“රට වෙනුවෙන් ලැබෙන අවස්ථා Miss කරන්නේ නැහැ; මගේ හදවත එතන”

215

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය සඳහා සහභාගී වන කොදෙව් කණ්ඩායම සඳහා Universe Boss හෙවත් Chris Gayle කැඳවා තිබීම පසුගිය සති කීපය තුල කතාබහට ලක්වුනා.

ඒ ඔහු වසර කීපයකට පසුව නැවතත් කොදෙව් කණ්ඩායමට පිවිසීම හේතුවෙන්. කොදෙව් කණ්ඩායම සඳහා නම් කිරීමට පෙර Chris Gayle පාකිස්තානයේ පැවැත්වෙන Pakistan Super League තරගාවලිය සඳහා ක්‍රීඩා කරමින් සිටියා. විස්සයි විස්ස තරග රටාව උඩු යටිකුරු කළ මේ ජාත්‍යන්තර සන්නාම ක්‍රීඩකයා නැවතත් ජාතික කණ්ඩායමට පිවිසීමේ අවස්ථාව ඉහළින්ම පිළිගෙන තිබුණා.

මම ක්‍රීඩාවෙන් සමුගැනීම ගැන හිතමින් හිටියේ. ඒ වෙලාවේ මගේ රසිකයෝ ගොඩක් මට කිව්වේ යන්න එපා පුළුවන් තරම් ක්‍රීඩා කරන්න කියලා. ඒ නිසා මම තීරණය කළා දිගටම ක්‍රීඩා කරන්න. මම ජාත්‍යන්තර ක්‍රීඩාවට නැවත එන එක ගැන හිතලා තිබුණේ නැහැ. මම ලීග් තරග ගැන තමයි අවධානය යොමු කළේ. Chris Gayleට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් කරන්න පුළුවන් දෙයක් තියනවා නම් ඒ දේ කරන්න තමයි මට ඕනේ” Cricbuzz වෙබ් අඩවිය සමඟින් එක්වූ සාකච්ඡාවක දී Gayle පවසා තිබුණා.

ක්‍රිකට් ආයතනය මට කතා කරලා මට ක්‍රීඩා කරන්න පුළුවන් ද, ක්‍රීඩා කරන්න කැමතියි ද කියලා ඇහුවා. මම කිව්වා ඔව් මට කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඕනේ කියලා. එතන තමයි මගේ හදවත තියෙන්නේ. මට මගේ රටට ක්‍රීඩා කරන්න ලැබෙන අවස්ථාවක් කවදාවත් මඟහැරගන්නේ නැහැ. ඒ නිසා මම පාකිස්තානයෙන් ආවා. මට ඕනේ වුනේ ලෝක කුසලානයට යන කණ්ඩායමට ශක්තියක් වෙන්න. අපේ කණ්ඩායමේ එකමුතුකම හදාගන්න. මම හිතනවා අපිට ලෝක කුසලානය දිනා ගන්න පුළුවන් කියලා.”

2019 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව Chris Gayle කොදෙව් කණ්ඩායම නියෝජනය කළේ නැහැ. ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා වනු ඇති බවට බොහෝදෙනා මත පලකර තිබුණා. කෙසේ වෙතත් 2019  වසරේ ලෝක කුසලානය ඔහුගේ එක්දින දිවියේ අවසන් තරගාවලිය බව නිල වශයෙන් නිවේදනය කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත් :

ඉන් අනතුරුව ලොව වටා ඇති ලීග් තරගාවලි සඳහා නිත්‍ය සාමාජිකයෙකු වූ Gayle තමන් අවුරුදු 45ක් වන තුරු ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව පසුගිය දා පවසා තිබුණා.

“මට දැන් වයස 41ක්. මම හිතනවා මේ වෙද්දිත් මට ක්‍රීඩා කරන්න හැකියාව තියෙන්නේ මගේ මානසික ශක්තිය නිසා කියලා. පන්දුවට පහරදෙන එක මට තවමත් විනෝදයක්. ඒක තමයි මට තවත් ක්‍රීඩා කරන්න තල්ලුවක් දෙන්නේ. කවදාහරි මගේ මනස වෙනස් වුනොත් එදාට මට මගෙන්ම ප්‍රශ්නය අහන්න වේවි. ඒත් දැන් මගේ මනස වෙනස් වෙන්නේ නැහැ.”

පසුගිය දශකය තුල විස්සයි විස්ස තරග රටාවේ කැපීපෙනෙන කණ්ඩායම බවට කොදෙව් කණ්ඩායම පත්වුනා. ඔවුන් 2012 සහ 2016 වසරවල දී පැවති ලෝක කුසලාන තරගාවලි දෙකම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එම ජයග්‍රාහී කණ්ඩායම් දෙකම නියෝජනය කිරීමට වාසනාවන්ත වුනේ කොදෙව් ක්‍රීඩකයන් 8 දෙනෙකු පමණයි. Gayle ඉන් ප්‍රධාන ක්‍රීඩකයෙක්.

මෙම වසරේ ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තම ප්‍රධාන ඉලක්කය බව Gayle තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

මම ලෑස්තියි ඒ ගමන යන්න. හෙමින් හෙමින් ඉලක්කයට යන එක තමයි මගේ බලාපොරොත්තුව ඉස්සෙල්ලම අපි මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න ඕනේ. ඒත් මගේ ප්‍රධාන ඉලක්කය මගේ නම ඉදිරියේ විස්සයි විස්ස ලෝක කුසලාන තුනක් සටහන් කරගන්න එක. මගේ මනසේ දැන් තියන ඉලක්කය ඒක. අපිට ඉදිරියේ දී තරගාවලි කීපයක් තියනවා. අපිට පුළුවන් ඒ අත්දැකීම් එක්ක ඉස්සරහට යන්න.”

තරගාවලිය සඳහා නම් කළ කොදෙව් සංචිතයේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ හැකි ක්‍රීඩකයන් සිව් දෙනෙකු සිටීම විශේෂත්වයකි. ඒ Gayle, Lendl Simmons, Evin Lewis සහ Andre Fletcher ය.

පසුගිය වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Kings XI Panjab කණ්ඩායම නියෝජනය කළ Chris Gayle එහි දී අංක 3 පිතිකරුවා ලෙස කටයුතු කළා. එහි දී තමාට ප්‍රබල අංක 3 ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කල හැකි බව ඔහු ක්‍රියාවෙන් ඔප්පු කිරීමට සමත් වුනා.

කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස මෙම තරගාවලිය තුල තමන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන ස්ථානය පිළිබඳව ද Chris Gayle අදහස් දක්වා සිටියා. තේරීම් කමිටුවේ තීරණය අනුව තමන් ආරම්භක පිතිකරුවෙකු ලෙස හෝ අංක 3 හෝ අංක 5 පිතිකරු ලෙස හෝ ක්‍රීඩා කිරීමට සූදානම් බව ඔහු පවසා සිටියා.

මට ඕනෙම තැනක් ප්‍රශ්නයක් නෙමෙයි. මම දඟපන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙනවා. වේගපන්දු යවන්නන්ටත් හොඳින් මුහුණ දෙනවා. ඉතින් මම හිතන්නේ මට ඕනෑම තැනක ක්‍රීඩා කරන්න පුළුවන්. මම ලෑස්තියි අභියෝගය බාරගන්න. මම හිතනවා මම තවමත් ලෝකයේ හොඳම අංක 3 හෝ අංක 5 පිතිකරුවා කියලා.”

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<