“හෙටත් ඉර නැගේවි, අපි ඉදිරියට යාවි” – Rahul Dravid

ICC Cricket World Cup 2023

1089
Rohit, Cummins and dravid gives their opinions

“අපි හැකි සෑම දෙයක් ම කළා, ඒත් එය අපේ දවස නෙවෙයි.”

බිලියන සංඛ්‍යාත ඉන්දීය ක්‍රිකට් රසිකයින්ගේ සිහින සම්පූර්ණයෙන්ම පාහේ බිඳ දමමින් ඕස්ට්‍රේලියාව විසින් ඊයේ (19) දිනයේ 2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත් වීමෙන් පසු ඉන්දීය නායක Rohit Sharma පරාජය පිළිබඳ තම අදහස් එසේ සඳහන් කළා.

>>Photos – India vs Australia | ICC Men’s Cricket World Cup 2023 – Final<<

ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වුණු මෙවර එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය තෙක් ක්‍රීඩා කළ තරග දහය ම නොකඩවා ජයග්‍රහණය කිරීමට සමත් වී සිටි ඉන්දීය කණ්ඩායමට ඊයේ දිනයේ දී සිය ජයග්‍රාහී රැල්ල බිඳ දමා ගැනීමට සිදු වුනා.

“අවංකවම ප්‍රතිඵලය අපේ පැත්තට ගියේ නැහැ, අපි දන්නවා අපි අද (19) එතරම් ම හොඳ නැති බව. නමුත් මම ඇත්තටම කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා. පළමු තරගයේ පටන් අපි ක්‍රීඩා කළ ආකාරය ගැන සතුටුයි. ඒක අපේ දවස නෙවෙයි. අපේ පැත්තෙන් හැකි සෑම දේ ම උත්සාහ කළා. නමුත් එය සිදු වුණේ නැහැ.”

ඉන්දීය නායක Rohit සිය හැඟීම එසේ විස්තර කළා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක Pat Cummins විසින් පළමුව ඉන්දීය කණ්ඩායම පන්දුවට පහර දීමට ආරාධනා කිරීමෙන් අනතුරුව ඉන්දීය නායක Rohit Sharmaගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසා ඉන්දියාව සිය පළමු පන්දුවාර 11 තුළ ලකුණු 81ක් වාර්තා කිරීමට සමත් වුනා. නමුත් ඉන් පසුව තරගයේ 11-40 පන්දුවාර තුළ ඉන්දීය පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීම සඳහා විශාල අරගලයක් කිරීමට සිදු වුනා. මෙහි දී ඔවුන් විසින් එල්ල කිරීමට සමත් වුනේ හතරේ පහර දෙකක් පමණයි.

තම පිතිකරුවන් ලකුණු 20-30ක් පමණ අඩුවෙන් සිය ඉනිම නිමා කළ බවයි Rohit පවසන්නේ.

“අපි ඒ වෙලාවේ ලකුණු 270-280ක් බලාපොරොත්තු වුනා. නමුත් ඉන් පසුව කඩුලු එකින් එක බිඳ වැටුණා. අපිට එතන දී හොඳ සබඳතාවකට යන්න බැරි වුනා. එතැනින් තමයි ඕස්ට්‍රේලියාව ඇත්තටම තරගය දිනුවේ. ඔවුන් කඩුලු 3ක් බිඳ වැටීමෙන් පසුව විශාල සබඳතාවකට ගියා.”

එමෙන්ම එවන් අඩු ලකුණු සංඛ්‍යාවක් ඉලක්කය ලෙස ලබා දී තිබිය දී පන්දු යැවිය යුතු අකාරය අවබෝධ කර ගෙන තම පන්දු යවන්නන් විසින් හොඳින් පන්දු යැවූ නමුත් Marnus Labuschagne සහ Travis Head විසින් සිය බලාපොරොත්තු එකින් එක බිඳ දැමූ බවයි Rohit පවසන්නේ.

“විදුලි ආලෝකය යට එය තරමක් පහසු බව අපි දැන ගෙන හිටියා. මට ඒක නිදහසට කරුණක් විදිහට කියන්න අවශ්‍ය නැහැ. අපි ප්‍රමාණවත් ඉලක්කයක් ලබා දෙන්න තරම් හොඳින් පිතිකරණයේ යෙදුණේ නැහැ, නමුත් පසුව අපි මුල් කඩුලු තුනක් දවා ගත්තා. අපි හිතන්නේ එතන තව කඩුල්ලක් දවා ගත්තා නම් තරගය අපිට විවෘත වෙන්න තිබුණා.”

ඉන්දීය නායක Rohit එසේ පවසද්දී, ඊයේ තරගයේ දී දැවැන්ත ඉන්දීය ප්‍රේක්ෂක පිරිසක් නිහඬ කරවීමේ අරමුණින් යුතුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු නායක Pat Cummins සිය ජයග්‍රාහී හැඟීම මෙසේ විස්තර කළා.

“එය අති විශාලයි, මම හිතන්නේ එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම තමයි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම අවස්ථාව වෙන්නේ. විශේෂයෙන්ම ඉන්දියාවේ දී, මේ වගේ සෙනඟක් ඉදිරියේ එවැනි ජයක් ලැබීම විශාල දෙයක්.”

ඉන්දියාව සමඟ පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ලද පරාජයත් සමඟ මෙම වසර ආරම්භ කළ ඕස්ට්‍රේලියාව ඉන් පසුව ටෙස්ට් ලෝක ශූරතාව ජයග්‍රහණය කළා සේ ම, අළුබඳුන කුසලානය ද නැවත සිය රටට රැගෙන යාමට සමත් වුනා. දැන් ඔවුන් වත්මන් එක්දින ලෝක ශූරයින් ලෙස ද කිරුළු දැරීමට සමත් වී තිබෙනවා.

“මෙහි දී සෑම ජාත්‍යන්තර කණ්ඩායමක් ම එකතු වෙනවා. ඔබට එය ලැබෙන්නේ සෑම වසර හතරකට වරක් පමණයි. ඔබට දස වසරක වෘත්තීය ජීවිතයක් තිබුනත් ඔබට මේ සඳහා අවස්ථා දෙකක් පමණයි ලැබෙන්නේ. මෙය ඉතා විශාලයි, මේ තමයි ඔබේ ඉතිරි ජීවිත කාලය පුරාවටම මතකයේ රැඳෙන අවස්ථා.”

Pat Cummins මෙම ලෝක කුසලාන ජයග්‍රහණය පිළිබඳ සිය හැඟීම විස්තර කළේ ඒ අයුරිනුයි.

මෙම තරගයේ වඩාත් තීරණාත්මක අවස්ථා වලින් එකක් ලෙස Cummins විසින් ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliගේ කඩුල්ල දවා ගැනීම හඳුන්වා දිය හැකියි. එම දවා ගැනීමෙන් පසු මුලු ක්‍රීඩාංගණය ම මොහොතකට නිශ්ශබ්ද වූ බවයි Cummins පවසන්නේ.

” ඔව්, සෙනඟ තුළ පැතිරුණු නිහඬ බව වටහා ගැනීමට තත්පරයක් ගත්තා.

එය ඔහුට (Kohliට) තවත් ශතකයක් ලබා ගැනීමට තිබුණු දවස් වලින් එකක් කියලයි හැඟුණේ. ඔව් ඒ නිසා, ඒක තෘප්තිමත් දෙයක් වුනා.”

මේ අතර ඉන්දීය පුහුණුකරු Rahul Dravid තරගයෙන් අනතුරුව සඳහන් කළේ තම ක්‍රීඩකයින් ක්‍රීඩාගාරය තුළ අතිශය සංවේදී වූ බවයි. සිය උපරිමය ලබා දෙමින් ඔවුන් මෙතෙක් දුර පැමිණි නමුත් ක්‍රීඩාවේ දී මෙවන් දෑ සිදු වන බව Dravid පවසනවා.

“මට විශ්වාසයි හෙට උදෑසනත් හිරු නැගෙන බව. අපි එයින් ඉගෙන ගනිමු. අපි ඉදිරියට යමු!”

පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සමත් වුනා.

ඉදිරියේ දීත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම ඔබට මේ අයුරින් ම සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<