Kohli වෙනස් වුන හැටි Ishant විස්තර කරයි

9836

ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli පිළිබඳ තරමක් පුදුම හිතෙන ආකාරයේ අතීත මතකයක් ඔහුගේ කණ්ඩායම් සගයෙකු වන Ishant Sharma විසින් හෙළිදරව් කර තිබෙනවා.

වත්මන් ක්‍රිකට් ලොව සිටින විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකුම් ලබන Virat Kohli පිළිබඳ කතාබහක් ඇති වන බොහෝ අවස්ථාවල ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්වීම සාමාන්‍ය දෙයක්.

මේ වන විට 34 හැවිරිදි වියේ පසු වුව ද තවමත් අතීතයේ සේ ම ඉතා හොඳ ශරීර යෝග්‍යතාවක් පවත්වා ගනිමින් ක්‍රීඩා කිරීමට Kohli සමත් ව සිටින නමුත් 2012 වසරට පෙර ඔහු මීට වඩා තරමක් වෙනස් ශරීර ස්වරූපයකින් සිටි බවයි ඔහුගේ කණ්ඩායම් සගයෙකු වන Ishant Sharma විසින් මතකාවර්ජනය කරන්නේ.

එමෙන්ම Kohli සිය ක්‍රීඩා දිවියේ මුල් කාලය තුළ තරමක් කෙළිදෙළින් කාලය ගත කළ ක්‍රීඩකයෙකු බවත් Ishant විසින් පසුගිය දා සහභාගී වූ YouTube වැඩසටහනක දී ප්‍රකාශ කළා.

“අපි කොල්කටා වල 19න් පහළ තරගයක් ක්‍රීඩා කරමින් හිටියා. ඔහු තමයි පිතිකරණයේ යෙදෙමින් හිටියේ. නමුත් එදා රෑ තිස්සේ ම ඔහු පාටි දැම්මා. නමුත් ඊට පස්සේ දවසේ ලකුණු 250ක් රැස් කළා. මම ඔහුගේ ඒ කාල පරිච්ඡේදයත් දැක්කා.

මට අනුව ඔහුගේ වැදගත් ම දේ තමයි ලෝක කුසලානයෙන් (2011) පසුව 2012 සිට ඔහු සිය ශාරීරික අංශයෙන් සිදු කර ගත් වෙනස්කම.

ඔහු පුහුණුවීම් වල නිරත වුනා. නමුත් ආහාර පාලනය නිසා ඔහුගේ මානසික ශක්තිය සහ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් ම තලයකට ගමන් කළා.”

Virat Kohli විසින් සිය ක්‍රීඩා ජීවිතයේ විශිෂ්ටතම හැරවුම් ලක්ෂය පසු කළ කාලසීමාව පිළිබඳ Ishant විසින් එසේ සිය මතකය අවධි කළා. එමෙන් ම 2012 වසරෙන් පසුව Kohli විසින් ආරම්භ කළ මෙම නවමු ගමනේ දී ඔහු ඉතා ප්‍රවේසමෙන් වැඩ කටයුතු කළ ආකාරය Ishant විසින් විස්තර කරමින් පවසන්නේ Kohli විසින් ඉන්දියාවේ ප්‍රසිද්ධ ආහාරයක් වන Chole Bhature වැනි ආහාර 2012න් පසුව වරක් හෝ දෙවරක් උපරිම වශයෙන් ආහාරයට ගන්නා ආකාරය තමන් දැක ඇති බවයි.

එමෙන් ම Kohliගේ ශබ්දකෝෂයේ ඇති එක ම වචනය “විශ්වාසය” බවයි Ishant විසින් පවසන්නේ.

“Sachin (Tendulkar) නිතරම කියන්න පුරුදු වෙලා හිටියා බලාපොරොත්තුව කියන්නේ වචනයක් නෙවෙයි, හැඟීමක් බව.

නමුත් ඔබ Virat Kohli සමඟ කතා කළොත්, ‘බලාපොරොත්තුව’ කියන වචනය ඔහුගේ ශබ්දකෝෂයේ නැහැ. ඔහුගේ ශබ්දකෝෂයේ තියෙන එක ම වචනය තමයි ‘විශ්වාසය’. ඔබ විශ්වාස කරනවා නම් ඔබට ඕනෑම දෙයක් කළ හැකි.”

Virat Kohli විසින් මෙපමණ කල් සිය උපරිමයේ රැඳී සිටිමින් විශිෂ්ට පිතිකරුවෙකු බවට පත් වීමට ඇති ප්‍රධානම හේතුව තමන් පිළිබඳ ව ඇති ස්වයං විශ්වාසය බවයි Ishant විසින් පවසන්නේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<