Bumrah ආයෙත් එන දවස ගැන ඉඟියක්!

607

පිට කොන්දේ ආබාධයක් නිසා කලක පටන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටීමට සිදු වූ ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah එළඹෙන අගෝස්තු මාසයේ දී නැවත ඉන්දීය කණ්ඩායම සමඟ එක් වනු ඇති බව Cricbuzz වෙබ් අඩවිය මඟින් වාර්තා කරනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී කොන්දේ ආබාධයක් නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත් වීමට සිදු වූ Bumrah හට පසුව එම ආබාධය සුව කිරීම වෙනුවෙන් සැත්කමක් සිදු කළ බව දැන ගන්නට ලැබුණා. ඒ අනුව එම සැත්කමෙන් පසුව මේ වන විට ඔහු බැංගලෝරයේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ (NCA) දී සුවය ලබමින් සිටින අතර ඔහු මේ වන විට 70%ක් පමණ යතා තත්වයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අගෝස්තු 3 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. නමුත් එම තරගාවලිය වෙනුවෙන් Bumrahව කැඳවීමට කල් වැඩි බවයි ඉන්දියාවෙන් දැන ගැනීමට ලැබෙන්නේ.

කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසුව ඉන්දීය කණ්ඩායම විසින් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සඳහා අගෝස්තු මාසයේ දී ම (තරග 18, 20 සහ 23 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි) අයර්ලන්තයට යාමට නියමිත අතර බොහෝ විට එම තරගාවලිය වෙනුවෙන් Bumrahව නැවත කණ්ඩායම වෙත කැඳවනු ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

දරුණු ආබාධයකින් පසුව එක් වරම එක්දින හෝ ටෙස්ට් ක්‍රිකට් තරගයක් වෙනුවෙන් භාවිතා නොකර ඔහුව විස්සයි විස්ස තරග කිහිපයක් මඟින් මැන බැලීම ඉන්දීය කණ්ඩායම් කළමනාකාරිත්වයේ අදහස වී තිබෙනවා.

එමෙන්ම ඔවුන්ගේ මේ සියලු උත්සාහයන් වල අවසන් ඉලක්කය වන්නේ එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් Bumrahව සූදානම් කර ගැනීම බව අනුමාන කළ හැකි.

එමෙන්ම මෙම සියලු ජාත්‍යන්තර තරගවලට පෙර ඔහු මීළඟ මාසයේ දී NCA හිදි තරග කිහිපයක් ක්‍රීඩා කරවීමට එහි නිළධාරීන් විසින් බලාපොරොත්තු වන අතර, ඒවායේ දී ඔහු දක්වන ප්‍රතිචාර මත අයර්ලන්තය තරගාවලිය වෙනුවෙන් ඔහුගේ සහභාගීත්වය පිළිබඳ අවසන් තීරණයක් ගැනෙනු ඇත.

මේ අතර ආබාධයකට ලක් වී සිටින KL Rahul ද මේ වන විට NCA හිදි ම සුවය ලබමින් සිටින අතර බොහෝ විට ඔහු එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බව අනුමාන කෙරෙනවා. එමෙන්ම තවත් සුපිරි ඉන්දීය පිතිකරුවෙකු වන Shreyas Iyerගේ ද කොන්දේ සැත්කමක් කර ඇති නමුත්, ඒ පිළිබඳ කිසිදු යාවත්කාලීන වීමක් තවමත් ලැබී නොමැති බවයි Cricbuzz විසින් සඳහන් කරන්නේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<