B කාණ්ඩයේ ප්‍රමුඛයන් තීරණය කෙරෙන තරගයට පෙර

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය 2023

2226

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ B කාණ්ඩයේ ප්‍රමුඛයන් තීරණය කෙරෙන ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය අද (27) වැනිදා Bulawayo හී Queens ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා පැවති සෑම තරගයක් ම ජයග්‍රහණය කර ඇති බැවින් මෙම තරගයේ දී තම අපරාජිත බව රැක ගැනීමට ඔවුනොවුන්ගේ ප්‍රමුඛ කාර්යය වනු නියතයි. ඒ කෙසේ වෙතත් මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු ලබා ගැනීමේ දල වේගය අනුව ලකුණු 3.649ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ පසුවෙන අතර ලකුණු 1.267ක් ලබා සිටින ස්කොට්ලන්තය එහි 2 වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

පැවති තරග ත්‍රිත්වයේ දී ම එක ම කණ්ඩායමක් සමඟින් තරග පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයේ දී ද තම සුපුරුදු කණ්ඩායම ම තරග බිමට කැඳවෙනු ඇතැයි විශ්වාස කළ හැකි.

මේ වෙද්දී ආරම්භක කඩුල්ලේ දක්ෂතා දක්වන දිමුත් කරුණාරත්න මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කරන ලද එක ම ශතකයේ ද හිමිකරු වෙමින් ලකුණු 216ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 108.0ක ලෙසින් ඉහළ මට්ටමක රඳවා ගැනීමට ද ඔහු සමත් ව තිබීම විශේෂයි.

ඊට අමතරව කණ්ඩායමේ අනෙක් සුවිශේෂී ක්‍රීඩකයා වී ඇත්තේ වනිඳු හසරංග. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන යන ප්‍රධාන පන්දු යවන්නා වී තිබෙනවා.

ඊට අමතරව පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක්වූ සධීර සමරවික්‍රම, පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් අතරට ධනංජය ද සිල්වා ද එක්වීම කණ්ඩායම තවත් ශක්තිමත් කිරීමට හේතුවක් වී තිබෙනවා. ඒ අතරට දැන් පිවිසිය යුත්තේ නායක දසුන් ශානකයි.

වනිඳුට අමතරව ලහිරු කුමාර, මහීෂ් තීක්ෂණ සහ කසුන් රාජිත ද දක්වන දක්ෂතා අගය කළ යුතුයි.

ස්කොට්ලන්තය සමඟ තරගයේ දී ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, කසුන් රාජිත

ස්කොට්ලන්තය

1999 වසරේ සිට ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගන්නා ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ මේ වන විට සහභාගී වී ඇති එක්දින ජාත්‍යන්තර තරග ප්‍රමාණය 149ක්. ඉන් තරග 66ක් ජයග්‍රහණය කරමිනුත්, තවත් තරග 75ක් පරාජය වෙමින් අවසන් කරන ඔවුන් ලකුණු සම වීමෙන් තරගයක් සහ නොවිසඳුණ තරගය 7ක් ද ඊට ඇතුළත් කරනවා.

ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා තරග 3ක් පවත්වා ඇති අතර එම තරග 3න් ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට හමුව ඇත්තේ 2015 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී වන අතර එම තරගය සඳහා ස්කොට්ලන්ත වර්තමාන නායක Richie Berrington ද සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ තරගයේ දී ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන ස්කොට්ලන්ත කණ්ඩායම: Richie Berrington (නායක), Christopher McBride, Matthew Cross (කඩුලු රකින්නා), Brandon McMullen, Tomas Mackintosh, Michael Leask, Chris Greaves, Mark Watt, Safyaan Sharif, Chris Sole, Adrian Neill/Jack Jarvis .

අවධානය යොමු කළ යුතු ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ

Richie Berrington

36 හැවිරිදි වියේ පසුවෙන ස්කොට්ලන්ත නායක Richie Berrington මේ දක්වා ස්කොට්ලන්ත කණ්ඩායම 18 වතාවක් මෙහෙයවා තිබෙනවා. ඉන් තරග 11ක් ජයග්‍රාහී තරග ලෙසත්, තරග 7ක් පරාජිත තරග ලෙසින් ඉතිහාසයට එක් වෙනවා.

නිමා වූ සුදුසුකම් ලබා ගැනීමේ තරග ත්‍රිත්වයේ දී ඔහු ලකුණු 197ක් ලබා ගනිමින් ස්කොට්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරුයි. ඊට නිමා වූ ආසන්නත ම තරග ද්විත්වයේ දී අර්ධ ශතකයක් සහ ශතකයක් වාර්තා කිරීමට සමත් වීම ද කැපී පෙනෙනවා.

එක්දින තරග 108ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 17ක් සමඟින් ලකුණු 2834ක් ලබා සිටින ඔහු ස්කොට්ලන්ත ඉතිහාසයේ වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයන් අතරින් තෙවැනි ස්ථානය දිනා සිටින ක්‍රීඩකයායි.

පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 34ක්.

Brandon McMullen

තවමත් එක්දින තරග 11කට පමණක් ක්‍රීඩා කර සිටින 23 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Brandon McMullen වඩාත් අවධානය යොමු කළ යුතු ස්කොට්ලන්ත ක්‍රීඩකයායි.

නිමා වූ ආසන්ත ම තරගය වූ ඕමානය සමඟ තරගයේ දී තම මංගල ශතකය වාර්තා කළ McMullen ඊට පෙර පැවති අයර්ලන්තය හා සමඟ තරගයේ දී ලකුණු 34කට කඩුලු 5ක් දවා ගනිමින් තම එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කළා.

මේ දක්වා ඔහුගේ දක්ෂතාව වන්නේ ලකුණු 326ක් සහ කඩුලු 18ක් වන අතර ක්‍රියාත්මක සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ඉනිම් 3ක දී ලකුණු 150ක් ලබා ගැනීමට ඔහු සමත්ව සිටිනවා. ඊට අමතර ව පන්දු යවන්නෙක් ලෙසින් ද ඔහු කඩුලු 7කින් තම ගිණුම සපුරා ගන්නවා. එය මෙම තරගාවලියේ අයර්ලන්ත පන්දු යවන්නන් අතර ඉහළ ම දක්ෂතාවයි.

Michael Leask

කණ්ඩායමේ අනෙක් අවධානයට ලක් විය යුතු ක්‍රීඩකයා වන්නේ 32 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Michael Leask. ඔහු මේ දක්වා එක්දින තරග 65කට ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 1214ක් සහ කඩුලු 53ක් දවාගෙන තිබෙනවා. ක්‍රියාත්මක මෙම තරගාවලියේ දී ඔහු ලකුණු 143ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 71.5ක්.

Safyaan Sharif

ස්කොට්ලන්ත කණ්ඩායමේ ප්‍රමුඛතම පන්දු යවන්නා ලෙසින් හැඳින්වෙන්නේ 32 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මද වේගපන්දු යවන Safyaan Sharif. ඔහු මේ දක්වා එක්දින තරග 74කට සහභාගී වෙමින් කඩුලු 98ක් ලබා සිටිනවා. එය ස්කොට්ලන්ත පන්දු යවන්නෙක් දවා ගෙන ඇති වැඩිම කඩුලු ප්‍රමාණය ලෙසයි ඉතිහාස ගත වෙන්නේ.

එසේ වූවත් ඔහුට මෙතෙක් මෙම තරගාවලියේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 4ක් පමණයි. එය UAE කණ්ඩායමට එරෙහිවයි වාර්තා වන්නේ.

Mark Watt

වමතින් දඟපන්දු යවන 26 වැනි වියේ පසුවෙන Mark Watt ස්කොට්ලන්ත කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් අතරින් කෙනෙක් ලෙසින් හැඳින්විය හැකියි. ස්කොට්ලන්ත එක්දින තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතරින් දෙවැනි අසුන වෙන්කර ගෙන ඇති ඔහු තරග 57ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 82ක්.

මෙවර තරගාවලියේ දී මෙතෙක් කඩුලු 3ක් පමණක් හිමි වූව ද පිතිකරුවෙක් ලෙසින් ලකුණු 116ක් ලබා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ළඟා විය හැකි කඩඉම්

  • චරිත් අසලංකට එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීමට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 8ක් පමණයි.
  • පැතුම් නිස්සංකට එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 39ක් පමණයි.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලු තොරතුරු සැණෙකින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<