ඉන්දීය නායකත්වය වෙනුවෙන් Shastriගෙන් යෝජනාවක්

1372

එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වය Hardik Pandya වෙත ලබා දිය යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් ප්‍රවීණයෙකු වන Ravi Shastri පවසනවා.

මේ වන විට ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වය Rohit Sharma විසින් දරනු ලබන අතර, එළඹෙන ලෝක කුසලානයෙන් පසුව බොහෝ විට ඔහු සිය භූමිකාවට සමු දෙනු ඇතැයි බලාපොරොත්තු වනවා. එම නිසාම මේ දිනවල ඉන්දීය ක්‍රිකට් වල ප්‍රධාන පෙළේ ප්‍රශ්න වලින් එකක් ලෙස අනාගත ඉන්දීය නායකයා කවුරුන් ද යන ප්‍රශ්නය මතු වී ඇති අතර ඒ වෙනුවෙන් සිය පිළිතුර ලබා දෙමින් Ravi Shastri විසින් Hardik Pandyaගේ නම යෝජනා කර තිබෙනවා.

විශේෂයෙන්ම 2022 වසරේ දී කිසිවෙකු හෝ බලාපොරොත්තු නොවූ ලෙස Gujarat Titans කණ්ඩායම IPL ශූරතාව තෙක් මෙහෙයවීමට Pandya සමත් වීමත් සමඟ බොහෝ දෙනෙකු විසින් Pandya අනාගත ඉන්දීය නායකයා වනු ඇති බවට විශ්වාස කිරීමට පටන් ගත්තා.

මේ වන විට 29 හැවිරිදි වියේ පසු වන Pandya විසින් 2023 තරග සමයේ ද සිය IPL කණ්ඩායම අවසන් මහා තරගය තෙක් රැගෙන යාමට සමත් වූ අතර, මීට පෙර ඉන්දීය විස්සයි විස්ස නායකයා ලෙස ද ඔහු කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට සමත් වුනා.

ආබාධයක් නිසා කලක් තිස්සේ ඉන්දීය ජාතික සංචිතයෙන් ඉවතට විසි වී සිටි Pandya විසින් නැවත කණ්ඩායමට පැමිණෙමින් දක්වන නායකත්ව දක්ෂතා මෙන් ම ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා නිසාම ඔහුව ඉන්දීය ටෙස්ට් නායකත්වයට ද පත් කිරීමට හැකි වේ දැයි ඉන්දීය සඟරාවක් වන The Week මඟින් Shastriගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

සීමිත පන්දුවාර නායකයා ලෙස ඔහු Pandyaව රෙකමදාරු කළත්, ටෙස්ට් නායකත්වය වෙනුවෙන් නම් එවැනි තීරණයක් ගැනීමට තමන් ඉක්මන් නොවන බවයි Shastri විසින් මෙහි දී සඳහන් කර තිබුණේ.

“ඔහුගේ ශරීරය සමඟ ඔහුට ටෙස්ට් ක්‍රිකට් වලට මුහුණ දිය නොහැකියි. අපි ඒ ගැන පැහැදිලි කර ගනිමු. ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ප්‍රමාණවත් නම් ඔහු සුදු පන්දුවේ ක්‍රිකට් නායකත්වය භාර ගත යුතුයි.”

එමෙන්ම ඔහු මෙහි දී විශේෂයෙන්ම සඳහන් කරන්නේ ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දැන් ඉන්දීය නවකයින් වෙත සිය තැන ලබා දෙමින් ක්‍රීඩාවට සමුදීමේ කාලය එළඹ ඇති බවයි.

විශේෂයෙන්ම IPL තරගාවලිය නිසා තරුණ ක්‍රීඩකයින් රැසක් දැන් ඉන්දියාව සතු වන නිසා IPL දත්ත මත පමණක් පදනම් නොවී ඔවුන්ගේ ටෙස්ට් තරග වාර්තා පිළිබඳ ව සොයා බලමින් ඔවුන් ව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වෙනුවෙන් කණ්ඩායමට ආදේශ කළ යුතු බවයි Shastri විසින් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<