ඉන්දීය පරාජයට හේතුව KL Rahul ද?

ICC Cricket World Cup 2023

7817

ඊයේ (19) දිනයේ ඉන්දියාව විසින් ඕස්ට්‍රේලියාව හමුවේ ලද අවාසනාවන්ත පරාජයෙන් පසුව ඉන්දීය මැද පෙළ පිතිකරු KL Rahul සම්බන්ධයෙන් ද තරමක කතාබහක් නිර්මාණය වී තිබෙනවා. 

ඊයේ තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 240ක් පමණයි.  

මෙහි දී නායක Rohit විසින් ඉනිමට විශිෂ්ට ආරම්භයක් ලබා දුන්නත් ඔවුන්ගේ මුල් කඩුලු තුන බිඳ වැටීමෙන් පසුව ලකුණු ලබා ගැනීමේ වේගය ශීඝ්‍රයෙන් පහත වැටුණා. 

එහි අවසන් ප්‍රතිඵලය වුනේ Virat Kohli සහ KL Rahul ඉනිමේ සිව් වන කඩුල්ල වෙනුවෙන් පන්දු 109ක් වැය කරමින් ලකුණු 67ක සබඳතාවක් පිහිටුවීමයි. මෙහි දී Kohli විසින් පන්දු 63කින් ලකුණු 54ක් ලබා දැවී යාමෙන් පසුව තත්වය තවත් දරුණු වුනා. 

Kohliගේ දැවී යාමෙන් පසුව Rahul පිටියේ තනි වූ අතර, ඔහු අනෙක් පාර්ශවයේ සහයක් නොමැතිව තනිව ඉනිම ඉදිරියට රැගෙන ගියා. ඒ අනුව KL Rahul විසින් සිය එක්දින දිවියේ මන්දගාමී ම අර්ධ ශතකය ඊයේ දිනයේ පන්දු 86කින් වාර්තා කළ අතර, ඔහු ලකුණු 66කින් සිය ඉනිම නිමා කරන විට ඒ වෙනුවෙන් පන්දු 107ක් වැය වී තිබුණා. 

පන්දුවට පහර දීම සාපේක්ෂව අසීරු තණතීරුවක අනෙක් පාර්ශවයෙන් ද හරිහමන් සහයක් නොමැතිව Rahul විසින් දියත් කළ මෙම ඉනිම පුරාවටම ඔහු එල්ල කළේ එක් හතරේ පහරක් පමණක් වීම විශේෂ සිදුවීමක්. 

කෙසේ වෙතත් Rahulගේ ඉනිම නිමා වූ මොහොතේ පටන් මේ වන තෙක් ම මෙම ඉනිමට ලැබෙන්නේ මිශ්‍ර මට්ටමේ ප්‍රතිචාරයි. පිරිසක් ඔහුගේ ඉනිමට විශේෂ ඇගයීම් සිදු කරන අතරේ ම තවත් පිරිසක් ඔහුගේ ඉනිම විවේචනය කිරීමට ද පෙලඹී තිබෙනවා. 

මේ එවැනි අදහස් කිහිපයක්! 

“පසුගිය මාස දොළහක කාලය තුළ වැඩියෙන්ම විහිළුවට ලක් වුන ඉන්දීය ක්‍රීඩකයා කණ්ඩායමට අවශ්‍ය ම වූ මොහොතේ නැගී සිටියා.”

ඔහුව දවා ගැනීමට හොඳ පන්දුවක් අවශ්‍ය වුනා.  

හොඳින් සටන් කළා KL Rahul. 

දවස තිස්සේ ම ඉන්දියාවේ කඩුලු බිඳ වැටුණේ වැරදි වෙලාවේ.” 

“KL Rahul පන්දු 107කින් ලබා ගත් හතරේ පහර ගණන Mohammed Shami පන්දු දෙකකින් ලබා ගත්තා.” 

” තරගකාරී එක්දින තරගයක පන්දුවාර 29ක් තුළ එක හතරේ පහරක් පමණක් එල්ල වුන තරගයක් අවසාන වතාවට මම දැක්කේ කවදා ද කියලා මතක් වෙන්නේ නැහැ.” 

“66/107 හෝ වැඩි පන්දු ඔබේ කණ්ඩායම් සාමාජිකයින් මත අනවශ්‍ය පීඩනයක් ඇති කරනවා. නමුත් මේ කඩුල්ල පිතිකරණයට අපහසු බවකුත් පේනවා.” 

නායක Sharma විසින් ලබා දුන් ප්‍රවේගකාරී ආරම්භය හරි හැටි ඉදිරියට පවත්වා නොගැනීම සම්බන්ධයෙන් KL Rahulට එල්ල වන චෝදනා සහ ඊයේ දිනයේ ඉන්දීය පිතිකරුවන් පීඩනයකින් ක්‍රීඩා කළ බවට නැගෙන චෝදනා පිළිබඳ ඉන්දීය පුහුණුකරු Rahul Dravid නම් දරන්නේ වෙනස් ම මතකයක්. 

“මම පිළිගන්නේ නැහැ අපි බයෙන් ක්‍රීඩා කළා කියන එක නම්. අපි මුල් පන්දුවාර 10දී ලකුණු 80ක් ලබා ගත්තා. පසුව කඩුලු බිඳ වැටුණා. ඔබේ කඩුලු බිඳ වැටෙද්දී ඔබට සිදු වෙනවා උපක්‍රම වෙනස් කරන්න. 

මුල් පන්දුවාර 10න් පසුව සමස්ත ඉන්දීය ඉනිම පුරාවටම එල්ල වුනේ හතරේ පහර 4ක් පමණයි. නමුත් එයට හේතුව දිගින් දිගටම කඩුලු බිඳ වැටීම බවයි Dravid නම් සඳහන් කරන්නේ. 

“අපි අවසන් තරගයේ බයෙන් ක්‍රිකට් ක්‍රීඩා කළේ නැහැ. මැද පන්දුවාරවල ඔවුන් හොඳින් පන්දු යැව්වා සහ අපිට කඩුලු තුනක් අහිමි වුනා. ඒ නිසා නැවත ශක්තිමත් වෙන්න කාලය අවශ්‍ය වුනා. ඒ වගේම අපිට ප්‍රහාරයට යන්න පුළුවන් කියලා හිතෙන හැම වෙලාවකම අපේ කඩුල්ලක් අහිමි වුනා.  

ඔබට කඩුලු අහිමි වුනොත්, නැවත ගොඩ නැගීමට සිදු වෙනවා. අපි ආරක්ෂාකාරී ව ක්‍රීඩා කරන්න සූදානම් වුනේ නැහැ.” 

කෙසේ වෙතත් බලාපොරොත්තු වූ ලකුණු ප්‍රමාණයට යාමට තම පිතිකරුවන්ට නොහැකි වූ බවයි Dravid පවසන්නේ. එය මෙම පරාජයට හේතු වූ බව ද ඔහු සඳහන් කරනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Wisden සහ ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<