Home Sinhala දිමුත් – වනිඳු සුපිරි දස්කම් මැද ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට!

දිමුත් – වනිඳු සුපිරි දස්කම් මැද ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට!

1343
Getty Images
Getty Images

නුදුරේ දී ම ඇරඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ දේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා.

එහි දී අද (25) පැවති තරගයක දී අයර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසි කළ ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ වාර්තාගත ජයක් සමඟිනුයි.

බුලවායෝ තණතිල්ලේ බොහෝ කණ්ඩායම් සිදු කරන පරිදි කාසියේ වාසිය දිනා ගත් වහාම පන්දු යැවීම තෝරා ගැනීමට අද Andrew Balbirnie කටයුතු කළා. ඒ මුල් හෝරාව තුල ලබා ගත හැකි දෝලනය උපයෝගී කර ගනිමින් ප්‍රතිවාදී කඩුලු කිහිපයක් බිඳ ගැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත් මේ වන විට ස්ථාවර වී සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා එම අවස්ථාව අයර්ලන්තයට ලබා දුන්නේ නැහැ.

දිමුත් සහ නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 48ක් එකතු කළා. අවසානයේ කල් මැනීම අසාර්ථක වුනු පුල් පහරක් මගින් පැතුම් නිස්සංක දැවී ගියේ ලකුණු 20කටයි. Barry McCarthy ක්‍රියාත්මක කළ මෙම පන්දුවාරයේ මීලඟ පන්දුවට කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුනේ ලකුණු ලබා ගැනීමටත් පෙරයි. එය බැලූ බැල්මටම කඩුල්ලේ වැදිය යුතු පන්දුවක් බව පැහැදිලිව පෙනුණා. මේ අනුව පළමු පවර්ප්ලේ අවස්ථාව අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 2කට ලකුණු 58ක් ලබා සිටියා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න අතරේ ගොඩ නැගුණු ලකුණු 168ක දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට අදත් පීඩනයකින් තොරව පිතිකරණයේ යෙදීමේ අවස්ථාව උදා වුනා. විශේෂයෙන්ම කලකට පසු ජාතික කණ්ඩායම සමඟින් එක්ව සිටින මෙම පිතිකරණ යුගලය ඒ බවක් පෙන්නුම් නොකරමින් නිරන්තරයෙන්ම අන්තය මාරු කර ගනිමින් ලකුණු පුවරුව ඉහළ දැම්මේ පරිපූර්ණ එක්දින ඉනිමක යෙදෙමින්.

පන්දු 86ක් තුල සදීර ලබා ගත්තේ හතරේ පහර 4ක් වුවත් ඒ අතරේ ලකුණු 82ක් රැස් කරගෙන සිටි ඔහු අද Gareth Delanyගේ පන්දුවක් හමුවේ දැවී ගියේ තම මංගල එක්දින ශතකය කරා යාමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් අපතේ හරිමින්.

අවසන් තරග 4 ම අර්ධ ශතක වාර්තා කරගෙන සිටි දිමුත් කරුණාරත්න අද තම සගයාට සපුරාගත නොහැකි වූ ඉලක්කය ජය ගත්තා. ලකුණු 103ක් ලබා ගැනීමෙන් පසු ඔහු දැවී ගියේ Mark Adair යැවූ වේගය අඩාල කළ පන්දුවක් කියවා ගත නොහැකිවයි.

ඉන්පසු තවදුරටත් ශ්‍රී ලංකා ඉනිමේ රිද්මය ගිලිහෙන්නට නොදී රැකගත් චරිත් අසලංක පන්දු 30කින් ලකුණු 38ක් රැස් කළා. තම පෞද්ගලික වාර්තා ගැන නොසිතූ ඔහු දැවී ගියේ තවත් හයේ පහරකට දැරූ උත්සාහයක් අසාර්ථක වීමෙන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ලකුණු 350 වෙත ළඟා වීමට තිබූ අවස්ථාව අද නායක දසුන් සහ වනිඳු හසරංග අසාර්ථක වීම නිසා ගිලිහී ගියා. ඉනිමේ අවසානය දක්වාම එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටි ධනංජය ද සිල්වා පන්දු 35කින් ලකුණු 42යි.

අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ඉනිම නිමා වෙද්දී ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 325ක්. ඉනිමේ අග භාගයේ දී අයර්ලන්තය ලැබූ සාර්ථකවයට විශාල හේතුවක් වුනේ Mark Adair ප්‍රමුඛ ඔවුන්ගේ වේගපන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන් ඉල්ලා සිටි වේගය ලබා නොදී කඩුල්ලට ඈතින් වේගය අඩාල කළ පන්දු යැවීමයි. නමුත් සමස්තයක් ලෙස ඔවුන් වයිඩ් පන්දු 21ක් සහ නිපන්දුවක් යොමු කිරීම ශ්‍රී ලංකාවට වාසි ගෙන දුන්නා.

පිතිකරණ පාරාදීසයක් ලෙස පෙනුණු මෙම තණතිල්ලේ අත්දැකීම් බහුල පිතිකරුවන් සහිත අයර්ලන්තය හොඳ සටනක් ලබා දෙනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් මත පළ කළත්, ඊට ශ්‍රී ලංකාවෙන් අවස්ථාවක් ලැබුණේ නැහැ. සිව්වැනි පන්දුවාරයේ දී Paul Stirlingගේ වටිනා කඩුල්ල දවා ගනිමින් ඔවුන් වැඩ ආරම්භ කළා. ලහිරු කුමාර යැවූ එම පන්දුවට කඩුල්ල පිටුපස සිට ඉහළට පනිමින් කුසල් මෙන්ඩිස් තනි අතින් විශිෂ්ට උඩපන්දුවක් සම්පූර්ණ කළා.

ලකුණු 17ක් ලබා සිටි Andy McBrine එල්ල කළ පුල් පහර ලහිරු කුමාර රැක ගත්තේ කසුන් රාජිතට කඩුල්ල හිමිකර දෙමින්. මේ දිනවල බුලවායෝ තණතිල්ලේ මැජික් පෙන්වන වනිඳු හසරංග අද තම මුල්ම කඩුල්ල ලෙස Andrew Balbirnieව දඩයම් කරගත්තා. පන්දුව පා ඉන්න මඟ හැර යන බවට සැකයක් මතු වුනත් පිටියේ විනිසුරු එය කඩුල්ල මුවා කිරීමක් බව සනාථ කළා.

මේ දක්වා තරගාවලියේ පිත්තෙන් සැලකිය යුතු යමක් ඉටු කිරීමට නොහැකි වූ දසුන් ශානක අද පන්දුව අතට ගනිමින් Lorcan Tuckerගේ කඩුල්ල බිඳ දැම්මා. ඒ ඔහු ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමටත් පෙරයි. Harry Tector සහ Curtis Camper පිලිවෙලින් ලකුණු 33 සහ 39 බැගින් රැස් කරමින් ප්‍රහාරාත්මක පිතිකරණයක යෙදුනත්, ශ්‍රී ලංකා විශේෂඥ දඟපන්දු යවන්නන් දෙදෙනා ඉදිරියේ ඔවුන්ට ප්‍රාතිහාර්ය පෑමට හැකි වුනේ නැහැ.

තරගයේ අවසන් කොටසේ දී George Dockrell සහ Joshua Little අයර්ලන්ත ඉනිම යම් ගෞරවාන්විත ලකුණක් කරා යාමට උත්සාහ දැරුවත්, ඔවුන්ට අද සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 192ක් පමණයි. මේ අතරේ අවසන් කඩුල්ල ලෙස Joshua Littleගේ කඩුල්ල දවා ගත් වනිඳු හසරංග සුවිශේෂී ලෝක වාර්තාවක් සම කිරීමට සමත් වුනා. ඒ පිට පිටම එක්දින තරග ත්‍රිත්වයක දී කඩුලු 5 බැගින් බිඳ හෙළීමයි.

මීට පෙර 1990 වසරේ දී මෙවන් දස්කමක් දක්වා තිබුණේ ලෝක පූජිත පාකිස්තානු වේගපන්දු යවන්නෙකු වන වකාර් යූනුස් පමණයි. වනිඳු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කඩුලු 6කුත්, ඕමානයට එරෙහිව කඩුලු 5කුත්, අයර්ලන්තයට එරෙහිව කඩුලු 5කුත් බිඳ හෙළමින් අද එම වාර්තාව සම කළා. අද උරුම වුනු ලකුණු 133ක දැවැන්ත පරාජයත් සමඟ අයර්ලන්තයට මීළඟ එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අහිමි වෙනවා.

ඒ මේ වන විට තමන් මුහුණ දුන් තරග ත්‍රිත්වයම පරාජය වී සිටීම නිසයි. මූලික වටය නිමා වීමට තවත් තරග 4ක් ඉතිරිව තිබුණ ද, මේ වන විටත් A කාණ්ඩයෙන් සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත්, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානයත් සුපිරි 6 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගෙන අවසානයි.

Result


Ireland
192/10 (31)

Sri Lanka
325/10 (49.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Gareth Delany b Barry McCarthy 20 26 4 0 76.92
Dimuth Karunaratne b Mark Adair 103 103 8 0 100.00
Kusal Mendis lbw b Barry McCarthy 0 1 0 0 0.00
Sadeera Samarawickrama c Harry Tector b Gareth Delany 82 86 4 0 95.35
Charith Asalanka c Curtis Campher b Gareth Delany 38 30 1 2 126.67
Dhananjaya de Silva not out 42 35 4 1 120.00
Dasun Shanaka c George Dockrell b Barry McCarthy 5 7 0 0 71.43
Wanindu Hasaranga c Josh Little b Mark Adair 4 5 0 0 80.00
Mahesh Theekshana c Lorcan Tucker b Mark Adair 0 2 0 0 0.00
Lahiru Kumara c & b Mark Adair 4 4 1 0 100.00
Kasun Rajitha run out (Paul Stirling) 0 1 0 0 0.00


Extras 27 (b 3 , lb 2 , nb 1, w 21, pen 0)
Total 325/10 (49.5 Overs, RR: 6.52)
Fall of Wickets 1-48 (8.3) Pathum Nissanka, 2-48 (8.4) Kusal Mendis, 3-216 (35.1) Sadeera Samarawickrama, 4-235 (37.3) Dimuth Karunaratne, 5-281 (44.1) Charith Asalanka, 6-299 (46.1) Dasun Shanaka, 7-304 (47.1) Wanindu Hasaranga, 8-304 (47.3) Mahesh Theekshana, 9-325 (49.4) Lahiru Kumara, 10-325 (49.5) Kasun Rajitha,

Bowling O M R W Econ
Josh Little 8 0 78 0 9.75
Mark Adair 9.5 1 46 4 4.84
Barry McCarthy 9 1 56 3 6.22
Andy McBrine 6 0 36 0 6.00
Curtis Campher 3 0 19 0 6.33
George Dockrell 4 0 33 0 8.25
Gareth Delany 10 0 52 2 5.20


Batsmen R B 4s 6s SR
Andy McBrine c Lahiru Kumara b Kasun Rajitha 17 21 3 0 80.95
Paul Stirling c Kusal Mendis b Lahiru Kumara 6 11 1 0 54.55
Andy Balbirnie lbw b Wanindu Hasaranga 12 13 2 0 92.31
Harry Tector lbw b Wanindu Hasaranga 33 35 3 1 94.29
Lorcan Tucker b Dasun Shanaka 0 5 0 0 0.00
Curtis Campher c Kusal Mendis b Mahesh Theekshana 39 31 4 1 125.81
George Dockrell not out 26 34 1 0 76.47
Gareth Delany b Wanindu Hasaranga 19 8 2 1 237.50
Mark Adair c Dasun Shanaka b Wanindu Hasaranga 4 2 1 0 200.00
Barry McCarthy c Lahiru Kumara b Mahesh Theekshana 5 12 0 0 41.67
Josh Little c & b Wanindu Hasaranga 20 14 2 1 142.86


Extras 11 (b 4 , lb 4 , nb 0, w 3, pen 0)
Total 192/10 (31 Overs, RR: 6.19)
Fall of Wickets 1-21 (3.4) Paul Stirling, 2-39 (6.2) Andy McBrine, 3-57 (10.3) Andy Balbirnie, 4-58 (11.3) Lorcan Tucker, 5-116 (19.6) Curtis Campher, 6-141 (22.3) Gareth Delany, 7-145 (22.5) Mark Adair, 8-162 (27.4) Barry McCarthy, 9-192 (30.6) Josh Little, 10-86 (161) Harry Tector,

Bowling O M R W Econ
Kasun Rajitha 5 1 22 1 4.40
Lahiru Kumara 5 0 33 1 6.60
Dasun Shanaka 5 0 21 1 4.20
Wanindu Hasaranga 10 0 79 5 7.90
Mahesh Theekshana 6 0 29 2 4.83



ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසන් තරගය 27 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව බුලවායෝ හිදීම පැවැත්වීමට නියමිතයි. එම තරගයේ මෙන්ම ඉතාමත් උණුසුම්ව ගලා යන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තතු විත්ති එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com වෙබ් අඩවියත් සමඟම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<