ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය පැවැත්වෙන්නේ මෙහෙමයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

654

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ දී තරග කරන කණ්ඩායම් සහ තරග පැවැත්වෙන දින, වේලාව පිළිබඳ කාලසටහන තහවුරු කර ගැනීමට සුපිරි කණ්ඩායම් 12 තරග වටය ඊයෙන් (06) අවසන් වීමත් සමඟින් හැකි වුනා.

ඒ අනූව අවසන් පූර්ව වටයේ දී සදාතනික ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්තානය පිළිවලින් එංගලන්තය සහ නවසීලන්තය මුණ ගැසීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ වීමට පෙර සුපුරුදු පරිදි ලෝක කුසලානය දිනා ගනිතැයි බොහෝ දෙනා විශ්වාස කළ Temba Bavumaගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම නෙදර්ලන්තය හමුවේ ලද ලැජ්ජා සහගත පරාජය හේතුවෙන් 2 කාණ්ඩය නියෝජනය කරමින් අවසන් පූර්ව වටයට යන පළමු කණ්ඩායම බවට පත් වීමට ඉන්දියාව සමත් වූ අතර කිසිවකු හෝ නොසිතූ පරිදි එම කාණ්ඩයේ ලකුණු සටහනේ ද විශාල වෙනසක් සිදු වුනා.

එම අනපේක්ෂිත පරාජයත් සමඟින්ම Babar Azamගේ නායකත්වයෙන් යුත් පාකිස්තානයට ද අවසන් පූර්ව වටයට යාමට මග පෑදුණු අතර, බංග්ලාදේශයට එරෙහිව ඔවුන් අද ලැබූ ජයග්‍රහණයත් සමඟින් අවසන් කණ්ඩායම් හතර අතරේ තම ස්ථානය නිල වශයෙන් තහවුරු කර ගැනීමට ඔවුන් සමත් වුනා.

එමෙන්ම ඊයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 71ක් පහසු ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය කණ්ඩායම 2 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය තහවුරු කර ගැනීමට ද සමත් වුනා.

මේ අතර 1 කාණ්ඩය නියෝජනය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් ලබා ගැනීමට සමත් වුනේ එංගලන්තය සහ නවසීලන්තයයි.

ඒ අනුව මෙවර 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වීමට නියමිත වන්නේ,

අවසන් පූර්ව වටයේ පළමු තරගය: නවසීලන්තය සහ පාකිස්තානය අතර – නොවැම්බර් 09 (බදාදා) ප.ව.1.30 ට – සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය: එංගලන්තය සහ ඉන්දියාව අතර – නොවැම්බර් 10 (බ්‍රහස්පතින්දා) ප.ව.1.30 ට – ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ දී

එම තරග ද්විත්වයේ ජයග්‍රාහකයින් නොවැම්බර් 13 වැනිදා (ඉරිදා) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<