ක්‍රිකට් තහනම තවදුරටත්; ක්‍රීඩා කිරීමට අවසර

ICC BOARD OUTCOMES

944

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පනවා ඇති ක්‍රිකට් තහනම ස්ථීර කරමින් තව දුරටත් බලාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ අද (21) අහ්මදාබාද් නුවර පැවති සැසිවාරයේ දී තීරණය කර තිබෙනවා.  

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කළ ඉල්ලීම් සලකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා. 

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාලනයකින් යුතුව අරමුදල් සැපයීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කරන නමුත් ශ්‍රී ලංකාව සතු වූ 2024 යොවුන් ලෝක කුසලානයේ සත්කාරකත්වය නිල වශයෙන් දකුණු අප්‍රිකාවට ලබා දෙන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කර තිබෙනවා.  

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පැවති 19න් පහළ ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට හිමි වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එම තරගාවලිය ක්‍රීඩා කිරීමට අවසර හිමි වෙනවා.  

මෙයට අමතරව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ආරක්ෂාව සහ සමානාත්මතාව රැක ගැනීම සඳහා කිසිඳු ආකාරයක ස්ත්‍රී පුරුෂ භාවය  වෙනස් කළ පිරිමි අයෙකුට කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා. 

මෙය මාස නවයක් මුළුල්ලේ සිදු කළ ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශවයන් සමඟ සිදු කළ උපදේශන සහ සමාලෝචන ක්‍රියාවලියකින් පසු ගත් තීරණයක් බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.  

අද (21) පැවති මෙම ජාත්‍යන්තර ක්‍රිකට් කමිටු සැසිවාරයේ දී ඉහත තීරණ වලට අමතරව තවත් සුවිශේෂී තීරණ රැසක් ගැනීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබුණා.  

  1. කාන්තා සහ පිරිමි විනිසුරුවන්ගේ වැටුප් සමාන කිරීම  

2024 වසරේ සිට සෑම ICC තරගාවලියක දී මධ්‍යස්ථ කාන්තා විනිසුරුවරියක් සිටින බව තහවුරු කිරීමට සහ කාන්තා විනිසුරුවන්ගේ වර්ධනය ඉලක්ක කර ගනිමින් කාන්තා විනිසුරුවන් හට පිරිමි විනිසුරුවන්ට සමාන වැටුපක් ගෙවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 

2. පන්දුවාර දෙකක් අතර කාලය ගණනය කිරීම 

එක්දින සහ විස්සයි විස්ස තරග වලදී පන්දුවාර වේගය ගුණාත්මක ලෙස පවත්වා ගැනීමට පන්දුවාර දෙකක් අතර කාලය ගණනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.  

ඒ අනුව එක් පන්දුවාරයක් අවසන් වී තත්පර 60ක් තුළ අනෙක් පන්දුවාරය ආරම්භ කළ යුතු අතර එසේ කිරීමට කණ්ඩායම තෙවතාවක් අසමත් වූ විට දඬුවම් ලකුණු පහක් ලබා දීමට කටයුතු කරනවා. 

මෙය අත්හදා බැලීමක් ලෙස සිදු කිරීමට ද ඔවුන් තීරණය කර තිබෙන අතර 2023 දෙසැම්බර් මස සිට 2024 අප්‍රේල් මස දක්වා මෙම නීතිය බලාත්මක වෙනවා.  

3. තණතීරුව සහ පිටියේ ඇගයීම් රෙගුලාසි වෙනස් කිරීම 

ක්‍රීඩාංගණයේ තණතීරු සහ පිටියේ ඇගයීම් වලට අදාළ රෙගුලාසි වෙනස් කිරීම සඳහා වූ යෝජනා සඳහා ද අවසරය හිමිව තිබෙනවා.  

එමෙන්ම තණතීරුව මැනීම සඳහා වන නිර්ණායක සරල කිරීමට සහ යම් ක්‍රීඩාංගණයක් වසර පහක කාලයක් තුළ තණතීරුව සඳහා දඬුවම් ලකුණු පහේ සිට හය දක්වා ලබා ගැනීමට කටයුතු කළොත් එම ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තත්වය ඉවත් කිරීමට කටයුතු කරනවා. 

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ICC නිවේදනයක් ඇසුරිනි.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<