සියවස් අඩක් ඉක්ම වූ සිංහ – කොදෙව් එක්දින මතක

Sri Lanka tour of West Indies 2026

1
Sri Lanka Cricket

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (03) Kingston හී Sabina Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙරට එක්දින තරග ඉතිහාසයට වසර 51ක් සපිරෙන්නට දින 4ක් තිබියදීයි.

මෙම ලිපිය ඒ අඩසිය වසක් ඉක්ම වූ සිංහ – කොදෙව් එක්දින තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් පිළිබඳ ව සාකච්ඡා කිරිමටයි.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු ප්‍රතිවාදීන් බවට පත් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව්වෝයි. ඒ 1975 පළමු එක්දින ලෝක කුසලාන තරගාවලියේදීයි. දෙරට අතර පැවැති එම තරගයේ දී කඩුලු 9ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වෙනවා.

ඒ අනුව ආරම්භ වූ දෙරට එක්දින තරග ඉතිහාසයේ මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 67ක දී එකිනෙකා හමුවී ඇති අතර දෙපිල ම ඉන් තරග 32ක් බැගින් ජයග්‍රහණය කර තිබෙනවා. පරාජිත තරග සංඛ්‍යාව ද 32ක් වන අතර නොවිසඳී අවසන් වූ තරග සංඛ්‍යාව 3ක්.

එම තරග සංඛ්‍යාවන් අතර දෙරට ද්විත්ව තරගාවලි 10ක දී එකිනෙකා හමුව තිබෙනවා. ඒ අතුරින් තරගාවලි 6ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙද්දී බටහිර ඉන්දීය කොදෙව්වෝ ජයග්‍රහණය කර ඇත්තේ තරගාවලි 3ක් පමණයි. ඉතිරි තරගාවලිය සම වෙමින් අවසන් වෙනවා.

දෙරට ක්‍රීඩකයෝ එක්දින තරගාවලියක දී අවසන් වරට හමුව ඇත්තේ 2024 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මෙරට සංචාරයේදීයි. තරග 3කින් යුත් එම තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

දෙරට ද්විත්ව තරගාවලි ඉතිහාසය
  සත්කාරකත්වය කාලය තරග තරගාවලියේ ප්‍රතිඵලය
1 ශ්‍රී ලංකාව 1993-94 3 තරගාවලිය 1-1ක් සම වුණා.
2 බ.ඉ. කොදෙව් 1995/96 1 ශ්‍රී ලංකාවට තරග 1-0ක ජයක්.
3 බ.ඉ. කොදෙව් 1997 1 බ. ඉ. කොදෙව්වන්ට තරග 1-0ක ජයක්.
4 බ.ඉ. කොදෙව් 2003 3 ශ්‍රී ලංකාවට තරග 2-1ක ජයක්.
5 බ.ඉ. කොදෙව් 2007/08 3 බ.ඉ. කොදෙව්වන්ට තරග 2-0ක ජයක්.
6 ශ්‍රී ලංකාව 2010/11 3 ශ්‍රී ලංකාවට තරග 3-0ක ජයක්.
7 ශ්‍රී ලංකාව 2015/16 3 ශ්‍රී ලංකාවට තරග 3-0ක ජයක්.
8 ශ්‍රී ලංකාව 2019/20 3 ශ්‍රී ලංකාවට තරග 3-0ක ජයක්.
9 බ.ඉ. කොදෙව් 2020/21 3 බ.ඉ. කොදෙව්වන්ට තරග 3-0ක ජයක්.
10 ශ්‍රී ලංකාව 2024/25 3 ශ්‍රී ලංකාවට තරග 2-1ක ජයක්.

 

එලෙසින් නිමා වූ දෙරට තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගී වූ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය. ඔහු දෙරට කණ්ඩායම් සහභාගී වූ තරග 32න් 30කට සහභාගී වෙනවා. බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් එකී වාර්තාවට හිමිකම් කියන්නේ තරග 25කට සහභාගී වී ඇති Brian Lara.

දෙරට තරග ඉතිහාසයේ වැඩිම වාර ගණනක දී කණ්ඩායම් මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ ශ්‍රී ලංකාවේ අර්ජුන රණතුංග ට වන අතර ඔහු අවස්ථා 15ක දී නායකත්වයේ කටයුතු කරනවා. ඒ අතුරින් තරග 7ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් වෙන අතර තවත් තරග 7ක් පරාජය වෙමින් ද සහ එක් තරගයක් විසඳුමකින් තොරව ද අවසන් තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහි ව වැඩිම තරග ප්‍රමාණයක් මෙහෙයවා ඇති නායකයා වෙන්නේ Richie Richardson. ඔහු තරග 13ක් මෙහයවා ඇති අතර ඉන් තරග 7ක් ජයග්‍රහණය කරමින් නිමා කරනවා. පරාජිත තරග සංඛ්‍යාව 5ක් වන අතර ඊට අමතර නොවිසඳුණ තරගයක් ද ඒ අතර වෙනවා.

දෙරට එක්දින තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්

360/4 : දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් ව ඇත්තේ 1987 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී Karachi හි දී බටහිර ඉන්දීය කොදෙව්වෝ රැස් කරන ලද මෙම ඉනිමයි.

මෙහි ශ්‍රී ලංකා වාර්තාව බවට පත් ව ඇත්තේ 2020 වසරේ දී හම්බන්තොට දී කඩුලු 8ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 345යි.

55/10 : දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව බවට පත් ඇත්තේ 1986 වසරේ දී Sharjah ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව දැවී ගිය මෙම ඉනිමයි.

බටහිර ඉන්දීය කොදෙව්වෝ මෙතෙක් ශ්‍රී ලංකාව ඉදිරියේ දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ 2006 වසරේ දී Brabourne හි දී ලකුණු 80කට දැවී යෑමයි.

662 : දෙරට ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වය එක් ව ලබා ගන්නා ලද වැඩි ම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙන්නේ 1995 වසරේ දී Sharjah ක්‍රීඩාංගණයේ දීයි. එහි දී බටහිර ඉන්දීය කොදෙව්වෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 333ක් ලබා ගන්නා ලද අතර ශ්‍රී ලංකාව පිළිතුරු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 329ක් ලබා ගන්නවා.

193 runs : මෙතෙක් දෙරට අතුරින් වැඩිම ලකුණු පරතරයකින් තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වනුයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ 1986 වසරේ Sharjah ක්‍රීඩාංගණයේදීයි.

1122 : දෙරට ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ හිමිකරු බවට පත් ව ඇත්තේ Brian Lara.

දෙරට එක්දින තරග ඉතිහාසයේ මෙතෙක් වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා
  Player Span M I NO Runs HS Ave 100 50
1 Brian Lara (WI) 1992-2007 25 25 2 1122 169 48.78 2 9
2 සනත් ජයසූරිය (SL) 1993-2007 30 30 2 922 115 32.92 1 5
3 අර්ජුන රණතුංග (SL) 1985-1997 22 22 7 756 87* 50.40 0 8
4 S Chanderpaul (WI) 1995-2011 20 20 4 680 77 42.50 0 7
5 මහේල ජයවර්ධන (SL) 1986-2013 22 20 4 679 106* 42.25 1 5

181 : දෙරට ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණුලාභී පිතිකරුවා බවට පත් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Vivian Richards. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 1987 ලෝක කුසලාන තරගාවලියේ Karachi ක්‍රීඩාංගණයේදීයි. කණ්ඩායමේ නායකයා ද වූ ඔහු එම ඉනිමට පන්දු 125ක් වැය කරන අතර ඊට හතරේ පහර 16ක් සහ හයේ පහර 7ක් එක් කරනවා.

මෙම වාර්තාවේ ශ්‍රී ලංකා හිමිකරු වෙන්නේ අවිශ්ක ගුණවර්ධන. ඔහු 2000 වසරේ දී Nairobi හි දී පන්දු 200කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟින් ලකුණු 132ක් ලබා ගන්නවා.

3X100s : දෙරට එක්දින තරග ඉතිහාසයේ වැඩිම ශතකලාභී පිතිකරු වෙන්නේ වමත් ආරම්භක පිතිකරු Evin Lewis. ඔහු දෙරට අතුරින් මෙතෙක් ශතකයක් වාර්තා කරන ලද අවසන් පිතිකරුවා ද වෙනවා.

ඔහුට අමතර ව ශ්‍රී ලංකාවේ අවිශ්ක ප්‍රනාන්දු සහ හෂාන් තිලකරත්න ද බටහිර ඉන්දීය කොදෙව් හී Shai Hope හා Brian Lara ද ශතක ද්විත්වය බැගින් ලබාගෙන තිබෙනවා.

9X50s : දෙරට එක්දින තරග ඉතිහාසයේ වැඩිම අර්ධ ශතකලාභී පිතිකරු වෙන්නේ Brian Lara. එහි ශ්‍රී ලංකා හිමිකරුවා වෙන්නේ අර්ජුන රණතුංග. ඔහු ලබා ගත් අර්ධ ශතක සංඛ්‍යාව 8ක්.

104X4s : දෙරට එක්දින තරග ඉතිහාසයේ වැඩිම හතරේ පහර එක් කළ ක්‍රීඩකයා වෙන්නේ සනත් ජයසූරිය. මෙම වාර්තාවේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයා වෙන්නේ Evin Lewis වන අතර ඔහු ලබා ඇති හතරේ පහර සංඛ්‍යාව 39ක්.

18X6s : දෙරට ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ද වෙන්නේ සනත් ජයසූරියයි. එම වාර්තාවට බටහිර ඉන්දීය කොදෙව්වන් තිදෙනෙක් ලැයිස්තු ගත ව සිටිනවා. ඒ හතරේ පහර 14ක් බැගින් එල්ල කළ Evin Lewis, Darren Bravo සහ Brian Lara.

106 : දෙරට ක්‍රීඩකයන් අතුරින් එක් ඉනිමක දී හතරේ පහර සහ හයේ පහර මඟින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරු බවට පත් ව සිටින්නේ Vivian Richards. ඔහු 1987 වසරේ දී Karachi හි දී වාර්තා කරන ලද ලකුණු 181ට හතරේ පහර 16ක් සහ හයේ පහර 7ක් මඟින් ඉහත ලකුණු ප්‍රමාණය එක් කරනවා.

මෙහි ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරු වෙන්නේ අවිශ්ක ගුණවර්ධන. ඔහු 2000 වසරේ දී Nairobi හි දී වාර්තා කරන ලද ලකුණු 132ට හතරේ පහර 19ක් මඟින් ලකුණු 76ක් එක් කරනවා.

280 : එක් තරගාවලියක දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලෙස දෙරට ඉතිහාසයට එක් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් හී Gordon Greenidge. ඔහු 1984/85 තරග සමයේ දී ඕස්ට්‍රේලියාව ද එක් ව ඕස්ට්‍රේලියාවේ දී පැවැති තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තරග 4ක ඉනිම් 4ක දී ශතකයක් සහ අර්ධ ශතයක් සමඟින් ඉහත ලකුණු ප්‍රමාණය වාර්තා කරනවා.

මෙහි ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරු වෙන්නේ රොෂාන් මහානාම. ඔහු 1995/96 තරග සමයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානය ද එක් කර ගනිමින් පැවැති තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශතකයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 243ක් ලබා ගන්නවා.

19 : දෙරට කණ්ඩායම් අතර පැවැති තරග අතුරින් ප්‍රතිවාදීන්ට එරෙහි ව වේගවත් ම අර්ධ ශතකය වාර්තා කළ පිතිකරු බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්. ඔහු 2024 වසරේ දී පල්ලෙකැලේ දී මෙම කඩඉමට පිවිසි අතර ඊට හතරේ පහර 9ක් සහ හයේ පහරක් ඇතුලත් වුණා.

61 : දෙරට කණ්ඩායම් අතර පැවැති තරග අතුරින් ප්‍රතිවාදීන්ට එරෙහි ව වේගවත් ම ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් හී  Evin Lewis ට. ඔහු 2024 වසරේ දී පල්ලෙකැලේ දී මෙම කඩඉමට පිවිසෙද්දී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් තම ඉනිමට ඇතුලත් කරනවා.

මෙම වාර්තා ද්විත්වය ම එක ම තරගයක දී සිදු වීමත් විශේෂත්වයක්.

34 : දෙරට එක්දින තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් පන්දු යවන්නා වෙන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්.

දෙරට එක්දින තරග ඉතිහාසයේ මෙතෙක් වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා
  Player Span M I Overs Md Runs Wkts Best 4 5
1 මුත්තයියා මුරලිදරන් (SL) 1993-2011 27 27 248.3 20 956 34 3/17 0 0
2 සනත් ජයසූරිය (SL) 1993-2007 30 24 166.3 3 831 29 5/58 0 1
3 චමින්ද වාස් (SL) 1995-2008 20 20 159.0 30 487 26 4/22 1 0
4 Courtney Walsh (WI) 1985-1997 22 22 184.4 32 673 26 5/01 0 1
5 Ottis Gibson (WI) 1995-1996 6 6 50.5 4 246 19 5/40 1 2

6/14 (9.0) : දෙරට ඉතිහාසයේ පන්දු යවන්නෙක් විසින් පෑ ඉහළ ම දක්ෂතාවේ වාර්තාව සතු වෙන්නේ දකුණතින් මඳ වේග පන්දු යැවූ ශ්‍රී ලංකාවේ ෆර්වීස් මහරූෆ් හටයි. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 2006 වසරේ ඔක්තෝබර් Brabourne හී පැවැති සූරයන්ගේ කුසලාන තරගාවලියේ දීයි.

මෙහි බටහිර ඉන්දීය කොදෙව් දක්ෂතාව දක්වන්නේ දකුණතින් වේග පන්දු යැවූ Courtney Walsh. ඔහු 1986 වසරේ දෙසැම්බර් Sharjah  හි දී පැවැති සූරයන්ගේ කුසලාන තරගාවලියේ දී ලකුණකට කඩුලු 5ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කරනවා. ඔහු ඒ සඳහා වැය කරන්නේ පන්දු 27ක් පමණක් වීමත් විශේෂත්වයක්.

2X5s : දෙරට ඉතිහාසයේ එක් පන්දු යවන්නෙක් විසින් කඩුලු 5ක් බැගින් දවා ගැනීම් වැඩිම ප්‍රමාණයක් වාර්තා කරන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දකුණතින් වේග පන්දු යැවූ Ottis Gibson. ඔහු 1996 වසරේ පැවැති Benson & Hedges World Series තරගාවලියේ දී Hobart හි දී පැවැති 6 වැනි තරගයේ දී ලකුණු 42කට කඩුලු 5ක් සහ එම තරගාවලියේ ම ජනවාරි 14 වැනිදා W.A.C.A හි දී පැවැති 11 වැනි තරගයේ දී ලකුණු 40කට කඩුලු 5ක් දවා ගනිමින් ද මෙම දක්ෂතාව සිදු කරනවා.

එහි ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරු වෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු 2013 වසරේ දී           Port of Spain හි දී ලකුණු 29කට කඩුලු 4ක් ද සහ 2020 වසරේ දී පල්ලෙකැලේ දී ලකුණු 59කට කඩුලු 4ක් ද දවා ගනිමින් අවස්ථා 2ක දී මෙම කඩඉමට පිවිසෙනවා.

12 : තරගාවලියක දී වැඩිම කඩුලු ප්‍රමාණයක් වාර්තා කරනු ලැබූ පන්දු යවන්නා බවට පත් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් හී Ottis Gibson. ඔහු 1996 වසරේ පැවැති Benson & Hedges World Series තරගාවලියේ දී මෙම දක්ෂතාව දක්වනවා

මෙහි ශ්‍රී ලංකා වාර්තාකරු වෙන්නේ චමින්ද වාස්. ඔහු ද 1996 වසරේ පැවැති Benson & Hedges World Series තරගාවලියේ දී කඩුලු 7ක් දවා ගනිමින් මෙම කඩඉමට පිවිසෙනවා.

20 : දෙරට ඉතිහාසයේ වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට සම්මාදම් වූ කඩුලු රකින්නන් බවට පත් වීමට බටහිර ඉන්දීය කොදෙව්වන් හී Jeff Dujon සහ ශ්‍රී ලංකාවේ රොමේෂ් කළුවිතාරණ සමත් වෙනවා.

එහි දී Jeff Dujon තරග 10ක දී උඩ පන්දු 18ක් සහ කඩුලු බිඳ දැමීම් 2ක් සමඟින් ද සහ රොමේෂ් කළුවිතාරණ තරග 22ක දී උඩ පන්දු 14ක් සහ කඩුලු බිඳ දැමීම් 6ක් සමඟින් මෙහි සම ව ලැයිස්තු ගත වෙනවා.

239 : දෙරට ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාවේ වාර්තාව සතු වෙන්නේ ශ්‍රී ලංකාවටයි. එහි දී 2020 වසරේ දී හම්බන්තොට දි කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු එක් ව මෙම වාර්තාව තබනවා.

මෙහි බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ වාර්තාව බවට පත් වෙන්නේ 2021 වසරේ දී Evin Lewis සහ Shai Hope එක් ව North Sound හි දී 1 වැනි කඩුල්ලට ලබා ගන්නා ලද ලකුණු 192යි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<