Nurul Hasanගෙන් Kohliට සහ තරග විනිසුරුවරුන්ට චෝදනා!

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1172

ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli විසින් “ව්‍යාජ පන්දු රැකීමක්” (fake fielding) සිදු කළ බවත්, එය විනිසුරුවරුන්ට මගහැරුණු බවටත් Nurul Hasan විසින් චෝදනා කර සිටිනවා.

එම ප්‍රකාශය සත්‍යයක් නම් බංග්ලාදේශ කණ්ඩායමට දඬුවම් ලකුණු පහක් හිමි විය යුතුයි. එමෙන්ම විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ බංග්ලාදේශය මෙම තරගය පරාජය වූයේ ද ලකුණු පහකින් වීමයි.

බංග්ලාදේශ ඉනිමේ හත්වැනි පන්දුවාරයේ දී Linton Das විසින් එල්ල කළ පහරක් deep off-side හී පන්දු රකිමින් සිටි Arshdeep Singh විසින් රැකගෙන බාර කරද්දී, පිටියේ මැද සිටි Kohli විසින් එම පන්දුව රැක ගෙන කඩුල්ලට එල්ල කරන ආකාරයෙන් ව්‍යාජ ලෙස හැසිරුණා.

අදාළ මොහොතේ පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ Marais Erasmus සහ Chris Brown දෙදෙනාට එය මග හැරුණු අතර, Das සමඟින් පිතිකරණයේ නිරත වුණු Najmul Hossain Shanto විසින් ද එය පෙන්වා දුන්නේ නැහැ.

තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ Nurul මේ බව ප්‍රකාශ කළා.

අපි හැමෝම දැක්කා ඒක තෙත ක්‍රීඩාංගණයක්, අපි මේ දේවල් කතා කරන අතරෙම එහි දී ව්‍යාජ පන්දු යොමු කිරීමක් සිදු වුණු බවත් කිව යුතුයි. එමගින් දඬුවම් ලකුණු පහක් හිමි වෙන්න ඉඩ තිබුණා, ඒත් අවාසනාවකට ඒවා ක්‍රියාත්මක වුනේ නැහැ.”

මේ හා සම්බන්ධ වන ක්‍රිකට් නීතිය මෙලෙසයි,

41.5, “හිතාමතා අවධානය වෙනතකට යොමු කිරීම, රැවටීම හෝ බාධා කිරීම” තහනම් කර ඇති අතර, යම් සිද්ධියකින් එම නීතිය කඩ වේ නම් විනිසුරුවරුන් හට එය මළ පන්දුවක් (dead ball) ලෙස නම් කළ හැකි අතර පිතිකරණයේ යෙදෙන කණ්ඩායමට දඬුවම් ලකුණු පහක් ද ලබා දිය හැකියි.

Arshdeep Singh විසින් පන්දුව යොමු කරන මොහොතේ දීම Kohli විසින් මෙම ව්‍යාජ අනුකරණය සිදු කිරීම නිසා එය ක්‍රිකට් නීතිය උල්ලංඝනය කිරීමක් බව ESPNcricinfo මාධ්‍ය මගින් ද හුවා දක්වනවා. නමුත් එය පිටියේ විනිසුරුවරුන් විසින් ඒ මොහොතේ දී ලබා දිය යුතු තීරණයක්.

මෙම සිදු වීම ඊයේ පැවති තරගයේ විනිසුරුවරුන් සම්බන්ධව කතා බහට ලක් වෙන සිදු වීම් තුනෙන් එකක්.

තවත් සිදුවීමක් වන්නේ ඉන්දීය ඉනිමේ 16 වැනි පන්දුවාරය යැවූ Hasan Mahmud විසින් තමන්ට දෙවන වරටත් බවුන්සර් පන්දුවක් එවූ බව විශ්වාස කළ Kohli විසින් එය Marais Erasmus හට සංඥා කළ අතර, ඉන්පසුව Erasmus විසින් එය නිපන්දුවක් ලෙස සලකුණු කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් Kohli සහ Shakib අතර සංවාදයක් ඇති වූ අතර අවසානයේ ඔවුන් එකිනෙකා වැළඳ ගනිමින් එය විසඳා ගත් බව පෙනී ගියා.

අනෙක් සිදුවීම වන්නේ වර්ෂාවෙන් පසුව තරගය නැවත ආරම්භ කිරීමේ සිදු වීමයි.

එහි දී විනිසුරුවරුන් හමුවීමට පෙර Shakib විසින් පිටියේ තෙත සහිත ස්වභාවය පිළිබඳ පරීක්ෂා කළ අතර, ඉන්පසුව ඔහු විනිසුරුවරුන් හමුවීමට ගියා. එහි දී ඔහුගේ අංග චලනයන් ගෙන් පෙනී ගියේ ඔහු පිටිය පිළිබඳ සෑහීමකට පත් නොවූ බවයි.

නමුත් පෙර සඳහන් කළාක් මෙන් Shakib විසින් තරගයෙන් පසු ඒ පිළිබඳ කිසිදු චෝදනාවක් එල්ල කළේ නැහැ.

  • ඉන්දියාව – 184/6 (20): Virat Kohli 64, KL Rahul 50; Hasan Mahmud 3-47
  • බංග්ලාදේශය – 145/6 (16): Litton Das 60, Nurul Hasan 25; Hardik Pandya 2-28, Arshdeep Singh 2-38 (DLS න්‍යාය අනූව)

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<