ශ්‍රී ලංකා කාන්තාවන්ට මෙවරත් රිදී පදක්කම

20th Asian Games

7
20th Asian Games

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එහි රිදී පදක්කම හිමි වූවා.

ඉන්දියාව සමඟින් අද (22) Nisshin හී Korogi Athletic Park ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 147ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් දෙවැනි වරටත් එම ඉසව්වේ රන් පදක්කම ලබා ගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම වෙත ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 216ක් ලබා ගන්නවා. එම ඉනිමට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 69ක් පමණයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), කාව්‍යා කාවින්දි, සුගන්දිකා කුමාරි, මිතාලි අයෝධ්‍යා සහ චමුදි ප්‍රබෝධා. 

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Harmanpreet Kaur (නායිකාව), Shafali Verma, Smriti Mandhana, Richa Ghosh (කඩුලු රකින්නිය), Bharti Fulmali, Gunalan Kamalini, Deepti Sharma, Shreyanka Patil, Shree Charani, Kranti Gaud සහ Nandani Sharma.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. එම ඉනිම ආරම්භ කළ Shafali Verma සහ Smriti Mandhana එක් ව එම කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 99ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Shafali Verma පන්දු 29ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 48කට දැවී යෑමත් සමඟිනුයි. Smriti Mandhana ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 79ක් ලබා සිටියා.

ඊට අමතර ව ඉන්දීය ඉනිම අවසන් වෙද්දී Richa Ghosh පන්දු 22ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී චමුදි ප්‍රබෝදා, කවීෂා දිල්හාරි සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා චමරි අතපත්තු. ඇය ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.

ඊට අමතර ව කවීෂා දිල්හාරි ලකුණු 11කට ද සහ කෞෂිනි නුත්‍යාංගලී ලකුණු 14ක ද දැවී ගිය අතර අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට තනි ඉලක්කමේ ලකුණු පසු කිරීමට හැකි වූයේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී Deepti Sharma ලකුණු 6කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතරව Shafali Verma, Shreyanka Patil සහ Shree Charani කඩුලු ද්විත්ය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 216 (20.0) Shafali Verma48, Smriti Mandhana 79, Richa Ghosh නොදැවී 49
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 69 (15.4) චමරි අතපත්තු 29, Shafali Verma2/03, Deepti Sharma 3/06, Shreyanka Patil 2/09, Shree Charani 2/13

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 147ක ජයක්.

මේ අතර මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයේ දී බංග්ලදේශයට එරෙහි ව ලකුණු 31ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<