Mohammad Nabi නායකත්වයෙන් සමුගනියි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

1992

කණගාටුදායක ලෙස අවසන් වූ ලෝක කුසලාන තරගාවලියකින් පසුව  ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වීමට Mohammad Nabi විසින් තීරණය කර තිබෙනවා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අද (4) ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් ලද පරාජයත් සමඟ ඇෆ්ගනිස්ථානය, මෙවර තරගාවලිය කිසිඳු ජයග්‍රහණයකින් තොරව අවසන් කළ අතර ඔවුන්ගේ තරගාවලි සාරංශය පරාජයන් 3ක් සහ විසඳුමක් නොමැති තරග 2ක් ලෙස සටහන් වුනා.

මීට සුළු මොහොතකට පෙර Nabi විසින් twitter සටහනක් නිකුත් කරමින් තමන් ඇෆ්ගනිස්ථාන නායකත්වයෙන් ඉවත් වන බවත්, තේරීම් කමිටුව ‘එක මතයක්’ නියෝජන නොකිරීම පිළිබඳ සිය අසතුටත් ප්‍රකාශ කර තිබුණා.

“පසුගිය වසර පුරාවටම කණ්ඩායම නායකයාට අවශ්‍ය මට්ටමක හෝ විශාල තරගාවලියකට මුහුණ දීමට සුදුසු මට්ටමක තිබුණේ නැහැ. ඒ වගේම පසුගිය සංචාර කිහිපයකම කණ්ඩායම් කළමනාකාරීත්වය, තේරීම් කමිටුව සහ මගේ අදහස් එක වගේ වුනේ නැහැ. කණ්ඩායමේ සමතුලිතතාවයට එය බලපෑවා.” යනුවෙන් Nabi පවසා තිබුණා.

මෙවර ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්ථානය, එංගලන්තය හමුවේ සිය ප්‍රථම තරගයෙන් පරාජය වූ අතර ඉන්පසුව ඔවුන්ට මුහුණ දීමට තිබූ තරග දෙකක්ම (අයර්ලන්තය සහ නවසීලන්තය සමඟ) වර්ෂාව නිසාවෙන් අත්හැර දැමුනා.

නමුත් ඔවුන්ට සිය අවසන් තරග දෙක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව හමුවේ ක්‍රීඩා කිරීමට හැකි වුනු අතර කණ්ඩායම් දෙකටම තර්ජනයක් එල්ල කිරීමට ඔවුන් සමත් වූවත් එය ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගත නොහැකි වුනා.

“අප කණ්ඩායම හෝ අපේ ආධාරකරුවන් බලාපොරොත්තු නොවූ අවසානයක් සහිතව අපේ විස්සයි විස්ස ලෝක කුසලාන ගමන අවසන් වුනා. තරග ප්‍රතිඵල ගැන ඔබ වගේම අපිත් කලකිරීමෙනුයි පසුවන්නේ.”

“එම නිසා නිසි ගෞරව සහිතව මම නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කරන අතර කණ්ඩායම් කළමනාකාරීත්වයට මෙන්ම කණ්ඩායමට අවශ්‍ය වන තෙක් මම දිගටම ක්‍රීඩා කරමි.” යනුවෙන් Nabi විසින් සිය සමුගැනීමේ සටහනේ සඳහන් කර තිබුණා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<