උත්සාහක දිනුම් වර්ෂාවකින් නාවිකයන් CH&FC සෝදාපාළු කරයි

551
CH&FC vs Navy
නාවික හමුදාව සහ CH&FC අතර වැලිසරදී පැවති තරගයේ ඡායාරූපයක්. ©ThePapare.com

අති විශිෂ්ට රග්බි සංදර්ශනයකින් වැලිසර පිහිටි තම සත්කාරක ක්‍රීඩාංගනය වර්ණවත් කළ නාවික හමුදා ක්‍රීඩකයන්, ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තුන් වන සති අන්තයට අදාළ තරගයකින් CH&FC ක්‍රීඩා සමාජයට ලකුණු 55 – 03ක දැවැන්ත පරාජයක් අත්කර දීමට සමත් විය.

පසුගිය ලිපි: CR&FC පරදා ජය හැව්ලොක් සමාජයට

තරග ආරම්භයේ සිටම නාවිකයන් තම ආධිපත්‍ය පැතිරවීම ආරම්භ කල අතර කෙසේ වෙතත් CH&FC ක්‍රීඩකයන්, නාවිකයන් හට තමන්ගේ ගෝල සීමාවට ලගා වීමට ඉඩ ලබා නොදෙමින් අගනා පසුපෙළ දක්ෂතා පෙන්නුම් කරන්නට සමත් විය. මිනිත්තු 12ක් පමණ CH&FC පසුපෙළ සමඟ සිදු කල සටනකින් පසු එම ආරක්ෂක සංවිධාන බිඳ හෙලමින් පන්දුව සිය පාදයෙන් ඉදිරියට යොමු කරන්නට රිචී ධර්මපාල කටයුතු කරන ලදී. CH&FC ගෝල සීමාව අසලටම ඇදී ගිය එම පන්දුව පසුපස හඹා ගිය චානක චන්දිමාල් නියමිත අවස්තාවේදී ම පන්දුව මත පතිත වෙමින් තරගයේ පළමු ලකුණු නාවික හමුදා ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය. තියුණු කෝණයකින් එල්ල කළ මනා ප්‍රවර්තනයකින් අතිරේක ලකුණු 2ත් නාවික හමුදාවට තිලිණ කරන්නට තිලිණ වීරසිංහ සමත් විය. (නාවික හමුදාව 07 – 00 CH&FC)

ඉන් අනතුරුව නාවික හමුදා ක්‍රීඩකයන් ලකුණු රැස් කිරීමට මහත් කලබලයකින් කටයුතු කරන අයුරක් මෙන්ම තරගයේ රිද්මය නැවත නැවතත් ඒ අයුරින්ම පවතින බවක්ද දක්නට ලැබුණි. CH&FC ක්‍රීඩක ෆාරිස් අලි තරගය නැවත ආරම්භ කිරීම, නාවික හමුදා ඉදිරි පෙළ ක්‍රීඩකයන් නොනැවැත්විය නොහැකි ලෙස ඉදිරියට ඇදීම, අවසානයේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීම සහ එම ක්‍රියා පටිපාටියම යලි යලිත් පුනරූපනය වීම එම රිද්මයයි. මෙම දිගු ගමනේ දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ CH&FC උත්සාහක දිනුම් රේඛාවට මීටර් 5ක් මෙපිටින් ලැබුණු ස්ක්‍රම් අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත් ලී කීගල් ක්‍රීඩකයායි. තිලිණ වීරසිංහ එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගන්නා ලදී. (නාවික හමුදාව 14 – 00 CH&FC)

තවත් මිනිත්තු  කිහිපයක් තුළ තිලිණ වීරසිංහ තනිවම තවත් ලකුණු 7ක් නාවික හමුදා ලකුණු පුවරුවට එකතු කළේ ඔහුම වාර්තා කල උත්සාහක දිනුමක් සාර්ථකව ප්‍රවර්ථනය කරමිනුයි. සංචාරක කණ්ඩායමේ කනගාටුදායක තත්ත්වය තවදුරටත් වර්ධනය කරමින් නිෂ්මි නිලර් කහ කාඩ් පතක් ලබා  පිටියෙන් ඉවත් වූයේ ඔහු නීති විරෝධී අයුරින් සිදු කළ High Tackle ආක්‍රමණයක් හේතුවෙනි.

මේ අනුව CR&FC කණ්ඩායමට මිනිත්තු 10ක කාලයක් ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවූ අතර එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය එම කාලයේ මිනිත්තු 5ක් තුල උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරන්නට සමත් විය.

ලී කීගල් සහ දුලංජන විජේසිංහ වාර්තා කල එම උත්සාහක දිනුම් දෙකත් සමඟ නාවිකයන් පළමු අර්ධය තුලදීම උත්සාහක දිනුම් 4 සීමාව පසු කර ගියේ තම කණ්ඩායමට පාරිතෝෂික ලකුණු (Bonus Point) ද හිමිවන බව තහවුරු කර ගනිමිනුයි. (නාවික හමුදාව 33 – 00 CH&FC)

නාවික හමුදා ඉදිරි පෙළ ක්‍රීඩකයන් පළමු අර්ධය තුළ දැක්වූ දක්ෂතා ඉතා ඉහල මට්ටමක පැවති අතර එමගින් CH&FC ආරක්ෂක සැකැස්මට ප්‍රභල අභියෝගයක් එල්ල කරන්නට ඔවුන් සමත් විය. එමෙන්ම ඔවුන්ගේ පසු පෙළ, වෙසෙසින්ම අංක 8 ස්ථානයේ ක්‍රීඩා කල නිවංක ප්‍රසාද් මෙම තරගය තුල විශාල දායකත්වයක් ලබා දෙන ලදී. කෙසේ වෙතත් CH&FC ක්‍රීඩා සමාජය නාවික හමුදා අන්තය වෙත පිවිසි එකම අවස්තාවේදී නාවිකයන් නීති විරෝධී ක්‍රීඩා විලාශයක් සඳහා පොළඹවා ගන්නට ඔවුන් සමත් වූ අතර ජනිත් චන්දිමාල් එමගින් හිමිවූ දඬුවම් පහර සාර්ථකව එල්ල කරමින් ලකුණු 3ක් ලබා ගන්නා ලදී.

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 33 – 03 CH&FC ක්‍රීඩා සමාජය

විවේකයෙන් පසු පළමු මිනිත්තු 20ක කාලය ගෙවී ගියේ කිසිදු කණ්ඩායමක් ලකුණු රැස් කිරීමට අපොහොසත් වූ කාල සමයක් ලෙසිනුයි. කෙසේ වෙතත් පන්දුවේ අයිතිය සුපුරුදු පරිදීම වැඩි කාලයක් නාවික හමුදා ක්‍රීඩා සමාජය සතුව පැවතුණු අතර ඔවුන් හට ලකුණු ලබා ගැනීමේ අවස්ථා රැසක් හිමිවුනත්, නාවිකයන්ගේම යම් යම් අතපසුවීම් හේතුවෙන් ලකුණු ලබා නොදී සිටීමට CH&FC ක්‍රීඩකයන් සමත් විය. අවසන් මිනිත්තු 20 තුල ක්‍රීඩක ආදේශන මගින් වෙහෙසට පත් නොවූ ක්‍රීඩකයන් පිටියට ඇතුලත් කල නාවික හමුදා ක්‍රීඩා සමාජය යලිත් වරක් CH&FC ආරක්ෂක පෙළ බිඳ දමමින් ලකුණු ලබා ගන්නට සමත්කම් දක්වන ලදී.

මේ අනුව නාවික හමුදා ක්‍රීඩා සමාජයේ 6 වන උත්සාහක දිනුමේ අයිතිය හිමි කර ගත්තේ නිවංක ප්‍රසාද් ක්‍රීඩකයා යි. මීටර් 40 සීමාවේදී ප්‍රතිවාදී ආරක්ෂකයන් පසු කර මීටර් 22 සීමාව තුලට පන්දුව රැගෙන ගිය බුද්ධිම පියරත්න එම පන්දුව නිවංක හට ලබා දුන් අතර ඔහු CH කණ්ඩායමේ අවසන් ආරක්ෂකයන් අභිබවා යමින් එම උත්සාහක දිනුම වාර්තා කරන ලදී. (නාවික හමුදාව 38 – 03 CH&FC)

ඉන් මිනිත්තු 3කට පසු සත්කාරක නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කලේ, දෙවන අර්ධයේදී පිටියට පිවිසි ආදේශක ක්‍රීඩක හර්ෂ මධුරංගයි. ප්‍රතිවාදීන් මුලා කරන ආකාරයේ අගනා පාද හැසිරවීමකින් පන්දුව ඉදිරියට රැගෙන යාම සඳහා විවෘත කලාපයක් සකසා දෙන්නට රිචී ධර්මපාල සමත් වූ අතර මධුරංග එම ඉඩ කඩ මනාව ප්‍රයෝජනයට ගනිද්දී තිලින වීරසිංහ අතිරේක ලකුණුද එකතු කරන ලදී. (නාවික හමුදාව 45 – 03 CH&FC)

තරගයේ අවසන්  මිනිත්තු 10 තුළදීත් නාවික හමුදා ක්‍රීඩා සමාජය තවත් උත්සාහක දිනුම් 2ක් වාර්තා කලේ ලකුණු පරතරය 52ක් දක්වා ඉහල දමා ගනිමිනි. මේ අනුව අවසන් ලකුණු පුවරුව සත්කාරක කණ්ඩායමට ගෞරවනීය සහ සංචාරක CH&FC කණ්ඩායමට වඩාත් අවමන් සහගත ලෙස දිස්විය.

කෙසේ වෙතත් මෙම තරගයේදී නාවික හමුදා කණ්ඩායමේ දක්ෂතා ද පැවතුනේ තරමක් පහත මට්ටමකයි. ලකුණු පුවරුව තුලින් නාවිකයන්ගේ ප්‍රබල දස්කමක් දිස් වුවත්, ප්‍රාථමික මට්ටමේ අතපසුවීම් සහ ගිලිහී ගිය අවස්ථා නොවන්නට ඔවුන් හට මීටත් වඩා ඉහල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අවස්තාව පැවතුනි.

CH&FC කණ්ඩායමේ ක්‍රීඩා විලාශය පිලිබඳ සලකා බැලීමේදී ඔවුන් තරගයේ කිසිදු අවස්තාවක පාලනය තමන් සතු කර ගැනීමට සමත් නොවීය. මුළු මිනිත්තු 80ක කාලය පුරාවටම නාවික හමුදා අර්ධයේ මීටර් 22 සීමාව පසු කර පන්දුව රැගෙන එන්නට ඔවුන් සමත් වූයේ එක් වරක් පමණක් වන අතර එම අවස්ථාවේදී හෝ නාවික හමුදා මීටර් 5 රේඛාව ඉක්මවන්නට ඔවුන්ට හැකියාව ලැබුනේ නැත. එමගින් මෙම තරගය තුල නාවික හමුදාවට තිබූ සම්පූර්ණ පාලනය මනාව පිළිබිඹු කරයි.

අවසන් ලකුණු තත්ත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය  55 – 03 CH&FC ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ප්‍රසාද් නිවංක  (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

නාවික හමුදා කණ්ඩායමේ ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

  • තිලිණ වීරසිංහ – උත්සාහක දිනුම් 01, ප්‍රවර්තන 05
  • ලී කීගල් – උත්සාහක දිනුම් 02
  • දුලංජන විජේසිංහ – උත්සාහක දිනුම් 01
  • ප්‍රසාද් නිවංක – උත්සාහක දිනුම් 01
  • චානක චන්දිමාල් – උත්සාහක දිනුම් 01
  • ලහිරු හේරත් – උත්සාහක දිනුම් 01
  • ස්ටෙෆාන් ග්‍රෙගරි – උත්සාහක දිනුම් 01
  • හර්ෂ මධුරංග – උත්සාහක දිනුම් 01

CH & FC ක්‍රීඩා සමාජයේ ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

  • ජනිත් චන්දිමාල් – දඬුවම් පහර 01

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට