ලෝක කුසලානයේ නැරඹිය යුතුම තරග 5ක්

ICC එක්දින ලෝක කුසලානය 2023

7617

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් කිරීමත් සමඟ තරගාවලිය පිළිබඳ ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ වැඩි අවධානය යොමු වීමට පටන් ගෙනයි තියෙන්නේ.

සියලු කණ්ඩායම් මූලික වටයේ දී තරග 9ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර මූලික වටය අවසානයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

ලෝක කුසලාන කාලසටහන නිකුත් වීමත් සමඟ තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගන්නා නැරඹිය යුතු තරග පහක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්තානය – ඔක්තෝබර් 15 (අහ්මදාබාද්)

ඕනෑම ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් ඉතා අවධානය දිනා ගන්නා එකක් වන අතර එම තරගය එක් කණ්ඩායමක් සත්කාරකත්වය දරන විට එම අවධානය දෙගුණ වෙනවා.

මෙම තරග සඳහා කණ්ඩායම් දෙකටම ආරම්භයේ සිටම දැඩි පීඩනයක් එල්ල වන අතර 2021 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉන්දීය ක්‍රීඩකයින් පාකිස්තානය හමුවේ පරාජයට පත් වීමෙන් එම තරගාවලියේ අසාර්ථක වීමට ද ඔවුන්ට සිදු වුනා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ගෞරව ඉන්දීය කණ්ඩායම හිමි කර ගෙන තිබෙන නමුත් Babar Azam ප්‍රමුඛ ප්‍රබල පාකිස්තාන ක්‍රීඩකයින් මෙවර සත්කාරකයින්ට විශාල අභියෝගයක් එල්ල කිරීමට සූදානමින් සිටිනු ඇත.

එංගලන්තය සහ නවසීලන්තය – ඔක්තෝබර් 15 (අහ්මදාබාද්)

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කළ කණ්ඩායම් දෙක ක්‍රීඩා කරන මෙම තරගය මෙවර තරගාවලියේ ආරම්භක තරගය වෙනවා.

පසුගිය එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය අවස්ථා දෙකක දී සමව අවසන් වූ අතර පසුව නවසීලන්තය හතරේ පහර ගණනින් පරාජය කරමින් ජයග්‍රහණය ලැබීමට එංගලන්තය හැකි වුනේ තරමක මතභේදයක් ද ඇති කරමිනුයි.

එම තරගයෙන් පසු කණ්ඩායම් දෙකම බොහෝ වෙනස් වී ඇතත්, සීමිත පන්දුවාර තරග පිටියේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට කණ්ඩායම් දෙකටම හැකිව තිබෙනවා.

Jos Buttler එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරද්දී, නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස අත්දැකීම් බහුල ක්‍රීඩක Kane Williamson කටයුතු කරනවා.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව – ඔක්තෝබර් 08 (චෙන්නයි)

සත්කාරක ඉන්දීය කණ්ඩායම තරගාවලිය ආරම්භ කරන්නේ මෙම තරගයෙන් වන අතර තරමක් මන්දගාමී තණතීරු සහිත මෙම ක්‍රීඩාංගණයේ තරග කිරීම ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට තරමක අභියෝගයක් වෙනවා.

නමුත් වත්මන් එක්දින ශ්‍රේණිගත කිරීමේ අංක 01 කණ්ඩායම වන ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් ඉතා ප්‍රබල කණ්ඩායමක් වන අතර ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩකයින් වන Mitch Marsh සහ  Glenn Maxwell පන්දු 20ක් තුල තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයින් වෙනවා.

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව – ඔක්තෝබර් 13 (ලක්නව්)

2019 වසරේ ඉතා අසාර්ථක ලෝක කුසලානයකින් පසු දකුණු අප්‍රිකාවට සිය නැවත පැමිණීම පෙන්නුම් කිරීමට මෙම ලෝක කුසලානය ඉතා වැදගත් වන අතර ඔවුන් එම තරගාවලියේ දී තරග 9ක් තුළ ජයග්‍රහණය කළේ තරග 3ක් පමණයි.

නමුත් එම තරගාවලියෙන් පසු එක්දින පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ දකුණු අප්‍රිකා කණ්ඩායම Temba Bavuma මෙහෙය වනවා.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලකුණු ලබා ගැනීම අසීරු ක්‍රීඩාංගණයක් වූ මෙම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීම එතරම් පහසු නොවන අතර කණ්ඩායම් දෙකෙහිම ප්‍රධානතම අවිය වන්නේ වේග පන්දුවයි.

ඒ අනුව Kagiso Rabada සහ  Anrich Nortje එරෙහිව Pat Cummins සහ  Mitchell Starc ගේ තරගය මෙහි දී දැක ගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකි වෙනවා.

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය – ඔක්තෝබර් 07 (ධර්මසාලා)

තරගාවලියට එක් වන පෙරළිකාරී කණ්ඩායම වන බංග්ලාදේශය මෙම ක්‍රීඩාංගණවල ඉහළ දස්කම් දැක්වීමට හැකි කණ්ඩායමක් වන අතර ඔවුන්ගේ දිනයේ දී ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමට හැකි බව ඔවුන් පෙන්නුම් කර තිබෙනවා.

ඔවුන් මෙවර තරගාවලිය ආරම්භයේ දී තවත් ඉතා පෙරළිකාරී කණ්ඩායමක් වන ඇෆ්ගනිස්ථානය සමඟ තරග වැදීමට නියමිත අතර Rashid Khan ප්‍රමුඛ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් බංග්ලාදේශ ක්‍රීඩකයින් ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට හැකි දක්ෂ කණ්ඩායමක් වෙනවා.

මෙම තරගවලට අමතර ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ඔක්තෝබර් නොවැම්බර් 4 පැවැත්වෙන තරගය මෙම තරගාවලියේ වැඩි අවධානය දිනා ගන්නා තරගයක් වන අතර අළු බඳුන ප්‍රතිවාදීන් අතර පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වීමට වැඩි ඉඩක් තිබෙනවා.

එමෙන්ම 2011 වසරේ සම වූ තරගයක් ක්‍රීඩා කළ ඉන්දියාව සහ එංගලන්තය ඔක්තෝබර් 29 ලක්නව් හී තරග වැදීමට නියමිතව තිබෙන අතර අවසන් එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගය ක්‍රීඩා කළ නවසීලන්තය සහ ඉන්දියාව අතර තරගය ධර්මසාලා හී පැවැත්වෙනවා. මෙම තරග දෙක ද මෙවර ලෝක කුසලානයේ ඉහළ අවධානය දිනා ගන්න තරග වෙනවා.

2023 එක්දින ලෝක කුසලානය ඇතුළු සියලු ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<