Gavaskar ඉන්දීය තේරීම් කමිටුවට දෙහි කපයි

India tour of West Indies 2023

5314

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතයට Cheteshwar Pujaraගේ නම ඇතුළත් නොකිරීම පිළිබඳව හිටපු ඉන්දීය සුපිරි පිතිකරු Sunil Gavaskar විසින් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

ලබන මස 12 වැනිදායින් ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතයට නවක ක්‍රීඩකයින් ලෙස Yashasvi Jaiswal, Ruturaj Gaikwad සහ Mukesh Kumar යන ක්‍රීඩකයින්ගේ නම් ඇතුළත් වී ඇති අතර මෙතෙක් කල් ඉන්දීය පිතිකරණ බළඇණියේ අංක තුන ස්ථානයේ ක්‍රීඩා කළ Pujara කණ්ඩායමෙන් ඉවතට විසි වී තිබෙනවා. එමෙන්ම Umesh Yadav හට ද මෙම සංචිතයේ දොර වැසී ඇති අතර, Mohommed shamiව ද මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඉහළ ටෙස්ට් තරග අත්දැකීම් ඇති විශේෂඥ ටෙස්ට් පිතිකරුවෙකු ලෙස සැලකෙන Pujaraව මෙම සංචිතයට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් Sunil Gavaskarහට නම් ඉතිරි වී ඇත්තේ ප්‍රශ්න පමණයි. 

“ඇයි ඔහු ඉවත් කරලා තියෙන්නේ. ඇයි අපේ පිතිකරණ අසාර්ථකත්වයට ඔහුව බිල්ලක් කරලා තියෙන්නේ. ඔහු ඉන්දීය ක්‍රිකට්වල විශ්වාසවන්ත සේවකයෙක්. විශ්වාසවන්ත සහ නිහඬ සේවකයෙක්. නිහඬව ඉලක්ක හඹා යන්නෙක්. නමුත් කණ්ඩායමෙන් ඉවත් කරහම ඔහු වෙනුවෙන් කතා කරන්න මිලියන ගණනින් අනුගාමිකයන් (Followers) නැති නිසා ඔබ ඔහුව ඉවත් කරනවා. 

ඒක තේරුම් ගන්න බැරි දෙයක්. ඔහුව විතරක් ඉවත් කරලා අසාර්ථක වුන අනෙක් අය තියා ගන්න භාවිතා කළ නිර්ණායකය මොකක් ද? 

මම දන්නේ නැහැ, මොකද අද තේරීම් කමිටු සභාපති මාධ්‍ය සමඟ සම්බන්ධයක් නැහැ.” 

Sports Today පුවත්පත වෙත ඉන්දීය සංචිතය පිළිබඳ අදහස් දක්වමින් Gavaskar විසින් මේ බව ප්‍රකාශ කර තිබුණා. 

මේ වන විට 35 හැවිරිදි වියේ පසු වන Pujara නිමා වූ ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී සිය පිත්තෙන් වැඩි යමක් කිරීමට සමත් වුනේ නැහැ. එමෙන්ම Ajinkya Rahane හැරෙන්නට අනෙකුත් ඉන්දීය පිතිකරුවන් ද මෙම තරගයේ එතරම් දක්ෂතා නොපෙන්වූ අතර එවන් වාතාවරණයක් තුළ Pujaraව පමණක් ඉවතට ඇද දැමීම Gavaskar විසින් ප්‍රශ්න කරනවා. 

“ඔහු එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරග ක්‍රීඩා කරමින් සිටියේ. ඒ නිසා ඔහු ගොඩක් ටෙස්ට් තරග ක්‍රීඩා කළා ඒවගේ ම ඔහු දන්නවා ඒක කොහොමද කියලා. දැන් ක්‍රීඩකයින්ට වයස අවුරුදු 39-40 වන තෙක් ක්‍රීඩා කරන්න පුළුවන්. මම හිතන්නේ නැහැ වයස සාධකයක් විය යුතුයි කියලා.  

Rahane හැරෙන්න අපේ පිතිකරුවන් සියල්ල ම අසාර්ථක වුනා. ඒ නිසා තේරීම් කමිටුව විසින් Pujaraව ඉවත් කිරීමට හේතුව සඳහන් කළ යුතුයි.” 

එමෙන්ම වසර කිහිපයක් තිස්සේ ම ඉන්දීය ටෙස්ට් සංචිතයට ඇතුළත් වීමේ බලාපොරොත්තුවෙන් සිටින Sarfaraz Khan හට මෙවරත් ඉන්දීය සංචිතයේ ඉඩක් වෙන් වී නැහැ. Pujaraට මෙන්ම මෙවරත් පෙර පරිදි ම Sarfarazට ද අසාධාරණයක් සිදු වී ඇති බව Gavaskar විසින් සඳහන් කරනවා. 

“පසුගිය තරග කාලසීමා තුන තුළ දී Sarfaraz Khan විසින් පිතිකරණ සාමාන්‍ය අගය 100 ඉක්මවා පවත්වා ගන්න සමත් වුනා. සංචිතයට තෝරා ගන්න නම් ඔහු තව මොනවද කරන්න ඕන. ඔහු අවසන් ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරට ඇතුළත් නොවේ වී, නමුත් ඔහු සංචිතයට ඇතුළත් විය යුතුයි. 

ඔහුගේ දක්ෂතා හඳුනා ගෙන ඇති බව ඔහුට කියන්න. නැතිනම් රංජි කුසලානය ක්‍රීඩා කිරීම නතර කරන්න. කියන්න ඒකෙන් කිසිම වැඩක් නැහැ කියලා. ඔබ IPL පමණක් ක්‍රීඩා කරලා එය ටෙස්ට් තරග සඳහාත් ප්‍රමාණවත් බව හිතනවා.” 

Sarfaraz විසින් 2022-23 රංජි කුසලානයේ දී සාමාන්‍ය 92.66ක රඳවා තබා ගනිමින් ලකුණු 556ක් රැස් කිරීමට සමත් වී ඇති අතර, 21-22 කාල සමය තුළ ඔහු විසින් ලකුණු 982ක් වාර්තා කිරීමට සමත් වුනේ 122.75ක සාමාන්‍යයක් සහිතවයි. 

මේ අනුව මෙම තරගාවලියේ දී Pujara විසින් ක්‍රීඩා කළ අංක තුන ස්ථානයේ නවක ක්‍රීඩකයකු ක්‍රීඩා කරනවා දැක බලා ගැනීමට ඉඩ ඇති අතර, එමෙන්ම මෙම තරගාවලිය විශේෂයෙන් ම ඉන්දීය නායක Rohit Sharma හට ද ඉතාමත් තීරණාත්මක තරගාවලියක් වනු ඇති බව අනුමාන කළ හැකි. 

බටහිර ඉන්දීය කොදෙව් සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතය මෙසේයි; 

Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Ajinkya Rahane (උප නායක), Ruturaj Gaikwad, Yashasvi Jaiswal, KS Bharat, R Ashwin, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Mohammed Siraj, Mukesh Kumar, Jaydev Unadkat, Ishan Kishan, Navdeep Saini 

මෙම තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Times of India ඇසුරෙනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<