අඬන්න වෙලාවක් නෑ, ආයෙත් නැගිටිමු!

World Cup Qualifiers 2023

9246

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ බලාපොරොත්තු විරහිත පරාජයක් උරුම කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඊයේ (24) දිනයේ සිදු වුනා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ක්‍රීඩා කරන මේ කණ්ඩායම් දෙක ම මේ වන විටත් තරගාවලියේ මීළඟ වටය වන සුපිරි කණ්ඩායම් හයේ තරග වටය වෙත සුදුසුකම් ලබා ඇති නමුත් ඔවුන් මූලික වටයේ දී ලබා ගන්නා ලකුණු සියල්ල ඊළඟ වටයට රැගෙන යන නිසා සෑම තරගයක් ම ජයග්‍රහණය කිරීම අතිශය වැදගත් වී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය වන තෙක් මෙතෙක් තරගාවලියේ අපරාජිත ව සිටි බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතරින් බටහිර ඉන්දීය කොදෙව් අපරාජිත ගමන නිමා වූ අතර මෙම පරාජය ඔවුන් යම් තරමක අවදානම් තත්වයකට ඇද දැමීමේ ඉඩක් ද පවතිනවා.

එම නිසාම මෙම පරාජය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සාමාජිකයින්ට සහ ප්‍රේක්ෂකයින් හට තරමක් තදින් දැනුණු බව විශ්වාස කළ හැකි.

මේ අතර තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි කොදෙව් පුහුණුකරු Daren Sammy විසින් සිය කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම් විවේචන කරමින් පැවසුවේ එවන් පන්දු රැකීම් සමඟ මෙවන් තරගාවලි ජයග්‍රහණය කළ නොහැකි බවයි.

“අතිශයින් ම කලකිරුණා. කාසියේ වාසියේ දී අපිට කරන්න අවශ්‍ය වෙලා තිබුණු දේ, ඒ කියන්නේ පළමුව පන්දු යවන්න අවස්ථාව ලැබුණා.

බලන්න අපි දිගටම මේ ආකාරයේ පන්දු රැකීම් ප්‍රදර්ශනය කළොත්, මේ විදිහට ප්‍රතිවාදී පිතිකරුවන්ට අවස්ථා ලබා දුන්නොත් අවසානයේ ක්‍රිකට් දෙවියන් ව මුණ ගැහෙන්න ඔබට සිදු වේවි. (තරගාවලියෙන් ඉවතට විසි වීමට සිදු වීම වැනි අවදානමකට වැටීමට ඉඩ ඇති බව හඟවනවා.)

මේ දේවල් තමයි අපි වෙනස් කරන්න හදන්නේ. අතීතයේ එය සිදු වුන බව අපි දැක්කා, මේවා තමයි මට ඉදිරියට ගෙන යාමට (නිවැරදි කිරීමට) අවශ්‍ය වුනේ.

වගකීම බාර ගැනීම සම්බන්ධයෙන් අද අපි ගොඩක් දුර්වලයි. අපි අද ඒ දේ කළේ නැහැ.

ඒ නිසා අපි අද දිනන්න කිසි සේත් ම සුදුසු නැහැ.”

ඊයේ තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් විසින් සිම්බාබ්වේ ඉනිම තුළ උඩපන්දු 4ක් අත්හැරි අතර ඉන් උඩපන්දු දෙකක් ම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Sikandar Raza විසින් සිය ලකුණු 10 සීමාව පසු කර යෑමටත් පෙර ලබා දුන් උඩපන්දු වීම විශේෂත්වයක්.

එමෙන්ම මේ අතරින් ගිලිහී ගිය උඩපන්දු තුනක් ම Alzarri Joshep අතින් ගිලිහී යාම ද විශේෂත්වයක්.

මේ අතර ලැබූ පරාජයෙන් පසුව මාධ්‍ය හමුවට පැමිණි කොදෙව් නායක Shai Hope විසින් ද සිය පුහුණුකරුගේ අදහස්වලට සමාන අදහසක් දක්වමින් පවසා සිටියේ, දුර්වල පන්දු රැකීම තරගයේ පරාජයට හේතුවක් වූ බවයි.

එමෙන්ම තම පිතිකරුවන් ද එතරම් සාර්ථකත්වයක් නොපෙන්වූ බව Hope විසින් සඳහන් කළා.

තවමත් බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු සියයට සියයක් ම බිඳ වැටී නොමැති අතර, ඔවුන් තරමක අවදානම් තත්වයකට පමණක් පත් වී ඇති බව විශේෂයෙන්ම අවධාරණය කළ යුතුයි.

Daren Sammy විසින් ද මේ පිළිබඳ ව දරන්නේ එවැනි ම අදහසක්.

“මම කියන්නේ නැහැ ඒක (ඉදිරි ගමන) ඉවරයි කියලා. නමුත් ඒක තරමක් අමාරු දෙයක් වුනා. නමුත් මම කිසිම දෙයක් අත් හැරලා දාන්නේ නැහැ. මම අපේ ක්‍රීඩකයින් ව දිගින් දිගටම දිරිමත් කරනවා.”

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් තරගාවලියේ මූලික වටයේ දී ක්‍රීඩා කිරීමට නියමිත අවසන් තරගය හෙට (26) නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි. නෙදර්ලන්තය ද මේ වන විටත් තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ඇති නමුත් කණ්ඩායම් දෙකේ ම අනාගතය තීරණය කෙරෙන තියුණු තරගයක් හෙට නැරඹීමට අවකාශය හිමි වනු ඇති බව විශ්වාස කළ හැකි.

තම ක්‍රීඩකයින් ඒ වෙනුවෙන් ධනාත්මක මනසකින් යුතු ව සූදානම් කරනා බවයි Sammy විසින් පවසන්නේ.

“බලන්න, අඬ අඬා ඉන්න හෝ ඕනවට වඩා හිතන්න වෙලාවක් නැහැ. සඳුදා දිනය අපට ඉතාම වැදගත් එකක්. අපි සංචිතය බලලා හොඳම අය එක්ක තරගයට එනවා.”

තම කණ්ඩායම නැවතත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වනු ඇති බවට Sammy විසින් දැඩි විශ්වාසයකින් යුතු ව පවසා තිබුණා.

එමෙන්ම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තවත් තරග දෙකක් අද (25) ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතරත්, ඕමානය සහ ස්කොට්ලන්තය අතරත් පැවැත්වීමට නියමිතයි.

ඒ පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<