ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වය අහිමි වෙයි

ICC U19 Cricket World Cup 2024

1152

ලබන (2024) වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 

මීට පෙර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නිසා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙනවා. 

ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම සහ ලෝක කුසලානය පිළිබඳ අද (21) අහ්මදාබාද් නුවර පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කමිටු සැසිවාරයේ දී  සිදු කළ සාකච්ඡා වලින් පසුව තීරණය කර තිබෙනවා.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ද ඉවත් නොකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම රැස්වීමේ දී තීරණය කර තිබෙන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමට තීරණය කර තිබීම විශේෂත්වයක්.  

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාලනය කිරීමේ වගකීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි වන ඒ සඳහා අරමුදල් ලැබෙන බව ද සඳහන්.  

මෙම ජාත්‍යන්තර ක්‍රිකට් කමිටු සැසිවාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා ද සහභාගී සිටි අතර ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයට සහභාගී වන බව ද ඔහු තහවුරු කර තිබුණා 

“අපට ක්‍රීඩාව ඉදිරියට කරගෙන යාමට මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවසරය ඉල්ලා සිටියා. ඒ අනුව සාමාජිකයින් ඒකට අවසර ලබා දුන්නා.”, යැයි ශම්මි ද සිල්වා ප්‍රකාශ කළා.  

දේශපාලන අතපෙවීම් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව පසුගිය දා කටයුතු කළ අතර මෙම තීරණය සමඟ තවදුරටත් එම තහනම බලාත්මක වෙනවා.  

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න  ThePapare.com සමඟින්. 

Cricbuzz ඇසුරිනි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<