10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි උණුසුමේ ශ්‍රී ලංකාව සහභාගී වූ තවත් තරගාවලි ත්‍රිත්වයක තොරතුරු මේ සමඟ තැබෙන්නේ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ පිළිබඳව තැබෙන සංක්ෂිප්ත සටහනක 2 වැන්න ලෙසයි.
>>කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉතිහාස කතාව<<
4 වැනි තරගාවලිය (2014 – බංග්ලාදේශය)
එතෙක් රටවල් 8ක් පමණක් සහභාගී වූ මෙම තරගාවලියට මෙවර කණ්ඩායම් 10ක් එක් වෙනවා. ඒ අනුව නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී පළමු ස්ථාන 6 දිනු කණ්ඩායම් සෘජුව ම මෙම තරගාවලියට එක් කර ගත් අතර ඊට අමතර ව 2013 වසරේ දී ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් පවත්වමින් අනෙකුත් කණ්ඩායම් 4 තෝරා ගත්තා. එම තරගාවලියට ශ්‍රී ලංකාව ද එක් වෙනවා.
රටවල් 8ක් සහභාගී වූ එම තරගාවලියේ සම ශූරියන් වූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය නැවත ලෝක කුසලාන තරගාවලිය සඳහා එක් වීමට සුදුසුකම් ලබා ගත්තා. ඊට අමතර ව තරගාවලියේ 3 වැනි ස්ථානය දිනූ අයර්ලන්තය ද සහ 2014 වසරේ සත්කාරකයන් වූ බංග්ලාදේශය ද ලෙසින් මෙම තරගාවලියේ කණ්ඩායම් 10 සමන්විත වූවා.
සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකාව තරගාවලියට එක් වෙන්නේ B කාණ්ඩයෙනුයි. ඔවුන්ට අමතර ව පෙර තරගාවලියේ අනුශූරියන් වූ එංගලන්තය සමඟින් බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව සහ බංග්ලාදේශය ද එම කාණ්ඩයට ඇතුලත් වූවා.
A කාණ්ඩය නියෝජනය කරමින් පෙර තරගාවලියේ ශූරියන් වූ ඕස්ට්‍රේලියාව සමඟින් නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය එක් වෙනවා.
- තරගාවලියේ ශූරතාව – ඕස්ට්‍රේලියාව
- තරගාවලියේ අනුශූරතාව – එංගලන්තය
- තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – Anya Shrubsole (එංගලන්තය)
- තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය – Meg Lanning (257 – ඕස්ට්‍රේලියාව)
- තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය – Anya Shrubsole (13 – එංගලන්තය)
මෙවර නම් කෙරුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පෙර පරිදිම ශෂිකලා සිරිවර්ධන සතු වූ අතර පළමු තරගාවලියේ සිට ම කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියන්ට සහභාගී වූ චමරි අතපත්තු කණ්ඩායමේ උප නායිකාව ලෙසින් නම් කෙරෙනවා. නවක ක්‍රීඩිකාවන් ලෙසින් හසිනි පෙරේරා, රෙබේකා වැන්ඩොර්ට්, ඔෂදී රණසිංහ සහ චන්දිමා ගුණරත්න කණ්ඩායමට එක් වෙද්දී පළමු ලෝක කුසලාන තරගාවලි ද්විත්වය නියෝජනය කළ චමරි පොල්ගම්පොළ ද නැවත කණ්ඩායමට එක් වෙනවා.
ඔවුන් අතුරින් හසිනි පෙරේරා පළමු වරට විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගන්නේ මෙම තරගාවලියේදීයි.
2014 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායම
ශෂිකලා සිරිවර්ධන (නායිකාව), චමරි අතපත්තු (උප නායිකාව), හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, රෙබේකා වැන්ඩොර්ට් (කඩුලු රකින්නිය), ඔෂදී රණසිංහ, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, චන්දිමා ගුණරත්න, ඒශානි ලොකුසූරිය, චමරි පොල්ගම්පොළ, යශෝධා මෙන්ඩිස්, දීපිකා රසාංගිකා, මදුරි සමුද්දිකා සහ ශ්‍රීපාලි වීරක්කොඩි.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ප්‍රතිවාදීන් වූයේ අසල්වැසි ඉන්දියාවයි. එම තරගයෙන් ලකුණු 22ක ජයග්‍රහණයක් ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මෙරට ක්‍රීඩිකාවෝ සමත් වූව ද අනෙක් කිසිදු තරගයක දී සාර්ථක වීමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. කොටින් ම පළමු වරට තරගාවලියට එක් වූ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් හමුවේ ද ඔවුන්ට පරාජය වීමට සිදු වෙනවා.
ඒ අනුව ඔවුන්ට තරගාවලියේ තමන් එක් වූ B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 4 වැනි ස්ථානයට පත් වෙමිනුයි තරගාවලිය අවසන් කිරීමට සිදු වෙන්නේ.
මෙවර තරගාවලියට පළමු වරට play-offs වටයක් යොදා තිබූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට එම වටයේ ප්‍රතිවාදීන් ලෙසින් නවසීලන්තය සහ පාකිස්තානය සමඟින් තරග කිරීමට සිදු වෙනවා. එහි දී ද සාර්ථක වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නොහැකි වන අතර ඒ අනුව තරගාවලිය අවසන් වෙද්දී ශ්‍රී ලංකාවට තරගාවලියේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී හිමි වෙන්නේ 8 වැනි ස්ථානයයි.
| 2014 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ | ||||
| ප්‍රතිවාදීන් | තරගයේ ප්‍රතිඵල | ක්‍රීඩාංගණය | තරගයේ වීරයා | |
| 1 | ඉන්දියාව | ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 22ක ජයක්. | Sylhet | උදේශිකා ප්‍රබෝධනී |
| 2 | බ.ඉ. කොදෙව් | බ.ඉ. කොදෙව් කණ්ඩායමට කඩුලු 8ක ජයක්. | Sylhet | Shanel Daley |
| 3 | එංගලන්තය | එංගලන්ත කණ්ඩායමට කඩුලු 7ක ජයක්. | Sylhet | Anya Shrubsole |
| 4 | බංග්ලාදේශය | බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 3ක ජයක්. | Sylhet | Rumana Ahmed |
| play-offs වටය | ||||
| 5 | නවසීලන්තය | නවසීලන්ත කණ්ඩායමට කඩුලු 6ක ජයක්. | Sylhet | Rachel Priest |
| 6 | පාකිස්තානය | පාකිස්තාන කණ්ඩායමට ලකුණු 14ක ජයක්. | Sylhet | Bismah Maroof |
තරගාවලියේ වැඩිම ලකුණුලාභී ශ්‍රී ලංකා පිතිකාරිනිය බවට පත් වෙන්නේ යශෝධා මෙන්ඩිස්. ඇය තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 143ක් ලබා ගන්නවා. ඊට අමතර ව ඒශානි ලොකුසූරිය ඉනිම 6ක දී ලකුණු 115ක් ද සහ චමරි අතපත්තු ඉනිම 6ක දී ලකුණු 110ක් ද ලබා ගනිමින් පිතිකරුවන් අතර පෙරමුණ ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී නායිකා ශෂිකලා සිරිවර්ධන තරග 6ක පන්දුවාර 23ක් යවමින් කඩුලු 7ක් දවා ගනිමින් පෙරමුණ ගනිද්දී උදේශිකා ප්‍රබෝධනී කඩුලු 6ක් සහ ඉනෝකා රණවීර කඩුලු 3ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- ඉන්දියාව හොල්ලන දෙවැනි මාලිංගගේ IPL දක්ෂතා
- RCB නොකඩවා දෙවැනි වරටත් IPL ශූරයින් වෙයි!
5 වැනි තරගාවලිය (2016 – ඉන්දියාව)
චමරි අතපත්තු, ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ මංගල අර්ධ ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව. (2016. 03. 28)
මෙවර තරගාවලිය ද කණ්ඩායම් 10ක ගේ සහභාගීත්වයෙන් පැවැති අතර ඊට පෙර තරගාවලියේ 8 වැනි ස්ථාන දක්වා කණ්ඩායම් සෘජුව ම තරගාවලියට එක් කර ගන්නවා. ඒ අනුව ශ්‍රී ලංකාව ද ඊට එක් වෙන අතර ඊට අමතර ව 2015 වසරේ දී පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලියේ ජයග්‍රාහිකාවන් වූ අයර්ලන්තය සහ එහි අනුශූරියන් වූ බංග්ලාදේශය ද මෙම තරගාවලියට එක් වෙනවා.
මෙතෙක් සෑම අවස්ථාවක ම B කාණ්ඩයෙන් තරගාවලියන්ට එක් වූ ශ්‍රී ලංකාව මෙවර පළමු වරට A කාණ්ඩයෙන් මෙම තරගාවලියට එක් වෙනවා. ඔවුන්ට අමතර පෙර තරගාවලියේ ජයග්‍රාහිකාවන් වූ ඕස්ට්‍රේලියාව සමඟින් නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය ද මෙම කාණ්ඩයට ඇතුලත් වුණා.
පෙර තරගාවලියේ ජයග්‍රාහිකාවන් වූ එංගලන්තය සමඟින් බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය B කාණ්ඩය නියෝජනය තරගාවලියට එක් වුණා.
- තරගාවලියේ ශූරතාව – බටහිර ඉන්දීය කොදෙව්
- තරගාවලියේ අනුශූරතාව – ඕස්ට්‍රේලියාව
- තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – Stafanie Taylor (බටහිර ඉන්දීය කොදෙව්)
- තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය – Stafanie Taylor (246 – බටහිර ඉන්දීය කොදෙව්)
- තරගාවලියේ වැඩිම කඩුලුලාභිනියන් – Leigh Kasperek (9 – නවසීලන්තය) Sophie Devine (9 – නවසීලන්තය), Deandra Dottin (9 – බටහිර ඉන්දීය කොදෙව්)
මංගල තරගාවලියේ සිට ම ලෝක කුසලානය නියෝජනය කළ එක ම ක්‍රීඩිකාව වූ චමරි අතපත්තු මෙවර තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව බවට පත් වෙනවා.
ඇය යටතේ හංසිමා කරුණාරත්න, හර්ෂිතා සමරවික්‍රම, අනුශ්කා සංජීවනී, අමා කාංචනා, සුගන්දිකා කුමාරි සහ නිපුනි හංසිකා පළමු වතාවට ලෝක කුසලාන තරගාවලිය හා එක් වෙන අතර 2012 වසරට පසුව නැවත වතාවක් ඩිලානි මනෝදරා සහ ප්‍රසාදනී වීරක්කොඩි ද කණ්ඩායමට කැඳවා තිබුණා.
2016 ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), ශෂිකලා සිරිවර්ධන, හංසිමා කරුණාරත්න, හර්ෂිතා සමරවික්‍රම, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය), අමා කාංචනා, ඕෂදී රණසිංහ, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, නිපුනි හංසිකා, ඒශානි ලොකුසූරිය, යශෝධා මෙන්ඩිස් සහ ප්‍රසාදනී වීරක්කොඩි.
එතෙක් තරගාවලියට එක් තරගය බැගින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේ දී පළමු වරට තරග 2ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඒ සමඟින් ඔවුන් සහභාගී වූ A කාණ්ඩයේ කණ්ඩායම් 5 අතුරින් 3 වැනි ස්ථානයට පත් වෙනවා.
| 2016 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ | ||||
| ප්‍රතිවාදීන් | තරගයේ ප්‍රතිඵල | ක්‍රීඩාංගණය | තරගයේ වීරයා | |
| 1 | නවසීලන්තය | නවසීලන්ත කණ්ඩායමට කඩුලු 7ක ජයක්. | Delhi | Suzie Bates |
| 2 | අයර්ලන්තය | ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 14ක ජයක්. | Mohali | හර්ෂිතා සමරවික්‍රම |
| 3 | ඕස්ට්‍රේලියාව | ඕස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 9ක ජයක්. | Delhi | Elyse Villani |
| 4 | දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 10ක ජයක්. | Bengaluru | චමරි අතපත්තු |
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතුරින් තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා චමරි අතපත්තු. ඇය තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 141ක් ලබා ගන්නවා. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක විසින් කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියක දී වාර්තා කරන ලද මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට ද ඇය සමත් වෙනවා. ඇය මෙම දක්ෂතා සිදු කරන්නේ දකුණු අප්‍රිකාවට එරෙහි ව වන අතර එහි දී ඇය පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා.
ඇයට අමතර ව ඩිලානි මනෝදරා තරග 4ක දී ලකුණු 85ක් ද සහ ඒශානි ලොකුසූරිය තරග 4ක දී ලකුණු 65ක් ද ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ කැපී පෙණෙන ක්‍රීඩිකාවන් බවට පත් වෙනවා.
කඩුලු දවා ගැනීමේ දි සුගන්දිකා කුමාරි තරග 4ක දී පන්දුවාර 14ක් යවමින් කඩුලු 5ක් දවා ගනිමින් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නිය බවට පත් වෙද්දී ඉනෝකා රණවීර කඩුලු 3ක් ද සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 2ක් ද දවා ගනිමින් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානවලට පත් වෙනවා.
- සංචාරකයෝ අවසන් තරගය ජය ගනී
- ශ්‍රී ලංකා ක්රිකට් වෙනුවෙන් නව තේරීම් කමිටුවක්
- 2026 LPL තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි
6 වැනි තරගාවලිය (2018 – බටහිර ඉන්දීය කොදෙව්)
ජයග්‍රාහී බංග්ලාදේශ තරගයේ, දක්ෂතම ක්‍රීඩිකාව වූ ශෂිකලා සිරිවර්ධන. (2018.11.14)
මෙවර තරගාවලිය ද සුපුරුදු ලෙසින් ම කණ්ඩායම් 10කින් සමන්විත වූ අතර ඒ අතරට සෘජුව ම එක්කර ගත් කණ්ඩායම් 8 අතරට ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුලත් වෙනවා. ඊට අමතර ව බටහිර ඉන්දීය කොදෙව්වෝ සත්කාරක කණ්ඩායම ලෙසින් ද බංග්ලාදේශය සහ අයර්ලන්තය නැවත වතාවක් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ජයග්‍රාහිකාවන් සහ අනුශූරියන් ලෙසින් ද මෙම තරගාවලිය හා එක් වෙනවා.
මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියට එක් වූ අතර පෙර තරගාවලියේ ජයග්‍රාහිකාවන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය එම කාණ්ඩයෙන් තරගාවලියට එක් වූවා.
පෙර තරගාවලියේ අනුශූරියන් වූ ඕස්ට්‍රේලියාව B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ අතර ඔවුන් සමඟින් ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ අයර්ලන්තය ද එම කාණ්ඩයෙන් තරගාවලියට එක් වුණා.
- තරගාවලියේ ශූරතාව – ඕස්ට්‍රේලියාව
- තරගාවලියේ අනුශූරතාව – එංගලන්තය
- තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – Alyssa Healy (ඕස්ට්‍රේලියාව)
- තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය – Alyssa Healy (225 – ඕස්ට්‍රේලියාව)
- තරගාවලියේ වැඩිම කඩුලුලාභිනියන් – Deandra Dottin (10 – බටහිර ඉන්දීය කොදෙව්), Ashleigh Gardner (10 – ඕස්ට්‍රේලියාව), Megan Schutt (10 – ඕස්ට්‍රේලියාව)
මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වෙන්නේ චමරි අතපත්තු වෙතයි. මෙම තරගාවලියට පෙර තරගාවලියේ ස්ථාන අහිමි වූ නමුත් ඊට පෙර ලෝක කුසලාන තරගාවලි හා එක් වූ හසිනි පෙරේරා, රෙබේකා වැන්ඩෝර්ට් සහ ශ්‍රීපාලි වීරක්කොඩි නැවත මෙම තරගාවලිය හා එක් වෙනවා. ඊට අමතර ව කවීෂා දිල්හාරි, ඉනෝෂි ප්‍රනාන්දු සහ සුගන්දිකා කුමාරි නවක ක්‍රීඩිකාවන් ලෙසින් මෙම කණ්ඩායමට නම් කෙරෙනවා.
2018 ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය), රෙබේකා වැන්ඩෝර්ට් (කඩුලු රකින්නිය), කවීෂා දිල්හාරි, අමා කාංචනා, ඕෂදී රණසිංහ, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, ඒශානි ලොකුසූරිය, යශෝධා මෙන්ඩිස්, ශෂිකලා සිරිවර්ධන සහ ශ්‍රීපාලි වීරක්කොඩි.
මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තමන් සහභාගී වූ කාණ්ඩයෙන් පෙර ස්ථානයට වඩා ස්ථානයක් පසු බැසීමට සිදු වෙන අතර ඒ අනුව ඔහුන් එහි ලැයිස්තු ගත වෙන්නේ 4 වැනි ස්ථානයටයි.
| 2018 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ | ||||
| ප්‍රතිවාදීන් | තරගයේ ප්‍රතිළුල | ක්‍රීඩාංගණය | තරගයේ වීරයා | |
| 1 | එංගලන්තය | වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමුණා. | Gros Islet | |
| 2 | දකුණු අපික්‍රාව | දකුණු අප්‍රිකා කණ්ඩායමට කඩුලු 7ක ජයක්. | Gros Islet | Shabnim Ismail |
| 3 | බංග්ලාදේශය | ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 25ක ජයක්. | Gros Islet | ශෂිකලා සිරිවර්ධන |
| 4 | බ.ඉ. කොදෙව් | බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 83ක ජයක්. | Gros Islet | Hayley Matthews |
නිමා වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ නායිකා චමරි අතපත්තු. ඇය තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 59ක් ලබා ගන්නවා. ඊට අමතර ව ශෂිකලා සිරිවර්ධන ලකුණු 58ක් ද සහ ඩිලාන් මනෝදරා ලකුණු 44ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී උදේශිකා ප්‍රබෝධනී සහ ශෂිකලා සිරිවර්ධන කඩුලු 4ක් බැගින් දවා ගෙන දක්ෂතා දක්වද්දී චමරි අතපත්තු කඩුලු 3ක් ද සහ ඔෂදී රණසිංහ කඩුලු 2ක් ද දවා ගන්නවා.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහභාගී වූ තවත් තරගාවලි ත්‍රිත්වයක තොරතුරු වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
























