“දක්ෂ ක්‍රීඩකයෙක් හදන්න නම් ක්‍රියාශීලී අනාගත පරපුරක් නිර්මාණය කළ යුතුයි

131
Family run Saturday

බෝ නොවන රෝගවලින් ආරක්ෂා වී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් වෙනුවෙන් අපි දැමු අඩිතාලම “ෆැමිලි රන් සැටර්ඩේ” බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කායික හා මානසික වශයෙන් ශක්තිමත් සහ නිරෝගිමත් තරුණ පරපුරක් දැයට දායාද කිරීමේ ජාතික කාර්යය පෙර දැරි කරගනිමින් සිය සංකල්පයක් අනුව ඊයේ (10) උදෑසන කොළඹ තුරඟ තරග පිටියෙන් ආරම්භ කළ “ෆැමිලි රන් සැටර්ඩේ (Family Run Saturday) සමාරම්භයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙම වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම පෙ.ව.6.00ට කොළඹ තුරඟ තරග පිටියෙන් ආරම්භ වන අතර නොබෝ දිනකින් එය රට පුරා ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

තුරඟ තරග පිටියේ සිට මාර්ගයේ වෙන් කළ ආරක්ෂිත මං තීරුවක් ඔස්සේ කිලෝමීටර් 5ක දුරක් ඇවිදීම හෝ ධාවනය මෙම වැඩසටහන අයත්‍ ය. 

කාර්ය බහුල ජීවිතයේ ව්‍යායාම වෙනුවෙන් සතියට එක් දිනක් හෝ ඇවිදීමට ජනතාව හුරුකරවීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

ලියාපදිංචි වීමකින් තොරව පවුලේ සියලුම දෙනාට “ෆැමිලි රන් සැටර්ඩේ” සමඟ එක් විය හැකිය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ලංකා ස්පෝර්ට්ස් රයිසන් ආයතනය (LSR), ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආයතන ගණනාවක් මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන සිටී.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහි දී මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකාවේ දිවි පෙවෙත ගැන කතා කරන විට අපිට ක්‍රියාශීලී මෙන්ම ක්‍රියාකාරී ජන ජීවිතයක් ඉතිහාසයේ උරුමව තිබුණා. නමුත් වර්තමානයේ පවතින කාර්‍යබහුලත්වය සමඟ ජනතාවගේ ක්‍රියාශීලීත්වය අඩු වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

බාල, තරුණ, වැඩිහිටි බොහෝ පිරිස අද තාක්ෂණය පිටුපස හඹා යාම නිසා මෙම තත්ත්වය වඩා නරක අතට හැරිලා. අපි දක්ෂ ක්‍රීඩකයෙක් හදන්න නම් ක්‍රියාශීලී අනාගත පරපුරක් නිර්මාණය කළ යුතුයි.

ක්‍රියාශීලී පරපුරක් ගොඩනගන්න නම් දෙමව්පියෝ දරුවෝ ක්‍රියාශීලී දිවිපෙවෙතක් කරා රැගෙන යා යුතුයි. 

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද උදාවෙන කාලය තමයි අපේ වැඩිම ක්‍රියාශීලී කාලසීමාව ලෙස හඳුන්වන්නේ. ඒ කාලසීමාවෙත් සෙනසුරාදා දිනයේ උදේ වරුවෙ පවුලේ සියලුදෙනා එකතුවෙලා ක්‍රියාශීලී දිවිපෙවෙතක් ගත කරන්න එකතු වෙන්න කියලා ගෞරවනීයව ආරාධනය කරනවා. 

කොළඹ තුරඟ තරග පිටියෙන් ආරම්භ කරපු මෙම වැඩසටහන ලංකාවේ සෑම පළාතකම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. 

මීට පෙර අපි සතියේ සෑම ඉරිදා දිනකම කිඹුලාවල හංදියේ සිට තුරඟ තරග පිටිය දක්වා පවුලේ සැමට එක්විය හැකි ලෙස ඉතා ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් “සයිකල් සන්ඩේ” වැඩසටහන ආරම්භ කළා. අද එය ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තිබෙනවා.

තවත් ක්‍රීඩා පුවත්:

ලංකාව තුළ පා පැදි මිල දී ගැනීමට නොමැති තත්ත්වයක් දැන් උද්ගත වෙලා කියලා දැනගන්න ලැබුණා. අපි අතිගරු ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරලා දේශීය පා පැදි නිෂ්පාදකයින්ට උදව් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ හරහා දේශීය පා පැදි නිෂ්පාදනය ඉහළ දමන්න අපි බලාපොරොත්තු වෙනවා.

පා පැදිය අපිට අලුත් දෙයක් නෙවෙයි. එදා අපි හංදියට, කඩේට ගියේ අපේ පා පැදියෙන්. දැන් තමා අපි යතුරු පැදියට හුරු වෙලා තියෙන්නේ. පෙර දිවි පෙවත නැවත වතාවක් ගෙන ආවොත් අපිට බෝ නොවන රෝග වලින් ආරක්ෂා වී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කරන්න පුළුවන්. 

අපි එයට දැමු අඩිතාලම “ෆැමිලි රන් සැටර්ඩේ – Family Run Saturday” වැඩසටහන අද ඉතාම සාර්ථකයි. තරුණ තරුණියන් බොහෝමයක් තමන්ගේ පවුලේ අය සමඟ මේ සඳහා එකතු වෙලා ඉන්නවා. 

ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා බැදුණු අපේ රට ප්‍රවර්ධනය වෙන විධියට  වගේම මේ රටේ ජනතාවට පරිසරයට, සතා සිවුපාවාට ආදරය කරමින් ක්‍රියාශීලි දිවි පෙවතක් ගත කරන්න පුළුවන් ආකාරයේ සංකල්ප රැසක් ඉදිරියේ දී අපි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<