රුමේෂ්ගේ දැන් තත්වය, හෙල්ල විසි කිරීමේ අතීතය සහ අනාගත බලාපොරොත්තු!

World Athletics 2026

18

2026 වසරේ ලොව හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතා අතුරින් මුළ් ස්ථාන ද්විත්වයම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග විසින් සමත් වී තිබෙනවා. 

මෙය ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයකු විසින් මෑත කාලීන ඉතිහාසයේ දක්වා ඇති විශිෂ්ටතම දක්ෂතාවක් ලෙස හඳුන්වා දිය හැකි අතර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසය තුළ ද මේ වන විටත් රුමේෂ් සිය නම ඉහළින් සටහන් කිරීමට සමත් වී තිබෙනවා. 

රුමේෂ්ගේ ඉදිරියට පැමිණීම 

2003 වසරේ මාර්තු මස 21 වැනි දා උපත ලැබූ රුමේෂ් තරංග තමන්ට වයස අවුරුදු 19ක් වන විට 2022 අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියට සහභාගී වීමට සමත් වුනා. 

එහි දී ඔහු විසින් මීටර් 69.98ක දුරක් හෙල්ල විසි කරමින් හත් වැනි ස්ථානයට පැමිණීමට සමත් වූ අතර, ගෝලීය වශයෙන් ඔහු පළමු වරට කැපී පෙනුණු අවස්ථාව ලෙස එය හඳුන්වා දිය හැකි. 

2021 වසරෙන් පසුව ගෙවී යන වසර පහ ඇතුළත ඔහු විසින් සිය හෙල්ල විසි කිරීමේ දක්ෂතාව මීටර් 20කට වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා ගැනීමට සමත් වීම වඩාත් සුවිශේෂී කරුණක්. 

ගෙවුණු වසර පහ තුළ රුමේෂ්ගේ ඉහළම දක්ෂතා 

  • 2021 – සුගතදාස ක්‍රීඩාංගණයේ දී – මීටර් 68.33 
  • 2022 – කොලොම්බියාවේ Pascual Guerrero Stadium – මීටර් 70.68 
  • 2023 – සුගතදාස ක්‍රීඩාංගණයේ දී – මීටර් 76.45 
  • 2024 – කොරියාවේ Mokpo Sports Complex – මීටර් 85.45 
  • 2025 – ඉන්දියාවේ Kalinga Stadium – මීටර් 86.50 
  • 2026 – දියගම දී – මීටර් 89.37 

මෙම දක්ෂතා දෙස බලන කල සෑම වසරකම රුමේෂ් විසින් සිය පෞද්ගලික දක්ෂතාව ද ඉහළ දමා ගැනීමට සමත් වී ඇති බව දක්නට ලැබෙනවා. 

එමෙන්ම 2024 වසරේ දී ඔහු සිදු කළ මීටර් 85.45ක දක්ෂතාවේ සිටම ඔහු වරින් වර ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ වාර්තාව ද අලුත් කිරීමට සමත් වුනා. 

සුමේධ රණසිංහ විසින් 2015 වසරේ දී පිහිටුවා තිබූ ජාතික වාර්තාව වූ මීටර් 83.04ක වාර්තාව රුමේෂ් විසින් 2024 දී බිඳ හෙළීමට සමත් වූ අතර, පසුව ක්‍රියාත්මක වූ සුමේධ විසින් නැවත 2025 දී මීටර් 85.78ක් දුර හෙල්ල විසි කරමින් එම වාර්තාව සියතට ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් නැවත ක්‍රියාත්මක වූ රුමේෂ් විසින් මීටර් ඉන්දියාවේ දී නැවත මෙම ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් වූ අතර, එතැන් පටන් ඔහු එම වාර්තාව තමන් සන්තකයේ තබා ගනිමින් වෙනස් කරමින් සිටිනවා. 

රුමේෂ්ගේ දැන් තත්වය 

රුමේෂ් මෙම වසරේ මාර්තු 28 දින දියගම දී මීටර් 89.37ක දක්ෂතාව දැක්වීමට සමත් වූ අතර, එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස මෙන්ම ශ්‍රී ලංකා වාර්තාව ලෙස ද සටහන් වුනා. 

ඉන් මසක් ගෙවීමටත් මත්තෙන් පසුගිය අප්‍රේල් 24 දා කෙන්යාවේ දී රුමෙෂ් විසින් නැවතත් මීටර් 89 සීමාව තරණය කිරීමට සමත් වුනේ මීටර් 89.28ක දක්ෂතාවක් සමඟයි. 

මෙම වසර තුළ ලොව හෙල්ල විසි කිරීමේ වෙනත් කිසිම ක්‍රීඩකයකු විසින් රුමේෂ්ගේ මෙම දක්ෂතා ද්විත්වය අබිබවා යාමට සමත් නොවීම සුවිශේෂී සිදුවීමක්. 

මෙම වසරේ හෙල්ල විසි කිරීමේ හොඳම දක්ෂතා අතුරින් පළමු සහ දෙවන ස්ථාන රුමේෂ්ට හිමි වන අතරේ, එහි තෙවැනි ස්ථානය ඇමරිකාවේ Curtis Thompson හට හිමි වී තිබෙන්නේ මීටර් 85.33ක දක්ෂතාවක් වෙනුවෙනුයි. ඒ අනුව රුමේෂ් සහ තෙවැනි ස්ථානය දරන ක්‍රීඩකයා අතර ඇති පරතරය මීටර් 4ක් පමණ වීමත් විශේෂත්වයක්. 

එමෙන්ම මෙම වසර තුළ මෙතෙක් සිදු වී ඇති හොඳම විසි කිරීම් දහය අතුරින් රුමේෂ්ගේ මීටර් 83.07ක දක්ෂතාව 06 වැනි ස්ථානයේ පවතිනවා. 

මේ අනුව මෙම වසර තුළ රුමේෂ් ලෝකය ඉදිරියේ කැපී පෙනීමට සමත් වී ඇති අයුරු කෙතරම් ප්‍රබල ද යන්න වටහා ගත හැකි. 

හෙල්ල විසි කිරීමේ ඉතිහාසයට ඇතුළත් වූ රුමේෂ් 

මලල ක්‍රීඩා ඉසව් සඳහා ඇති ලෝක වාර්තා අතුරින් ලොව බිඳ හෙළීමට අතිශයින් ම අපහසුයි යැයි සැලකුම් ලබන ලෝක වාර්තාවක් පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්ව සඳහා පවතිනවා. 

මීට වසර 30කට පෙර 1996 වසරේ දී චෙක් ජනරජයේ Jan Železný විසින් මීටර් 98.48ක දුරක් හෙල්ල විසි කරමින් මෙම ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වුනා. 

1912 වසරේ සිට හෙල්ල විසි කිරීම සඳහා ඇති දක්ෂතා සහ ලෝක වාර්තා සටහන් කිරීම ආරම්භ වූ අතර,1986 වසර තෙක් ඒ අයුරින් වාර්තා සටහන් කෙරුණා. 

1912 වසරේ දී මීටර් 62.32කින් ආරම්භ වූ හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව 1984 වන විට මීටර් 104.80ක් දක්වා පැමිණි අතර, මෙම වාර්තාව මීටර් 100 ඉක්මවා ගෙන යාමට සමත් වුනේ නැගෙනහිර ජර්මනිය නියෝජනය කළ Uwe Hohn විසිනුයි. 

මෙම දක්ෂතාව ක්‍රීඩා පිටියේ අනෙක් අන්තය කරා හෙල්ලය සමීප කරවීමට පවා සමත් වූ අතර, මෙවැනි විශාල දක්ෂතා සමඟින් අනෙක් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ව ද ගැටලු මතු වුනා. 

එමෙන්ම මෙම කාලය තුළ හෙල්ලය බිම පතිත වීම පිළිබඳ තිබූ නීති මාලාව අනුව දුර මිනුම් කිරීම ද තරමක ගැටලුවක් ව පැවතුණා. 

එම සියලු කරුණු සලකා බැලූ ලෝක මලල ක්‍රීඩා බලධාරීන් විසින් හෙල්ලයේ සැකැස්ම වෙනස් කිරීමට පියවර ගත් අතර, එහි ප්‍රධානතම වෙනස ලෙස හෙල්ලයේ ගුරුත්ව කේන්ද්‍රය සෙන්ටි මීටර් 04කින් ඉදිරියට රැගෙන ඒමට පියවර ගත්තා. එමගින් හෙල්ලය බිම පතිත වීමේ දී සමතලා ලෙස පතිත නොවී, හෙල්ලයේ ඉදිරි කොටස බිම ඇනීමේ සම්භාවිතාව ඉහළ ගිය නමුත්, මෙම හේතුව නිසා හෙල්ලය විසි කළ හැකි දුර 10%-15%ත් අතර ප්‍රමාණයකින් අවම වුනා. 

මේ අනුව 1986 වසරේ දී සිදු වූ වෙනස්කම්වලින් පසුව නව වාර්තා සලකා බැලීම ආරම්භ වූ අතර, එහි පළමු ලෝක වාර්තාව මීටර් 85.74ක් ලෙස සටහන් වුනා. 

ඉන් වසර 10කට පසුව 1996 මැයි මස 10 වැනි දා Jan Železný විසින් මීටර් 98.48ක දුර සටහන් කිරීමට සමත් වුනා. 

පෙර සඳහන් කළ අයුරින් ම මෙම ලෝක වාර්තාව බිඳ දැමීම ඉතා අපහසු බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක්. ඒ වෙනුවෙන් පහත උදාහරණ කිහිපය සැලකිය හැකි. 

මෙතෙක් ඉතිහාසයේ; 

  • මීටර් 94 ඉක්මවා ඇති අවස්ථා ප්‍රමාණය = 09 
  • මීටර් 93 ඉක්මවා ඇති අවස්ථා ප්‍රමාණය = 16 
  • මීටර් 92 ඉක්මවා ඇති අවස්ථා ප්‍රමාණය = 30 
  • මීටර් 91 ඉක්මවා ඇති අවස්ථා ප්‍රමාණය = 71 
  • මීටර් 90 ඉක්මවා ඇති අවස්ථා ප්‍රමාණය = 131 

හෙල්ල විසි කිරීම මගින් මීටර් 90 සීමාවට පැමිණීම කෙතරම් අසීරු ද යන්න මින් මොනවට පැහැදිලි වනු ඇති. 

මේ අතර රුමේෂ් විසින් සිදු කර ඇති මීටර් 89.37ක දක්ෂතාව මෙතෙක් ඉතිහාසයේ ලොව 196 වැනි හොඳම දක්ෂතාව ලෙස සටහන් වී තිබෙනවා. 

එමෙන්ම ක්‍රීඩකයකු ලෙස බැලූ කළ ඔහුගේ මෙම දක්ෂතාව සමඟ ලොව මෙතෙක් බිහි වූ හොඳම දක්ෂතාව දැක්වූ 30 වැනි ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වී තිබීමත් විශේෂත්වයක්. 

එනම් හෙල්ල විසි කිරීමේ ඉතිහාසයේ මෙතෙක් රුමේෂ්ට වඩා හොඳ දක්ෂතා දක්වා ඇත්තේ ක්‍රීඩකයින් 29 දෙනෙකු පමණයි.  

මෙම සංඛ්‍යා දත්ත මඟින් රුමේෂ් තරංග විසින් දක්වා ඇති දක්ෂතාව කෙතරම් වටිනවා ද යන්න ඔබට වටහා ගත හැකි වනු ඇති. 

ඔලිම්පික් සහ ලෝක ශූරතා බලාපොරොත්තු  

එමෙන්ම මෑත කාලීන ව ක්‍රියාත්මක වූ ඔලිම්පික් සහ මලල ක්‍රීඩා ලෝක ශූරතා තරගවල දී හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජය ගත් ක්‍රීඩක දක්ෂතා සහ රුමේෂ්ගේ පෞද්ගලික හොඳම දක්ෂතාව සසඳා බැලීමක් සිදු කළ හොත්; 

  • 2024 ඔලිම්පික් – ලෝකඩ පදක්කම 
  • 2020 ඔලිම්පික් – රන් පදක්කම 
  • 2016 ඔලිම්පික් – රිදී පදක්කම 
  • 2012 ඔලිම්පික් – රන් පදක්කම 
  • 2025 ලෝක ශූරතාව – රිදී පදක්කම 
  • 2023 ලෝක ශූරතාව – රන් පදක්කම 
  • 2022 ලෝක ශූරතාව – රිදී පදක්කම 
  • 2019 ලෝක ශූරතාව් – රන් පදක්කම 
  • 2017 ලෝක ශූරතාව – ලෝකඩ පදක්කම 

*.මෙය සම්පූර්ණයෙන්ම පාහේ රුමේෂ්ගේ දක්ෂතාව කෙතරම් වටිනා එකක් ද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීම වෙනුවෙන් කළ සැසඳීමක් පමණයි.  

ඕනෑම මලල ක්‍රීඩා ඉසව්වක දී එම තරගය පැවැත්වෙන ප්‍රදේශය ආශ්‍රිත වටපිටාව ඇතුළු බොහෝ සාධක බලපෑම් කරන අතර, එම නිසා අතීතය සහ වර්තමානය සසඳමින් “එදා ඔහු තරග කලා නම් රන් පදක්කම හිමි වෙනවා” යැයි පැවසීම අතිශය අතාර්කික ප්‍රකාශයක් බව වටහා ගත යුතුයි. නමුත් පසුගිය දශකයකට ආසන්න කාලය තුළ ලෝක හෙල්ල විසි කිරීමේ ඉසව් රැසක දී ක්‍රීඩකයින් දක්වා ඇති දස්කම් සහ රුමේෂ් මේ වන විට දක්වමින් සිටින දස්කම් අතර අතිශය ආසන්න ලක්ෂණ ඇති බව පමණක් මෙයින් වටහා ගත යුතුයි. 

මේ අනුව එළඹෙන ජාත්‍යන්තර තරගවල දී රුමේෂ් තරංගට සිය උපරිම දක්ෂතා වෙත යාම මගින් පදක්කම් බලාපොරොත්තු ඇති කර ගැනීමේ අවකාශය පවතින බව තහවුරු කර ගත හැකි. 

රුමේෂ්ගේ අනාගත බලාපොරොත්තු  

2026 වසර තුළ රුමේෂ් තරංග හට Diamond League මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වනු ඇති බව වාර්තා වනවා. 

2026 Diamond League තරගාවලිය එළඹෙන මැයි මස 16 වැනි දා චීනයෙන් ආරම්භ වීමට නියමිත අතර, දැනට වාර්තා වන පරිදි එළඹෙන ජුනි 04 වැනි දා රෝමයේ පැවැත්වීමට නියමිත තරග අදියර වෙනුවෙන් සහ අගෝස්තු 21 සහ 27 ස්විස්ටර්ලන්තයේ Lausanne සහ Zurich හි පැවැත්වීමට නියමිත තරග අදියර වෙනුවෙන් ද රුමේෂ් තරග වැදීමට නියමිතයි. 

එමෙන්ම එම තරගවල දක්ෂතා අනුව Diamond League අවසන් තරග වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ද ඔහු සතු වන අතර, එම තරග සැප්තැම්බර් මස 04-05 දිනවල දී බෙල්ජියමේ දී පැවැත්වීමට නියමිතයි. 

*. මේ පිළිබඳ නිල වශයෙන් තහවුරු වන පුවත් ඔබ වෙත සමීප කිරීම ThePapare සූදානම්. 

එමෙන්ම එළඹෙන ජුලි සහ අගෝස්තු මාසවල ස්කොට්ලන්තයේ දී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිත අතර, සැප්තැම්බර් මාසයේ දී World Athletics Ultimate Championship මලල ක්‍රීඩා තරගාවලිය ද පැවැත්වීමට නියමිතයි. 

මෙම තරග වෙනුවෙන් ද සහභාගී වීමට රුමේෂ්ට අවස්ථාව ලබා ගත හැකි අතර, ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවැත්වෙන Ultimate Championship තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත හැකි නම් එය රුමේෂ් සිය ක්‍රීඩා ජීවිතයේ ලබන සුවිශේෂී ම අත්දැකීමක් ලෙස සටහන් වනු ඇති. 

පෙර සඳහන් කල සේම මෙම ඕනෑම ගෝලීය මට්ටමේ තරගයක් සඳහා සහභාගී විය හැකි තත්වයක් දැන් රුමේෂ් සතු වන නිසාම, ඔහුට නුදුරු අනාගතයේ දීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පදක්කමක් රැගෙන ඒමට හැකි වේවා යන්න ThePapare හද පිරි ප්‍රාර්ථනය බව සටහන් කරමින් එම ලිපිය නිමා කරන්නෙමු! 

දෙස්, විදෙස් මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා  පිවිසෙන්න <<