වෙස්ලි “ද්විත්ව නිල් අකුණු සැරය” 2020 දවා අළු කරන්න සූදානම්

110

පාසල් රග්බි පිටියේ අභිමානවත් කණ්ඩායමක් වන කොළඹ වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායම සිය මංගල ලීග් කිරුළ සොයා යන්නට සැරසෙන්නේ ප්‍රබල කණ්ඩායමක් සමඟිනුයි. නව නායකත්වයක් සමඟින් වෙස්ලි විද්‍යාලයට සිය මංගල ලීග් කිරුළ දිනා ගැනීමට හැකි වෙයි ද?

2020 ලීග් කුසලානයට මාන බලන රග්බි උරුමක්කාරයෝ

ශ්‍රී ලංකාවට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය 2020 අන්තර් පාසල් …

අතීතයෙන් බිඳක්

1956 වසරේ දී ආරම්භ වුණු වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායම වසර 60ක ඉතිහාසය පුරාවට තවමත් ලීග් ශුරතාවයක් හිස දරන්නට සමත්ව නැහැ. 2013 වසරේ නැවත වතාවක් B කාණ්ඩයේ සිය A කාණ්ඩයට පැමිණි වෙස්ලි විද්‍යාලය පාසල් රග්බි පිටියේ පෙරළිකාරයින් බවට පත්වුනා.

2013 වසර වෙස්ලි රග්බි ඉතිහාසයේ ස්වර්ණමය අකුරින් ලියැවෙන්නේ 2013 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරතාව සිය පාසලට රැගෙන යන්නට ඔවුන් සමත් වූ නිසයි. 

රාහුල් ද සිල්වාගේ නායකත්වයෙන් තරග වැදුණු ඔවුන් අවසාන මහා තරගයේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් වෙස්ලි ඉතිහාසයේ ඉහළම රග්බි ජයග්‍රහණය සනිටුහන් කළා.   

2017 වසරින් පසුව ඔවුන්ගේ LE BLAZE කුසලාන අත්දැකීම නම් එතරම් සුබ වුනේ නැහැ. ඒ 2017, 2018 සහ 2019 වසරවලදී වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් කිංග්ස්වුඩ් විද්‍යාලය LE BLAZE අනුස්මරණ රග්බි තරගාවලිය ජය ගත් නිසාවෙනි. 

මෙරට රග්බි කරළියට නිහඬ සේවයක් ඉටු කළ පාසලක් ලෙස වෙස්ලි විද්‍යාලය හැඳින්විය හැක. වෙස්ලි බිමෙන් ශ්‍රී ලංකා ජාතික රග්බි කරළියට තිලිණ කෙරුණු ක්‍රීඩකයන් අතර හෙන්රි ටෙරන්ස්, රාහුල් ද සිල්වා, සුබයර් දූරායි සහ කිෂන් මුසාෆර් ද වන අතර පසුගිය වසරේ වෙස්ලි නායක දයාන් සාබර් ද මේ වසරේ හැව්ලොක් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි. පසුගිය වසරේ නායක මුර්ශිඩ් සුබයිර් ද CR&FC කණ්ඩායම වෙනුවෙන් මෙවර ඩයලොග් රග්බි ලීගයේ සුපිරි දස්කම් දක්වනවා.

ගෙවුණු තරග වාරය

පසුගිය තරග වාරයේ දී වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම සුපිරි දස්කම් දක්වන්නට සමත් වුණේ විශිෂ්ට ජයග්‍රහණ රැසක්ම වාර්තා කරමින්. ඔවුන් ප්‍රබල සාන්ත ජෝසප් විද්‍යාලයට නොසිතූ පරාජයක් අත්කර දුන්නේ මරදානේ සාන්තුවරුන්ගේ ලීග් සිහින ද බොඳ කරමින්. එතනින් නොනැවතුණු ඔවුන් සාන්ත ජෝසප් කණ්ඩායමට එරෙහිව ද දක්ෂ ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුණා.

වෙස්ලි කණ්ඩායම මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණියත් අවාසනාවන්ත ලෙස තියුණු තරගයකට පසුව ඔවුන්ට සිදු වුණේ පරාජය භුක්ති විඳින්නයි.

වෙස්ලි කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දක්වමින් කවින්දන පෙරේරා උත්සාහක දිනුම් හතක් සිය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළේ වැඩිම උත්සාහක දිනුම් ලාභින් අතර දෙවන ස්ථානයට පත් වෙමින්. 

එමෙන්ම නායක මුර්ශිඩ් සුබයිර් පන්දුවට පා පහර දිමේදී ද දක්ෂතා රැස්කරමින් ලකුණු 55ක් රැස් කරගත්තේ කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙනුවෙන්. එමෙන්ම සැමුවෙල් ඔග්බෙබෝර් ද සුපිරි දස්කම් අතරට පිවිසුණේ ප්‍රතිවාදී ආරක්ෂක වළලු සුනුවිසුනු කරමින්. වෙස්ලි විද්‍යාලය 2019 ලීග් තරගාවලිය අවසන් කළේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දිනා ගනිමින්.

මෙවර තරග වාරය සඳහා සුදානම

සුපිරි රග්බි ක්‍රීඩක Maro Itojeගේ අඩිපාරේ යමින් ගෙවුණු තරගවාරයේ කැපී පෙනෙන තරුවක් බවට පත් වුණු සැමුවෙල් ඔග්බෙබෝර් බලාපොරොත්තු රැසක් සමඟින් මෙවර කණ්ඩායම මෙහෙයවනවා. 

දෙවන පෙළ අතිශය ශක්තිමත් ක්‍රීඩකයෙකු වන ඔහු පන්දුව රැගෙන ඉදිරියට යාමට උපන් හපන්කම් ඇති ක්‍රීඩකයෙක්. ප්‍රතිවාදීන් මර්ධනය කිරීමට උපන් හපන් කම් ඇති ඔහු පසුගිය තරග වාරයේ දී වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් පමණක් නොව නිමාවූ වයස අවුරුදු 19න් පහල ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට විශිෂ්ට දායකත්වයක් දක්වමින්.

Line Out අවස්ථා සාර්ථක කර ගැනීමට ද අතිදක්ෂ ඔහු මෙවර තරගවාරයේ ප්‍රබලතම තුරුම්පුවයි.

නවක ක්‍රීඩකයින් රැසක් සමඟින් වෙස්ලි කණ්ඩායම මෙවර තරගවරයට පිවිසෙනවා. නවකයින් අතරට දක්ෂ අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් ද එකතු වුණු විට වෙස්ලි කණ්ඩායම මෙවර ප්‍රබල කණ්ඩායම් රැසකටම හිසරදයක් වනු නොඅනුමානයි. 

එරන්ද හර්ෂණ මෙවර කණ්ඩායම සවිමත් කරන්න සුපිරි තරුවක්. සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන ඔහුගේ වේගවත් ක්‍රීඩා විලාසය කණ්ඩායමට ඉතා වැදගත් වනු නොඅනුමානය. වසර තුනක අත්දැකීම් සමඟින් කණ්ඩායමට එක්වන ඔහු පසුගිය වසර නිමාවත් සමඟ කණ්ඩායමෙන් නික්මුණු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ අඩුව පිරවීමට සිය උපරිම උත්සාහය යොදනු ඇත.

ප්‍රබල ඉදිරිපෙළක් සමඟින් මෙවර තරග වාරයට සූදානම් වන වෙස්ලි කණ්ඩායමේ ෆ්ලෑන්කර් ස්ථානයේ ප්‍රධානතම තුරුම්පුවක් වන්නේ තීක්ෂණ විතානගේ. වසර තුනක අත්දැකීම් සමඟින් මෙවර තරග වාරයට එන ඔහු ගියවර මෙන්ම මෙවරත් සිය ශක්තියෙන් හා පන්දුව ඉදිරියට රැගෙන යාමේ ශක්තියෙන් ප්‍රතිවාදීන් සුනුවිසුනු කරනු ඇත. 

ඔහු හා නායක ඔග්බෙබෝර් එක්ව දෙවන පෙළ ශක්තිමත් සබඳතාවයක් ගොඩනගන්නේ කණ්ඩායම ඉදිරිපෙළට හොඳ සවියක් වෙමිනුයි. සැමුවෙල්ගේ සොයුරු ජොහාන් ඔග්බෙබෝර් ද මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වන අතර ඔහුගේ සේවය ද සිය සොයුරාට ඉතා වැදගත් වනු ඇත.     

පළමු වතාවට පළමු පෙළ කණ්ඩායමක පුහුණුකරු ලෙස කටයුතු කරන නිරෝෂන් වෙත්තසිංහ මහතා වෙස්ලි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා. අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන ඔහු කණ්ඩායමට ප්‍රබල සවියක් වනු ඇත. 

පසුගිය වසරේ ද කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු කණ්ඩායම පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින් සිටීම වෙස්ලි විද්‍යාලයට අමතර වාසියක් වනු නොඅනුමානය. කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ CH&FC කණ්ඩායමේ ෂෙහාන් ඩයස්.

නව දශකයේ දී සිය මංගල ලීග් කුසලානය දිනා ගන්නට වෙස්ලි විද්‍යාලයට හැකි වෙයි ද?

වෙස්ලි විද්‍යාලයේ පළමු වටයේ තරග සැලැස්ම දැක්වෙන්නේ මෙලෙසින්.

  • මාර්තු 6, 2020 – වෙස්ලි විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය – ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
  • මාර්තු 14, 2020 – වෙස්ලි විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය – ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
  • මාර්තු 23, 2020 – ධර්මරාජ විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය – TBC
  • මාර්තු 28, 2020 – වෙස්ලි විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය – ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
  • අප්‍රේල් 4, 2020 – සාන්ත පීතර විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය – සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<