඳතාවයක් ගොඩ නැගූව ද, Chennai ඉනිම අවසානයේ ඔවුන්ට ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 144ක් පමණයි. මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ ජඩේජා ලකුණු 20ක් ලබා ගැනීමට පන්දු 24ක් වැය කරද්දී Shivam Dube පමණක් සාර්ථක වෙමින් පන්දු 34කින් නොනොදැවී ලකුණු 48ක් රැස් කළා.

Chennai වෙනුවෙන් පන්දු යැවීම ඇරඹූ Deepak Chahar තමා යැවූ මුල් පන්දුවාර 3 දී ම එක් කඩුල්ල බැගින් දවා ගනිමින් Kolkata ලකුණු පුවරුව ලකුණු 33කට කඩුලු 3ක් දක්වා ගෙන ආවා. ඒ තරගය දෙපිළටම විවෘත කරමින්. එහි දී, මේ දිනවල රිද්මයේ නොසිටින Rahmanullah Gurbaz ඉන්දීය ක්‍රීඩක Tushar Deshpandeගේ විශිෂ්ට පන්දු රැකීමක් හමුවේ දැවී යද්දී, Impact Player ලෙස ඇතුළත් වූ Venkatesh Iyer ලකුණු 9කට දැවී ගියා.

Jason Royව පිටියෙන් ඉවත් කරන්නට මතීෂ පතිරණ හොඳ උඩපන්දුවක් රැක ගත්තා. තණතිල්ල දඟපන්දු යවන්නන්ට සහය දක්වන බව පෙනෙන්නට තිබුණු නිසා Chennai Super Kings කණ්ඩායමත් මෙම ලකුණු සංඛ්‍යාවට තරගයක් ලබා දෙනු ඇතැයි විචාරකයින් මත පල කළත්, අවසන් ඉලක්කය මැනවින් දැන සිටි Kolkata පිතිකරුවන් අනවශ්‍ය අවදානමක් ලබා ගත්තේ නැහැ. ඔවුන් නිතරම අවශ්‍ය කරන ලකුණු වේගය තමන්ට පාලනය කළ හැකි මට්ටමක රඳවා ගැනීම ගැන පමණක් සැලකිලිමත් වුනා.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුනු නායක Nitish Rana සහ Rinku Singh අවස්ථාවට මැනවින් අනුගත වෙමින් ලකුණු 99ක තීරණාත්මක සබඳතාවයක් ගොඩ නැගුවේ Kolkata කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම ගෙන එමින්.

තැනට සුදුසු ඉනිමක් ක්‍රීඩා කළ Rinku Singh තමන්ට තරග අවසන් කරන්නට පමණක් නොව ඉනිම ඇදගෙන යාමටද හැකියාවක් ඇතිබව පෙන්නුම් කරමින් පන්දු 43ක දී ලකුණු 54ක් රැස් කළා.

අනෙක් අන්තයේ සිටි නායක Rana තරගයේ අවසානය තෙක්ම තණතිල්ල මත රැඳී සිටියේ පන්දු 44ක දී නොදැවී ලකුණු 57ක් ලබා ගනිමින්. Nitish Rana මොයින් අලි යැවූ පන්දුවක් හමුවේ ලකුණු 18 දී මතීෂ පතිරණ අතට උඩපන්දුවක් ලබා දුන්නත්, වේගයෙන් ඉදිරියට දුව ආ ඔහුට සමබරතාවය රැකගෙන එය නිවැරදිව රැක ගැනීමට හැකි වුනේ නැහැ. මෙය තරගයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස විචාරකයින් දිගින් දිගටම මත පල කළා.

අනෙක් අතට ඉක්මනින් කඩුලු 3ක් දැවී ගිය අවස්ථාවේ MS Dhoni තම හොඳම තුරුම්පුව වන මතීෂ පතිරණ පන්දු යැවීම සඳහා යොදා නොගැනීම ද පීඩනය Kolkata කණ්ඩායමෙන් ඉවත් කිරීමට හේතු වුනා. මේ නිසා තරගයේ අවසන් කොටසේ දී මතීෂ පන්දුව අතට ගන්නා විට ආරක්ෂා කිරීමට තරම් ලකුණු සංඛ්‍යාවක් ඉතිරිව තිබුනේ නැහැ. මේ නිසා මතීෂගේ තවත් පන්දුවාරයක් ඉතිරිව තිබිය දී ම Kolkata පිතිකරුවන් තරගය ජය ගත්තා.

Chennai Super Kings – කඩුලු 6ක් දැවී ලකුණු 144 (පන්දුවාර 20): Shivam Dube 48, Devon Conway 30, Ravindra Jadeja 20, Ruturaj Gaikwad 17, Ajinkya Rahane 16, Sunil Narine 2/15, Varun Chakaravarthy 2/36, Shardul Thakur 1/15.

Kolkata Knight Riders – කඩුලු 4ක් දැවී ලකුණු 147 (පන්දුවාර 18.3): Nitish Rana 57*, Rinku Singh 54, Jason Roy 12, Deepak Chahar 3/27.

තරගයේ වීරයා සම්මානය හිමි වුනේ පීඩනය මැද විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගත් Rinku Singhටයි. කෙසේ නමුත් මේ වන විටත් Chennai Super Kings ප්‍රසාද ලකුණු 15ක් සමඟ දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර ඊයේ ලැබුණු ප්‍රතිඵලය නිසා Play-offs වටය වෙත පිවිසීමේ සටන තවදුරටත් උණුසුම් වී තිබෙනවා.

Indian Premiere League තරගාවලියේ Gujarat Titans සහ Sunrisers Hyderabad අතර තරගය අද (15) රාත්‍රී 7.30ට ආරම්භ වන අතර මෙම තරගය ජය ගතහොත් Gujarat කණ්ඩායමට මීලඟ වටය සඳහා සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්විය හැකි. එම උණුසුම් තරගය සජීවීව නැරඹීම සඳහා පිවිසෙන්න ThePapare.com වෙබ් අඩවියට!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<