ශර්මා නැහුණේ කට නිසා!

2120

පෙබරවාරි 14 කියන්නේ ආදරවන්තයින්ගේ දිනය. හැබැයි 2023 පෙබරවාරි 14 කාට කොහොම ආදරය දැනුනත්, ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු ප්‍රධානී Chetan Sharmaට නම් එදා ලොකු කරදරයක් වුන දවසක් විදිහට සෑහෙන්න කාලයකට මතක තියේවි.

ඉන්දියාවේ ප්‍රකට රූපවාහිනී නාලිකාවක් වන Zee News මගින් පෙබරවාරි 14 දවසේ මුලු හවස් වරුවම ආදරවන්තයින් පැත්තකට කරලා Chetan Sharma වෙනුවෙන් වෙන් කරන්න තීරණය කරනවා.

එහි අවසන් ප්‍රතිඵලය වුනේ පසුගිය සිකුරාදා (17) වෙද්දී Sharmaට තමන් දරමින් සිටි තේරීම් කමිටු ප්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදු වීම.

Zee News විසින් Chetan Sharmaට විරුද්ධව Sting Operation එකක්, ඒ කියන්නේ Sharmaගේ අනුදැනුමකින් තොරව ඔහුගේ හඬ සහ රූප පටිගත කරන මෙහෙයුමක් සිදු කරනවා. එතන දී Sharma විසින් කතා කරන්නේ ඉන්දීය ක්‍රිකට් ගැන.

අපිට පෙනෙන සහ ඇහෙන ක්‍රිකට්වලින් ඇතුළට ගියාම ඇත්තටම මොනවද තියෙන්නේ කියලා Sharma මගින් හෙළිදරව් කරන්න Zee news සමත් වෙනවා.

Zee News වල මේ වගේ මෙහෙයුමකට හසු වුන පළමුවැනියා Sharma නෙවෙයි, මීට පෙරත් ඔවුන් මේ වගේ මෙහෙයුම් කරලා තියෙනවා. සමහර තැන්වල දී කරපු මෙහෙයුම්වලින් මූල්‍යමය පැත්තෙන් වාසි ලබා ගන්න උත්සාහ කරපු මාධ්‍යවේදීන්ට වැඩ වැරදිලත් තියෙනවා.

කොහොම වෙතත් මේ පාර නම් වැඩ වැරදුණේ Chetan Sharmaට!

  1. Virat Kohliගේ නායකත්වය නැති වුනේ කොහොමද?

“ක්‍රීඩකයෙක් ටිකක් අත්දැකීම් එකතු කරගත්තාම එයා හිතනවා දැන් තමන්ට හැම බලයක්ම ලැබිලා තියෙනවා කියලා. සමහර විට ඔවුන් හිතනවා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් වඩා තමන්ට බලය තියෙනවා කියලා. ඊට පස්සේ එයා හිතන්න ගන්නවා කාටවත් තමන්ට අතවත් තියන්න බැහැ කියලා, පාලක මණ්ඩලයට මුකුත්ම කර ගන්න බැහැ කියලා. ක්‍රීඩකයා හිතන්න ගන්නවා තමන්ගෙන් තොරව ක්‍රිකට් වලටවත් රැකෙන්න බැහැ කියලා. නමුත් ඉස්සර ඉඳන්ම ගොඩක් ලොකු ක්‍රීඩකයෝ එනවා යනවා.”

Chetan Sharma විසින් Virat Kohliට ඉන්දීය නායකත්වය අහිමි වීම පිළිබඳ සඳහන් කරන්න පටන් ගන්නේ ඒ විදිහට.

“ඔහු (Kohli) හිතුවේ තමන්ට එක්දින නායකත්වය අහිමි වුනේ BCCI ප්‍රධානියා නිසා කියලා. (එවකට BCCI ප්‍රධානී ලෙස කටයුතු කළේ Sourav Ganguly විසිනුයි.) Ganguly කිව්වා Kohli විස්සයි විස්ස නායකත්වයෙනුත් ඉවත් වෙන්න උත්සාහ කරනවා කියලා. ඒ වගේම Ganguly උත්සාහ කළා Kohliව එසේ නොකරන තැනට පත් කරන්න.

එතන දී ඒ දෙන්නගේ Ego* දෙක ගැටුණා. “

*Ego – මනුෂ්‍යයෙක් තමන් පිළිබඳවම ඇති කර ගන්නා ආත්මාභිමානී හැඟීම්.

2021 දී තමයි Virat Kohliට ඉන්දීය සීමිත පන්දුවාර නායකත්වය අහිමි වෙන්නේ. ඔහුට මුලින් ම එක්දින නායකත්වය අහිමි වෙනවා, මෙතන දී Kohli විශ්වාස කරන්නේ Ganguly නිසා තමන්ට නායකත්වය අහිමි වුනා කියලා.

ඔහු ඒ නිසා විස්සයි විස්ස නායකත්වයෙනුත් ඉවත් වෙන්න තීරණය කරනවා. ඒ වෙලාවේ Ganguly විසින් Kholiට ඒ තීරණය ගැන සලකා බලන්න කියපු බව තමයි Sharma පවසන්නේ.

(නමුත් Kohli මාධ්‍ය ඉදිරියට ඇවිත් කියන්නේ තමන්ට ඒ විදිහේ කිසිම ඉල්ලීමක් නොලැබුණ බව.)

ඒත් එක්කම Ganguly විසින් Kohliගෙන් ඒ විදිහේ ඉල්ලීමක් කරන්නේ නිකමට බවත් Sharma විසින් කරන මේ හෙළිදරව්වෙන් කියවෙනවා.

කොහොම වෙතත් Ganguly සහ Kohli අතර සීතල ගැටුමක් තියෙනවා කියලා නම් Sharma ගේ කතාවෙන් පැහැදිලි වුනා.

ඔහු පැහැදිලිවම කියනවා Ganguly කිසිම විදියකින් Kohliට කැමති වුනේ නැහැ කියලා.

“Sourav Gangulyත් ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන්නා. ඔහු ඉන්දියාවේ හිටපු විශ්වාසවන්ත ම නායකයා විදිහටයි සලකන්නේ. ඒ වගේම වඩාත්ම සාර්ථක ඉන්දීය නායකයා විදිහටත් ඔහුව තවමත් මතකයේ තියෙනවා. නමුත් Virat හිතන්නේ සාර්ථකම නායකයා තමන් කියලයි. ඒ නිසා ස්වභාවිකවම ඒ දෙන්නා අතර ගැටීමක් ඇති වෙනවා.”

  1. Kholi සහ Rohit Sharma අතර සීතල යුද්ධයක් තියෙනවා ද?

Virat Kohli සහ Rohit Sharma අතර ගැටුමක් තියෙන බවත් කාලයක් තිස්සේ ම මාධ්‍ය මගින් හුවා දක්වන කාරණයක්.

විශේෂයෙන්ම මතභේදකාරී විදියට Kohliගෙන් ගිලිහුණු ඉන්දීය නායකත්වය ඊට පසුව ලැබෙන්නේ Rohit Sharmaට. මේ සාකච්ඡාවේ දී Zee මාධ්‍යවේදීන් විසින් Rohitට මේ නායකත්වය ලැබීම ගැනත් ප්‍රශ්න කරනවා. නමුත් Sharma නම් කියන්නේ එතන දී Rohitට විශේෂ සැලකිල්ලක් දැක්වුවේ නැහැ කියලා.

ඒ වගේම ඔහු කියනවා Rohit සහ Kohli අතර ගැටුම මාධ්‍ය මගින් නිර්මාණය කළ එකක් කියලත්.

“කිසිම දෙයක් නැහැ, ලොකු චරිත දෙකක්. හරියට Amitabh Bachchan සහ Dharmendra (බොලිවුඩ් හී සුපිරි තරු දෙකක්) වගේ. ඔවුන් අතර (Kohli සහ Virat) කිසිම දෙයක් වුනේ නැහැ.

එතන කිසිම කතාවක් නැත්නම්, මාධ්‍ය මගින් කතාවක් හදනවා.

Kohliගේ අසීරු කාලයේ දී Rohit ඔහුට උදව් කළා, ඒ වගේම Rohitට ගැටලුවක් ආපු වෙලාවට Kohli ඔහුට උදව් කළා.”

නමුත් මේ කතාවෙන් පස්සේ Chetan Sharma කියනවා ක්‍රීඩකයින් තේරීම් කමිටුව සමඟ හොඳ සම්බන්ධතාවක් තබා ගත යුතුයි කියලත්.

පෙබරවාරි 14 උදෙත් Rohit තමන් එක්ක පැය බාගයක් විතර වෙලා කතා කර කර හිටියා කියලා Sharma කියනවා.

Rohit විතරක් නෙවෙයි, තවත් ක්‍රීඩකයින් තමන් එක්ක ළඟ සම්බන්ධතා පවත්වනවා කියලත් Chetan Sharma මෙහි දී ප්‍රකාශ කරනවා.

  1. Hardik Pandyaගේ බලාපොරොත්තු මොනවද?

Rohit Sharmaට අමතරව වත්මන් ඉන්දීය විස්සයි විස්ස නායක Hardik Pandya නිතරම තමන් හමුවට එන බවත්, ඔහුට සිය අනාගතය පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමට අවශ්‍ය වී ඇති බවත් Sharma පැවසුවා.

“Hardikට අවශ්‍ය වුනේ ඔහුගේ අනාගතය ගැන කතා කරන්න. අපි මේ කතාබහ සිදු කරන්නේ මගේ ගෙදර දී, වෙන කොහේවත් අපිට මේ විදිහට මුණ ගැහෙන්න බැහැ. කලින් දවසක Hardik දිල්ලියට ඇවිත් වහාම මට කෝල් එකක් දීලා ඇහුවා මම කොහේද ඉන්නේ කියලා. ඊට පස්සේ ඔහු රාත්‍රියේ මාව මුණ ගැහෙන්න ආවා.”

Hardik Pandyaට අමතරව ඉන්දීය කණ්ඩායමට වරින්වර ඇතුළත් වන Deepak Hooda මෙන්ම, හිටපු ඉන්දීය නිත්‍ය වේගපන්දු යවන්නෙක් නමුත් වර්තමානයේ අඩුවෙන් අවස්ථාව හිමි වන Umesh Yadav යන අයත් තමන්ව මුණ ගැහෙන්න නිතර එන බව Sharma විසින් අවධාරණය කරලා තිබුණා.

  1. ඉන්දීය ක්‍රීඩකයින් ලබා ගන්නා එන්නත මොකක්ද?

Chetan Sharma විසින් හෙළිදරව් කළ කරුණු සියල්ල අතරින් ම වඩාත් වැදගත් සහ තීරණාත්මක කරුණ තමයි ඉන්දීය ක්‍රීඩකයින් විසින් යම් එන්නතක් ලබා ගනිමින් ශරීර යෝග්‍යතාව පවත්වා ගන්න උත්සාහ කරන බව.

“ඔවුන්ට කිසිම තරගයක් මග හැර ගන්න අවශ්‍ය නැහැ. සමහරු එන්නත් පාවිච්චි කරලා තමන් හොඳින් ඉන්න බව කියනවා.

ඒවා වේදනා නාශක නෙවෙයි. ඔවුන් ගන්න එන්නත් කිසිම විදියකින් පරීක්ෂණ මගින් හඳුනා ගන්න බැහැ. ඔවුන් වේදනා නාශක ගත්තොත් තහනම් උත්තේජක චෝදනාවලට ලක් වෙන්න පුළුවන්. ඔවුන් ලබා ගන්නේ එන්නතක්, ඔවුන් දන්නවා මොන එන්නත ද තහනම් උත්තේජක පරීක්ෂාවට හසු නොවෙන්නේ කියලා.

ඔවුන් සුපිරි තරු. ඔවුන්ට තමන්ගේ ම පෞද්ගලික වෛද්‍යවරු ඉන්නවා. ඔවුන් මාර්ගයෙන් ක්‍රීඩකයින් මේ එන්නත් ලබා ගන්නවා.”

ඒ හෙළිදරව් කිරීමෙන් පස්සේ Chetan Sharma කියන්නේ ඒ වගේ දේවල් කරන්නේ කවුද, කොහොමද වෙන්නේ කියලා ඔහු හෝ වෙන කිසිම කෙනෙක් නොදන්නා බවයි.

ඒකට හේතුව විදියට තරගයක් අවසන් වුනායින් පස්සේ ක්‍රීඩකයින් ගෙවන පෞද්ගලික ජීවිතය ඇතුළට අත දාන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැති බව Sharma පවසනවා.

මෙතන දී මාධ්‍යවේදියා විසින් ඔහුගෙන් ප්‍රශ්න කරනවා මේක “නීති උල්ලංඝනය කිරීමක් නෙවෙයි ද” කියලා.

ඒ වෙලාවේ Sharma ලබා දෙන්නෙ ජාමේ බේර ගන්න උත්තරයක්!

“කාටවත් නීති උල්ලංඝනය කරන්න බැහැ, මම දන්නේ නැහැ කවුද එහෙම කරන්නේ කියලා. අපිට දැන ගන්න ලැබෙන්නේ නැහැ එහෙම දේවල්”

  1. තව මොනවද Sharma කිව්වේ?

කෙනෙකුට ගැටලුවක් එන්න පුළුවන් Chetan මෙහෙම හෙළිදරව් කිරීමක් කරන්නේ කොහොමද කියලා.

දැන ගන්න ලැබෙන විස්තර අනූව නම් Zee news මාධ්‍යවේදීන් විසින් Chetanව පටිගත නොවෙන බවට රැවටීමකට ලක් කරලා තමයි මේ හඬ සහ වීඩියෝ පටිගත කර ගෙන තියෙන්නේ.

එතනින් එහා යමක් තවමත් හෙළිදරව් වෙලා නැහැ.

ඒ කොහොම වෙතත් Chetan විසින් කියපු ඉහත සඳහන් වුන කරුණුවලට අමතරව ඔහු Jasprit Bumrahගේ ආබාධය ගැනත් විශේෂ සඳහනක් කරමින් කියන්නේ ඕස්ට්‍රේලියාව සමඟ පසුගිය වසරේ පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලියේ දී Bumrahව හරි හැටි කළමනාකරණය කර ගන්න කිසිම කෙනෙක්ට අවශ්‍යතාවක් (අඩුම තරමේ Bumrahට පවා) නොතිබුණු බවයි.

ඒ වගේම ඉන්දීය ජාතික කණ්ඩායමේ මේ දවස්වල වැහි වැහැලා ඉන්න කඩුලු රකින පිතිකරුවන් අතරින් Sanju Samsonගේ අනාගතය නම් ඒ තරම් සුබදායී මට්ටමක නැහැ කියලත් ඔහු පවසනවා. ඒ වෙනුවට බංග්ලාදේශයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කළ Ishan Kishanට ඉන්දීය කණ්ඩායමේ ලොකු ඉඩක් වෙන් වේවි කියලා තමයි Sharma විශ්වාස කරන්නේ.

ඒ වගේම Shubman Gill විසින් මෑත කාලයේ දක්වපු විශේෂ දක්ෂතා නිසා KL Rahulටත් යම් තර්ජනයක් ඇති වෙන්න පුළුවන් බව කියන Sharma විශේෂයෙන්ම අවධාරණය කරපු එක දෙයක් තියෙනවා.

ඒ තමයි Shikar Dhawanගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය නම් සම්පූර්ණයෙන්ම වගේ අවසානයට ලං වෙලා කියන එක.

Sharma නහින්නේ කට නිසා!

හැම දෙයක් ම අවසානයේ පසුගිය සිකුරාදා වෙද්දී Chetan Sharma හට තමන්ගේ තේරීම් කමිටු ප්‍රධානීත්වය අහිමි වෙනවා.

මෙතන දී BCCI විසින් නිවේදනය කරන්නේ

“Chetan විසින් සිය ඉල්ලා අස්වීම BCCI ලේකම් Jay Shah හට බාර දුන් අතර, Shah විසින් එය පිළිගත්තේ ය.

ඔහු ස්වේච්ඡාවෙන්ම සිය තනතුරෙන් ඉල්ලා අස් වූ අතර කිසිවෙකුත් ඔහුට බල කිරීමක් සිදු කර නොමැත,” යනුවෙන්.

ඒත් පෙබරවාරි 14 සිදුවීමත් සමඟම BCCI නියෝජිතයෙක් ඉන්දීය මාධ්‍ය වෙත කියලා තිබුණා Chetan Sharma ගැන Jay Shah විසින් තීරණයක් ගනීවී කියලා. ඒ වගේම මේ සිදුවීම දිහා ඇස් කන් විවෘතව තබා ගෙන ඉන්න ඕනම කෙනෙක්ට අදහසක් ගන්න පුළුවන් මේ ඉල්ලා අස්වීම Chetan Sharma විසින් ගත්තා ද, ගන්න සිදු වුනා ද කියලා.

පසුගිය වසරේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉන්දීය කණ්ඩායමේ අසාර්ථකත්වය නිසා එවකට තේරීම් කමිටුව බලයෙන් පහ කළ BCCI විසින් පසුගිය ජනවාරියේ නැවත තේරීම් කමිටුවක් බලයට පත් කරනවා. මේ අවස්ථා දෙකේ දීම එහි ප්‍රධානත්වය Sharma හට හිමි වුනා.

නමුත් අවාසනාවන්ත විදිහට Sharma ගේම “කට” නිසා ඔහුට මාසයක් ඇතුළත තමන්ගේ ධුරයෙන් නැවත ඉවත් වෙන්න සිදු වෙනවා.

ඔහු විසින් හෙළිදරව් කරපු බොහෝමයක් දේවල් Gossip ගණයට වැටෙන දේවල්, නමුත් එක දෙයක් එහෙම Gossip එකක්ම විතරයි කියලා ඉවත් කරන්න බැහැ.

ඒ තමයි ක්‍රීඩකයින් එන්නත් භාවිත කරනවා කියන කතාව.

අපි බලා ගෙන ඉමු මේ ගැන අනාගතයේ දී ඉන්දියාවෙන් වගේම ICC යෙනුත් මොන වගේ දේවල් දැන ගන්න ලැබේවිද කියලා.

කොහොම වෙතත් මෑතක රූපවාහිනී වැඩසටහනකට සහභාගී වුන හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක Shahid Afridi නම් කිව්වේ BCCI කරන දේවල් වෙනස් කරන්න ICC එකටවත් බැහැ කියලයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<