ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ 500 වැනි විනිසුරු “විමලසිරි”

7470

ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ 500 වැනි ටෙස්ට් ක්‍රිකට් විනිසුරු ලෙසින් කරළියට පිවිසීමට 53 හැවිරිදි වියේ පසු වන රවින්ද්‍ර විමලසිරි සමත් වුනා. ඔහු මෙරට ක්‍රිකට් විනිසුරුවන් අතරින් ජාත්‍යන්තරයට ගිය 21 වැනි ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවරයායි.

මෙරට ටෙස්ට් ක්‍රිකට් විනිසුරු ලැයිස්තුව

ක්‍රිකට් විනිසුරු Mat Test ODI T20I FC List A T20 TV
1 කේ. ටී. ෆ්‍රැන්සිස් (1982 පෙබරවාරි 17-21) 100 25 56 0 1 0 1 17
2 Herbi Felsinger

(1982 පෙබරවාරි 17-21)

19 6 11 0 2 0 0 0
3 බැසිල් අන්තනී

(1983 අප්‍රේල් 22-26)

6 1 2 0 2 1 0 0
4 පී. ඩබ්. විදානගමගේ

(1984 මාර්තු 09-14)

27 4 23 0 0 0 0 0
5 Dooland Buultjens

(1984 මාර්තු 16-21)

26 3 18 0 3 2 0 0
6 Selliah Ponnadurai

(1985 සැප්තැම්බර් 06- 11))

12 3 8 0 1 0 0 0
7 නෙල්සන් ගුණරත්න

(1985 සැප්තැම්බර් 14-19)

2 1 0 0 1 0 0 0
8 Aane Felsinger

(1986 පෙබරවාරි 23-27)

1 1 0 0 0 0 0 0
9 කැමිලස් පෙරේරා

(1986 මාර්තු 14- 18)

2 1 1 0 0 0 0 0
10 උදය වික්‍රමසිංහ

(1987 අප්‍රේල් 16- 21)

24 4 17 0 1 1 0 0
11 බී. සී. කුරේ

(1992 සැප්තැම්බර් 08- 13)

76 21 48 0 5 2 0 0
12 ටී. එම්. සමරසිංහ

(1992 අගෝස්තු 17 – 22)

31 7 14 0 5 5 0 0
13 ඉග්නේෂස් ආනන්දප්පා

(1992 අගෝ: 28- සැප්: 02)

12 3 7 0 1 1 0 0
14 පීටර් මැනුවෙල්

(1993 අගෝස්තු 04  -09)

152 11 45 0 25 24 1 46
15 අශෝක ද සිල්වා

(2000 ජුනි 21-24)

413 49 122 19 74 69 37 43
16 ගාමිණි සිල්වා

(2000 ජුලි 30 – අගෝස්තු 02)

216 3 21 2 71 57 14 48
17 ටිරෝන් විජේවර්ධන

(2001 අගෝස්තු 22 – 25)

341 4 58 9 75 94 39 62
18 කුමාර් ධර්මසේන

(2010 නොවැම්බර් 04 – 08)

621 81 119 42 32 34 166 147
19 රැන්මෝ මාටිනස්

(2013 මාර්තු 12 -14)

646 8 60 50 120 149 189 70
20 රුචිර පල්ලියගුරුගේ

(2018 නොවැ: 30 -දෙසැ: 02)

456 9 103 44 64 71 66 99
21 රවින්ද්‍ර විමලසිරි

(2023 ජුලි 24 – 27)

482 1 48 46 104 106 112 65

(Mat: තරග එකතුව, Test: ටෙස්ට්, ODI (කාන්තා සහ පිරිමි එක්දින) T20I (කාන්තා සහ පිරිමි විස්සයි විස්ස) FC: පළමු පෙළ, List A: ලිස්ට් A, T20: ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස, TV: රූපවාහිනී)

(ඉහත තොරතුරු 2023 අගෝස්තු 13 වැනිදා දක්වා පමණයි)

පසුගිය ජූලි 24 වැනිදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා සහ සංචාරක පාකිස්තාන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ විනිසුරුවන් ලෙසින් කටයුතු කළේ නවසීලන්තයේ  Chris Gaffaney සහ එංගලන්තයේ Alex Wharf විසින්. එය Chris Gaffaneyගේ විනිසුරු දිවියේ 50 වැනි ටෙස්ට් තරගයයි.

තරගය ආරම්භ වී දෙවැනි දිනයේ උදෑසන හදිසියේ ම Chris Gaffaney අසනීප වුනා. මේ හේතුවෙන් එතෙක් තරගයේ සිව්වැනි විනිසුරු ලෙසින් කටයුතු කළ රවින්ද්‍ර විමලසිරිට පිටියේ විනිසුරුවරයෙක් ලෙසින් කැඳවීම් ලැබුණා.

ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන් වසර 10ක පමණ කාලයක් තිස්සේ බලා සිටියා. නමුත් මෙවැනි ආකාරයේ කැඳවීමකින් පිටියට එක් වීමට  නොවේ බලාපොරොත්තුව සිටියේ. නමුත් නොසිතූ වෙලාවක වූව ද ලැබූ මේ අවස්ථාව ගැන පුදුමාකර සතුටක් ලැබුවා. ඒ වගේ ම තරගය හොඳින් කරන්නට හැකි වීම ගැනත් සතුටුයි,” රවින්ද්‍ර විමලසිරි ThePapare.com හා එක් වෙමින් පැවසුවා.

මේ පණිවුඩය මට ලැබෙන්නේ තරගය ආරම්භ වෙන්න පැයක් වගේ කාලයක් තියෙද්දී. මගේ එක්දින ජාත්‍යන්තර තරගයත් ලැබෙන්නේ මේ විදිහට ම සිව්වැනි විනිසුරු ලෙසින් කටයුතු කරද්දී හදිස්සියේමයි. මේකත් ඒ වැනි ම කැඳවීමක්.”

ලැබුණ කැඳවීම සම්බන්ධයෙන් කිසිදු පැකිළීමක් දැනුණේ නැහැ. මම ඉතා හොඳ මානසික තත්ත්වයක හිටියා. තරගය සම්බන්ධයෙන්, පිටිය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබුණා. පොලිස් නිලධාරියෙක් ලෙසින් අපිට මෙවැනි විශේෂිත හදිසි අවස්ථාවන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. රැකියා ජීවිතයේ ලැබූ ඒ අත්දැකීම් සමඟ පීඩනයකින් තොරව තරගය කරගෙන යන්න මට හැකි වුනා.”

එම තරගය විමලසිරිගේ සහායක විනිසුරු වූ 48 හැවිරිදි වියේ පසුවූ Alex Wharfගේ 6 වැනි ටෙස්ට් තරගයයි. රූපවාහිනි විනිසුරු ලෙසින් Rod Tucker ද සහ තරග තීරකවරයා ලෙසින් David Boon ද මෙම තරගයේ දී කටයුතු කළා.

තරගයට කැඳවීම් ලැබී විනිසුරු කාමරයට පැමිණි විගස ඔවුන් සියලු දෙනා මට ආශීර්වාද කළා. ඒ වගේ ම ඔවුන්ගෙන් මට ඉතා හොඳ සහයෝගයක් ලැබුණා. ඒත් එක්ක ම ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව සමඟ එක් ව සිටින ක්‍රිකට් විනිසුරු පුහුණුකරු පීටර් මැනුවෙල් සර්ගෙන් ලැබූ ආශීර්වාදය සහ සහයෝගයත් ඉතා ඉහළයි.”

තරගය අවසන් වූ දා ට පසුදා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ, ක්‍රිකට් විනිසුරුවන් සහ තරග තීරකවරුන්ගේ කළමනාකරු වූ Sean Easey මහතා කතා කරමින් ලෝකයේ 500 වැනි ක්‍රිකට් විනිසුරු මා බවත්, ඒ සම්බන්ධයෙන් සුබ පතන බවත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඒක මට විශාල ශක්තියක්. ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් රටට වගේ ම විශේෂයෙන් ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටත් ගෞරවයක් ලබා දීමට හැකි වීම ගැනත් නිහතමානිව සතුටු වෙනවා.”

ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් වර්තමානයේ බුහුමන් ලැබූ විමලසිරිගේ ක්‍රිකට් ජීවිතයේ ආරම්භය සිදු වෙන්නේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන්. වයස අවුරුදු 13න් පහළ සිට 19න් පහළ දක්වා ම කණ්ඩායම් නියෝජනය කරන විමලසිරි ඒ සෑම වයස් කාණ්ඩයක ම නායකත්වයේ ද කටයුතු කිරීමට සමත් වෙනවා.

ඒ දවස්වල විමලසිරිට ක්‍රිකට් අත්-පොත් තබන්නේ එස්. බී. සේනානායක සහ ටී. කේ. පාලිත යන මහත්වරුන්. ඔවුන් දෙදෙනා යටතේ පුහුණුව ලබමින් දිවි ගෙවූ විමලසිරිගේ 19න් පහළ ධර්මපාල කණ්ඩායම 1986 වසරේ දී කොකාකෝලා කුසලානය වෙනුවෙන් පැවති අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නා අතර විමලසිරි තරගාවලියේ දක්ෂතම පිතිකරු මෙන් ම අවසන් මහා තරගයේ වීරයා ලෙසට ද පත් වෙනවා.

ඒක තමයි මගේ පාසල් ජීවිතයේ ලැබූ ඉහළ ම සම්මාන. ඒ දවස්වල ඉතිං ක්‍රිකට් ම තමයි ජීවිතය. සේනානායක සර් සහ පාලිත සර්ගෙන් ලැබූ ගුරු-හුරුකම් එක්ක පාසල් ගමන නිමා වෙන්නේ ක්‍රිකට්වලින් තවත් ඉදිරියට යන්න පුළුවන් කියන ගැම්මත් එක්ක.“

ඒ වෙද්දීත් ඔහුගේ ක්‍රිකට් දිවිය Old Palians ක්‍රිකට් සමාජයත් එක්ක ඔපවත් වෙනවා. අනතුරුව දිවයිනේ ප්‍රකට තේ බදාහැරීමේ සමාගමක් හා සේවයට එක් වෙමින් එම සමාගම නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ද නිරත වෙනවා.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් විනිසුරු ගාමිණි සිල්වා සර්ගේ ආරාධනාවත් සමඟ මම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ එක් වෙනවා. මූලික අරමුණ වුනේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම. නමුත් පොලිස් සේවයේ සුපරීක්ෂාකාරී බව මගේ හිතට අල්ලලා ගියා. මේ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේත් පොලිස් සේවයේත් එක සේ දක්ෂතා දැක්වීමට මට හැකි වුනා.”

1989 වසරේ දී ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමට එක් වෙන විමලසිරි 1991 වසරේ දී වයස අවුරුදු 23න් පහළ පොලිස් කණ්ඩායමේ නායකත්වයට පත් වෙන අතර අනතුරුව 1994 වසරේ සිට වසර කිහිපයක් ම ජ්‍යෙෂ්ඨ පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දැරීමට සමත් වුනා. ඒ අතරින් නායකත්වයට පත් පළමු වසරේ දී ම එතෙක් දෙවැනි පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු වූ පොලිස් ක්‍රිකට් කණ්ඩායම පළමු පෙළ දක්වා ගෙන ඒමට ද විමලසිරිගේ නායකත්වයට හැකි වුනා.

රවින්දු විමලසිරි තම මව සහ පියා  සමඟ

උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසින් පොලිස් සේවයට එක් වූ විමලසිරි මේ වන විට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරයි.  2014 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසින් උසස් වීමි ලද විමලසිරි මෙම කාලය තුළ මෙරට ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක ම විමර්ශන කටයුතු සිදු කරමින් යුක්තිය පසිඳලීමට ද සමත් වෙනවා.

පොලිස් සේවයත් ක්‍රිකට් ක්‍රීඩාවත් දෙක පටලවා නොගෙන කටයුතු කරන්න මට හැකි වෙන්නේ මා වටා සිටින පිරිස නිසා. ක්‍රිකට් ක්‍රීඩාවේදීත්, පොලිස් සේවයේදීත් ඔවුන් මට උපරිම සහයෝගය දක්වනවා. එමෙන් ම මෙම කාර්යයන්වල දී පොලිසියෙන් ලැබූ ශික්ෂණය ගොඩක් වැදගත්.”

ක්‍රිකට් විනිසුරු දිවියට පිවිසි රවින්ද්‍ර විමලසිරි 2013 වසරේ ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ දේශීය ක්‍රිකට් විනිසුරු ලෙසින් සම්මාන ලැබූ අතර ඊට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමය 2016 වසරේ දී සංවිධානය කළ සම්මාන උළෙලේ සාමාජිකයන්ගේ තෝරා ගැනීම අනුව වසරේ හොඳම ක්‍රිකට් විනිසුරු ලෙසින් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් එක් වීමට ප්‍රධාන ලෙසින් ම බලපෑවේ මාව පොලිසියට ගෙනාව ගාමිණි සිල්වා සර්. ඔහුත් සමඟ එක ම කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී වගේ ම ඔහු ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කරන කාලේත් පැවසුවේ ක්‍රිකට් විනිසුරු විභාගය ලියමු කියලා. ඒ අනුවයි මම ඊට පෙලඹෙන්නේ.”

ඒ අනුව විමලසිරි 2000 වසරේ දී ක්‍රිකට් විනිසුරු විභාගයෙන් සමත් වෙනවා. නමුත් ඔහු ඒ වන විට ද පළමු පෙළ ක්‍රිකට් තරගවල ක්‍රීඩා කරන බැවින් ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් දිගින් දිගට ම කටයුතු කරන්නේ නැහැ. 2006 වසරේ දී පළමු පෙළ තරගවලට සමු දෙන විමලසිරි එතැන් සිට ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් ද පූර්ණ කාලීනව එක් වෙනවා.

ක්‍රිකට් ජීවිතයේ දී හමුවුණ විනිසුරුවන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කේ. ටී. ෆ්‍රැන්සිස් සර් වගේ ම වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් විනිසුරු පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කරන පීටර් මැනුවෙල් සර් ද මගේ ක්‍රිකට් විනිසුරු දිවිය මේ තරමින් ගෙන එන්න විශාල ලෙස සහයෝගය දැක්වූවා.”

ඒ අනුව 2013 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව මගින් විමලසිරි ජාත්‍යන්තර තරග විනිසුරුවරයෙක් ලෙසින් නම් කරනු ලබනවා. ඒ මෙරට 24 වැනි ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ලෙසයි.

මේ ගමනේ දී මට හමු වූ ගොඩක් දෙනෙක් සමඟ මම අත්දැකීම් බෙදා ගත්තා. ඒ අතර දැනට ක්ෂේත්‍රයේ ඉහළින් ම ශ්‍රේණිගත ව සිටින තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවන් අතරින් වසර කිහිපයක් ම පළමුවැනියා ලෙසින් ශ්‍රේණිගත වූ කුමාර් ධර්මසේන මහතා සමඟත් ඔවුන්ගේ අත් දැකීම් බෙදා ගනිමින් කටයුතු කළා සහ අදටත් ඔවුන්ගේ අත්දැකීම් මගේ ක්‍රිකට් ජීවිතයට එක් කර ගන්නවා. ඒ සෑම කෙනෙක් ම ඉතා ගෞරවයෙන් මේ අවස්ථාවේ දී සිහිපත් කරනවා.“

විමලසිරිට ටෙස්ට් විනිසුරු වරම් උදා වෙන්නේ 2023 ජූලි 25 වැනිදා. එදවස උදා වෙන්නේ විමලසිරිගේ පවුලේ සුවිශේෂී අවස්ථාවක් ද උදා කරමින්. ඒ ඔහුගේ ආදරණීය බිරිඳ ආයුර්වේද වෛද්‍ය අයේෂා විජේසේකරගේ  50 වැනි උපන්දිනය ද එදිනට යෙදී තිබෙමින්.

ඒක අමතක කළ නොහැකි මතකයක් ලෙසින් මගේ ජීවිතයට එක් වූවා. නොසිතූ අවස්ථාවක ලැබූ මේ පත්වීම අපි දෙන්නට ම ආශීර්වාදයක්. ඇය වගේ ම මගේ පුතා ඉනුර දිනාල් සහ දුව දසුනි දිනාලිත් මගේ ක්‍රිකට් ජීවිතයේ වගේ ම පොලිස් ජීවිතයේත් තීරකයන් වී සිටිනවා. ඔවුන් මගේ කටයුතු වෙනුවෙන් විශාල ලෙස සහයෝගය දක්වනවා. මම ගත කරන කාර්යබහුල ජීවිතය මඟ හැරෙන්නේ ඔවුන්ගේ සහයෝගය නිසා. අද මම යම් තැනක සිටිනවා නම් එහි ගෞරවය ඔවුන්ට ද ලැබිය යුතුයි,” රවින්ද්‍ර විමලසිරි පවසනවා.

රවින්ද්‍ර විමලසිරි තම ළබැඳියන් සමඟ

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අතිශය ගෞරවයක් ලබා දෙන මේ ක්‍රිකට් විනිසුරුවා “ශ්‍රී ලංකා පොලිස් නාමය” ලෝකයට ගෙන යන්නෙක් බවට දැන් පත් ව සිටිනවා. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සේ ම කනිෂ්ඨයන් සමඟ පවා ඉතා සුහද ව කටයුතු කරන රවින්ද්‍ර විමලසිරි මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ, පොලිස් සන්නාමයක් ලෙසින් ද හැඳින්විය හැකි. ඔහු ඒ තරමට ම දක්ෂයෙක්. පොලිස් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ කණ්ඩායම් නායකයෙක් ද වූ ඔහු ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් ද මේ ගමන එන්නේ පොලිස් නිලධාරියෙක් ලෙසින්  ද සිටිමින් වීම විශේෂත්වයක්.

එහෙත් ඒ වෙනුවෙන් නිසි අගය කිරීමක් ඔහුට මෙතෙක් ලැබී තිබේ දැයි විමසීම වටී.

අභිමානවත් පොලිස් නිලධාරියෙක් බැව් නැවත නැවතත් ඉතා ගෞරවයෙන් සිහිපත් කරන විමලසිරි, කෙතරම් කාර්ය බහුල වූව ද තමන්ට හැකිතාක් කාලයක් තමන්ගේ සේවය පොලිස් සේවයට ලබා දෙන බවයි පවසන්නේ.

පොලිස් සහ ක්‍රිකට් යන මේ ක්ෂේත්‍ර දෙකට ම මගේ උපරිම සේවය මට හැකි අයුරින් ලබා දීම තමයි මගේ එක ම බලාපොරොත්තුව සහ අධිෂ්ඨානය. ඒ වෙනුවෙන් මම ඉදිරියේදීත් උපරිම ලෙසින් කැපවෙනවා,” රවින්ද්‍ර විමලසිරි පවසනවා.

ක්‍රිකට් විනිසුරු දිවියේ තවත් යා හැකි දුරක් යමින්, ඒ මගින් තම මව් රටට සේ ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටත් කීර්තියක් ලබා දීම එක ම අපේක්ෂාව කර ගත් රවින්ද්‍ර විමලසිරිට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<